×

Breaking News: තලෙයිබානය නව ආණ්ඩුවක් පිහිටුවයි – නම ‘‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘

තලෙයිබාන් පාලනය විසින් නිල වශයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම සිදු කෙරුණු අතර, ඒ අනුව රටේ නම ද වෙනස් වී තිබේ.


ඒ අනුව ඇෆ්ගනිස්ථානය අද පටන් හැඳින්වෙනු ඇත්තේ ‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘ ( “Islamic Emirate”) යනුවෙනි.

නව ආණ්ඩුව ඔවුන් විසින් හඳුන්වා දී තිබෙන්නේ අන්තර්වාර ආණ්ඩුවක් ලෙස ය.

තලෙයිබානයේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙන මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ් නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කරන්නේ කටාර් හි දී ඇමරිකාව සමග තලෙයිබාන් සාම කතා මෙහෙයවූ මුල්ලා බරාදාර් ය. ඔහු තලෙයිබාන් දේශපාලන බියුරෝවේ නායකයා ද වේ.

කැබිනට් මණ්ඩලය ද මේ වන විට නම් කර අවසන් ය.

එයට, 2001 වසරේදී ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව සටන් කළ ප්‍රධාන චරිත කිහිපයකටම කැබිනට් අමාත්‍ය ධුර පිරිනමා ඇති ආකාරය දැකගත හැකිය.

කාබුල් ගුවන් තොටුපොළට එල්ල කළ බෝම්බ ප්‍රහාර සිදු කළ ISIS-K සංවිධානය සහ, තලෙයිබාන් සංවිධානයේ සම්බන්ධීකාරක ලෙස සැලකුණු හක්කානි ජාලයේ ප්‍රධානියා ද කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු, සරාජුදීන් හක්කානි ය.

හක්කානි, ඇමරිකාවට සහ FBI සංවිධානයට වඩාත්ම අවශ්‍ය කර තිබෙන ත්‍රස්තවාදියෙකි. ඇමරිකාව විසින් ඔහුගේ හිසට ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් ද නියම කර ඇත.

අන්තර්වාර තලෙයිබාන් ආණ්ඩුවේ කාන්තා ඇමතිවරයෙක් නැති අතර, කිසිදු කාන්තාවකට අමාත්‍ය ධුරයක් පිරිනමා ද නැත.

‘කාන්තාවන්ව රාජ්‍ය පාලනයට හවුල්කර ගන්නා බව‘ තලෙයිබාන් සංවිධානය දැන් සති 3 ක සිට කියමින් සිටි කතාවකි. ඒ පිළිබද ඇතැම් පාර්ශවයන් විසින් සුබවාදී මතයන් ද දක්වා තිබිණි. කෙසේ නමුත් තලෙයිබාන් නායකයා පවසා තිබෙන්නේ ඒ ගැන කටයුතු කරමින් තිබෙන බවයි.

මේ අතර, ඇතැම් ඇෆ්ගන් කාන්තාවන් සිය දිවි පරදුවට තබමින් කාබුල් සහ පළාත්බද අගනුවරවල පසුගියදා විරෝධතාවල නිරත වී තිබුණේ තලෙයිබාන් පාලනය යටතේ සමාන අයිතිවාසිකම් සහ දේශපාලන ජීවිතය සඳහා පූර්ණ සහභාගිත්ව අයිතිය ඉල්ලා සිටිමිනි.

විරෝධතා සම්බන්ධයෙන් තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා පවසා තිබෙන්නේ, නීති විරෝධී විරෝධතාවලට හදිසි නීතිය යටතේ ඉඩ නැති බවයි. මෙයට සමගාමීව තලෙයිබාන් සටන්කරුවන්, කාබුල් හි වීදිවල සිට තර්ජනාත්මක වෙඩි මුර එල්ල කරන ආකාරය ද දැකගත හැකි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි