×

ඇෆ්ගන් කාන්තා පොලිස් නිලධාරිනියක් මරුට: මැරුවේ තලේබාන්වරු – ඇසින් දුටු සාක්ෂිකරුවන්, අපි මැරුවේ නෑ – තලේබාන්වරු

ඇෆ්ගනිස්ථානයේ කාන්තා පොලිස් නිලධාරිනියකට වෙඩි තබා ඝාතනය කර ඇති බවට වාර්තා වේ.


මෙම සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ තලේබාන් සටන්කාමීන් විසින් ඈට වෙඩි තබා ඝාතනය කළ බවයි.

බානු නෙගාර් නම් එම පොලිස් නිලධාරිනිය ඝාතනය කොට තිබෙන්නේ අගේ ස්වාමියා සහ දරුවන් ඉදිරිපිට බව ද වාර්තා වේ.

ඈ මරණයට පත් කිරීමට පෙර දැඩි ලෙස පහර දී ඇති බව ද වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම ගෝර් ප්‍රාන්තයේ අගනුවර වන ෆිරෝස්කෝහ් හි දී ඇය ඝාතනයට ලක්ව තිබේ.

කෙසේවෙතත්, තලේබාන් සංවිධානය පවසන්නේ ඇගේ මරණයට තලේබාන්වරුගේ සම්බන්ධයක් නොමැති බවයි.

නෙගාර් පොලිස් නිලධාරිනියගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු දියත් කරන බව ද එම සංවිධානය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

ඇෆ්ගනිස්ථානයේ පැවති පරිපාලන ව්‍යූහය තුළ සේවයේ නියුතු වූ පුද්ගලයන් හට පොදු සමාව දීමට කටයුතු කර ඇති බවත්, මෙම පොලිස් නිලධාරිනියගේ මරණය පෞද්ගලික සතුරුකමක් හෝ වෙනත් හේතුවක් මත සිදුවන්නට ඇති බවත් එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

මියගිය නෙගාර් අටමසැති ගැබිනියක් බව ද වාර්තා වේ.

ඇගේ ඥාතීන් පවසන්නේ මරණය ට වගකිව යුතු සටන්කාමීන් ඉකුත් සෙනසුරාදා දින ආයුධ ද අතැතිව ඇගේ නිවසට පැමිණ ඇති බවත් නිවස සෝදිසි කිරීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයන් ගැට ගසා ඇති බවත්, ඔවුන් අරාබි භාෂාවෙන් කතාකළ බවත් ය.

ඉකුත් අගෝස්තු 15 වන දින තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ පාලන බලය ලබා ගැනීමත් සමඟ මානව හිමිකම් කණ්ඩායම් හඬ නැඟුවේ එරට තුළ සුළු ජාතිකයන් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ය.

කෙසේවෙතත් තලේබාන් සංවිධානය පවසන්නේ පැවති රජය වෙනුවෙන් කටයුතු කළ කිසිවකුගෙන් පළිගැනීමට එම සංවිධානය කටයුතු නොකරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි