×

තායිවානයේ සමරිසි විවාහය නීතිගත වී පළමු අභිමාන රැළිය අති උත්කර්ෂවත් අන්දමින්!

ආදරයේ අභිමානය ඔවුහු මෙසේ කියා පාන ලදහ..


තායිවානය යනු ආසියාවේ සමරිසි විවාහය නීත්‍යානුකූල බවට අධිකරණ තීන්දුවක් ලබා දුන් පළමු රට වන අතර, පසුගිය සෙනසුරාදා දින එරට තායිපේ නගරයේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජා සාමාජිකයන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී වී පැවති අභිමානයේ පා ගමන දේදුනු වර්ණයෙන් සැරසී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බවට වාර්තා වේ. 

සෑම වසරකම අභිමාන මාසය (PRIDE month) උත්සවාකරයෙන් සැමරීමට තායිවානය කටයුතු කරන අතර, මෙවර අභිමානයේ පාගමන සුුවිශේෂී වීමට හේතුව වන්නේ ආසියාව තුළ ලබා දුන් ඓතිහාසික තීන්දුවකින් පසු එම රට පවත්වන පළමු අභිමානයේ රැළිය මෙය වීමයි. 

2017 වර්ෂයේ තායිවාන ව්‍යවස්ථා අධිකරණය විසින් සමරිසි ප්‍රජාවන් හට වෙනත් ප්‍රජා මෙන් විවාහ ගිවිස ගැනීමේ අයිතිය ස්ථාපිත විය යුුතු බවට ඓතිහාසික තීන්දුවක් ලබා දුන් අතර, එම තීන්දුව මත නීති සම්පාදකයින් හට දෙවසරක කාලයක් තුළ එය ක්‍රියාවට නැංවිය යුුතු බවට නියෝග ලැබී තිබිණි. ඒ අනුව පසුගිය මැයි මස තුළදී සමරිසි යුවල් හට විවාහ වීමේ අයිතිය තායිවාන නීති සම්පාදකයින් විසින් ලබා දෙන ලදී. එතැන් පටන් මේ වන විට සමරිසි යුවල් 2000 කට අධික සංඛ්‍යාවක් විවාහ ගිවිස ගෙන ඇති බවට වාර්තා වේ. 

පසුගිය දශකය තුළ තායිවානයේ ආසියාවේ අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්ෂව LGBTIQ ප්‍රජා අයිතීන් පිළිබඳව විශාල ප්‍රගතියක් දක්නට ලැබී තිබුණු අතර, අනෙකුත් රටවලට සාපේක්ෂව උත්කර්ෂවත් අන්දමින් අභිමාන මාසය සමරන අයුරුද දක්නට ලැබී තිබිණි.

කෙසේවෙතත්, සාම්ප්‍රදායික ආගමික කණ්ඩායම් විසින් මේ පිළිබඳ දැඩි විරෝධයක් පානු දක්නට ලැබි අතර, විවිධ ජනමත විචාරණ ඔස්සේ විවාහය සිදුවිය යුත්තේ කාන්තාවක හා පුරුෂයකු අතර පමණක් ය යන හණමිටි අදහස සමාජගත කිරීමට දැඩි උත්සාහයක් දරනු ලබන අන්දමද දක්නට ලැබිණි. 

අධිකරණ තීන්දුව ක්‍රියාවට නැංවූ පසුගිය මැයි මස තුළදී ද ගතානුගතික දේශපාලඥයින් විසින් මීට විරෝධය පළකරනු ද දක්නට ලැබුණු මුත්, ඒ ප්‍රයන්ත එකක් වත් සාර්ථක නොවීය. මෙම තත්ත්වය තුළ සමරසි විවාහයට සහය පළකල එරට ජනපති සයි ඉන්ග්-වෙන් හට දඬුවම් කරන බවට ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ප්‍රතිඥා දී තිබිණි.

තායිවානයේ මැතිවරණ ආධිපත්‍යය දරන්නේ එරට පවතින ආර්ථික ගැටළු හා ආර්ථික බලවතා වන චීනය සමඟ පවතින සබඳතා මතය. එහෙත් ජනපති සායි මහතා සමරිසි විවාහයට සහය පළකිරීම තුළ තම මැතිවරණ ව්‍යාපාරයට පහරක් එල්ල වීමේ අවදානමක් ද පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මන්ද තවමත් තායිවානයේ ගතානුගතික හා විෂමරිසි ප්‍රමුඛ මානසිකත්වයෙන් (heteronormative) ලොව දෙස බැලීමට පුරුදුව සිටින ජනයා ජීවත් වන බැවිනි. 

තායිවානයේ දැනට ක්‍රියාත්මක වන නීතිය අනුව සමරිසි යුවල් හට තම සහකරුවන්ගේ ජීවවිද්‍යාත්මක දරුවන් පමණක් දරුකමට හදාගැනීමේ වරම් හිමිකර දී පවතී. මීට අමතරව, ඔවුනට විවාහ වීමට අවසර ලබා දී තිබෙන්නේ සමරිසි විවාහය නීත්‍යානුකූල බවට පිළිගත් රටකින් පැමිණි විදේශිකයන් සමඟ පමණක් වීම ද සුවිශේෂී ලක්ෂණයකි. 

ඒ අනුව තායිවානයේ සමාජීය මෙන්ම නීති පද්ධතිය තුළද මානව හිමිකම් පිළිබඳව තවත් බොහෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවිය යුතු බවට මින් පැහැදිලි වේ.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි