×

ධනස්කන්ධය ගොඩ ගැසූ කාමරයේ යතුර ජනපති ළඟ!

සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල් - බෂිර්ගේ නඩු විභාගයේදී හෙළි වන ඒකාධිපති ජනපති ජීවිතයක රහස්


පසුගිය අප්‍රේල් මාසයේ හමුදා කුමන්ත්‍රණයක් මගින් එළවා දැමුණු සුඩානයේ ජනපති ඕමාර් අල්-බෂිර්ගේ ජනාධිපති මාළිගයේ කාමරයක මුදල් ගොඩ ගසා ඇති බවත්, එහි යතුර තිබුණේ ජනපති සතුව පමණක් බවත් මේ දිනවල පැවැත්වෙන නඩු විභාගයේදී හෙළි විය.

මෙම මුදල් සම්භාරයට සුඩාන මුදල් ඒකක මෙන්ම විදේශ මුදල් ද විශාල ප්‍රමාණයක් අයත් බව අධිකරණයේදී ප්‍රකාශ විය.

මේ බව ප්‍රකාශ කළේ ඕමාර් ගේ සමීපතමයෙකු ලෙස එකල සේවය කළ ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා විසිනි. ඔහු මෙම නඩුවේ සාක්ෂිකාරයෙකු බවට පත් කර ඇත.

වරක් තමන්ම පුද්ගලිකව යූරෝ මිලියන 10.65 ක මුදල් ප්‍රමාණයක් එක්තරා හමුදා බලකායක් වෙත ලබාදුන් බව ද ඔහු පවසා තිබේ.

සුඩානයේ ප්‍රබල හමුදා ඛණ්ඩයක් ව පැවති පැරා මිලිටරි කණ්ඩායමක ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මෙම මුදල් ලබාගත් පුද්ගලයාගේ සහෝදරයාය.

මෙවැනි මුදල් ලබාගැනීම් සඳහා තමන්ට කිසිදු විටෙක රිසිට්පත් ලබාදීමක් සිදු නොකළ බව ද ඔහු අධිකරණයේදී තවදුරටත් ප්‍රකාශ කළේය.

‘‘වරක් ඔහු යූරෝ මිලියන 4.5 ක් විශ්ව විද්‍යාලයක පරිපාලනයට ලබාදුන්නා. එහි පරිපාලන කටයුතු ප්‍රධාන වශයෙන්ම සිදු කළේ ඔහුගේ පාලක කොංග්‍රස් පක්ෂය විසින්. ඒ වගේම ඔහු යූරෝ ලක්ෂ 2 ක් හමුදාවට සහ සිවිල් වැසියන්ට ‘සැලකීමක්‘ වශයෙන් ලබාදුන්නා.‘‘ යැයි ද ඔහු පැවසුවේය.

මේ අතර ඛාර්ටෝයුම් නගරයේ පිහිටා තිබෙන අප්‍රිකානු සරසවියේ සේවකයෙකු ද මෙම මුදල් සරසවි පාලනාධිකාරිය විසින් ලබාගත් බව ඇසින් දුටුවේ යැයි පැවසුවේය. ඔහු තවදුරටත් පැවසුවේ ‘ජනපතිවරයාගෙන් ලැබෙන ආධාරයක්‘ ලෙස මෙම මුදල් එවා තිබූ බවයි.

මේ වන විට සුඩානයේ හිටපු නායකයා අල්ලස සහ විදේශ මුදල් අපහරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි.

හිටපු ජනාධිපති ඕමාර් අල්-බෂීර් මේ වනවිට ඛාර්ටූම් නගරයේම පිහිටා තිබෙන බන්ධනාගාරයේ සිරගත කර සිටියි.

දශක 3 ක් මුළුල්ලේ යකඩ හස්තයකින් සුඩානය පාලනය කළ, සුඩාන ජාතික කොංග්‍රසයේ නිර්මාතෘ ඕමාර් අල්-බෂීර් දේශපාලන විසම්මුතිකවාදීන් සිය ගණනක් සිර කර තබාගෙන දස වධ දුන්නේ ද මේ බන්ධනාගාරයේදී ම ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි