×

‘සිය රට දේ – සිරි සැප දේ‘ කියා තායිවාන ජනපතිනිය තායි එන්නතක් විද ගනියි

පැණියකට, ගුලියකට හෝ මුට්ටියකට වඩා, එන්නතක්ම ප්‍රමෝට් කිරීම එක අතකින් යහපත් ය.


තායිවාන ජනපතිනී සායි ඉන්-වෙන්, තායිවානයේ නිෂ්පාදිත ප්‍රථම කෝවිඩ් එන්නත ලබාගත්තාය. ඒ සමගම, එය මහජනතාව වෙත ලබාදීම ද ක්‍රියාත්මක වනු ඇති.

Medigen Vaccine Biologics Corp. සමාගම විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ එකක් වන එය, ජූලි මාසයේදී හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගත්තේය. එය හැඳින්වෙන්නේ මෙම සමාගමේ නමින්, එනම් ‘මෙඩිගන්‘ යනුවෙනි.

තායිවාන වෛද්‍ය සහ විද්‍යා ප්‍රජාව මෙයට මුලින් දැඩි විරෝධයක් පළ කළත් කෙසේ හෝ තායිවානයේ ඖෂධ පාලක අධිකාරිය කෙටි ක්‍රමයක් හරහා එයට අනුමැතිය ලබාදුන් බව ද සඳහන්.

එනම්, මෙම එන්නත සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අතුරු ආබාධ ගැන පරීක්ෂණ පවත්වා නැත. ඒ වෙනුවට ඔවුන් කර තිබෙන්නේ, මෙඩිගන් වැක්සිනය මගින් ඇස්ට්‍රා සෙනිකා එන්නත තරමටම ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවෙන බව සනාථ කිරීමයි.

මෙඩිගන් වැක්සිනය, මාත්‍රා දෙකකින් ලබාදිය යුතුය.

පසුගිය සිකුරාදා දිනය වන විට තායිවානයේ මිලියන 23 ක් වන ජනගහනයෙන් 40%ක් අවම වශයෙන් එක් කෝවිඩ්-19 වැක්සියක්වත් ලබාගෙන තිබිණි. පසුගිය මැයි මාසයේ පැවති 5%ක ප්‍රතිශතය සමග සසඳා බලන විට එය විශාල දියුණුවකි.

තායිවානය මෙඩිගන් වැක්සිනය වෙත යන්නේ ජපානයෙන් සහ ඇමරිකාවෙන් දළ වශයෙන් වැක්සින් මාත්‍රා මිලියන 5 ක් පරිත්‍යාගයක් ලෙස ලබාගැනීමේ හැකියාව තිබියදීය.

මෙඩිගන් වැක්සිනයේ හොඳ-නරක පිළිබඳ සංවාදය අනාගතයට නියමිත කාරණයක් වුවත්, තායිවාන ජනපතිනියගේ අවංක කම නම් අප අගය කළ යුතුය. ලංකාවේ බහුතර ජනතාවට ලබාදෙන සයිනොෆාම් චීන වැක්සිනය, රටේ නායකයා ඇතුළු ජන නායකයන් විසින් ලබාගත් අවස්ථා ඔබ දැක තිබේද? ඒ අතින් නම්, මේ ජනපතිනියගෙන් ඉගෙන ගන්නට දෙයක් තිබේ.

තායි ජනපතිනිය එන්නත ලබාගත් අවස්ථාව (AP)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි