×

රුසියානු ප්‍රකෝටිපති Telegram CEO පවෙල් ඩුරොව් අත්අඩංගුවට

ටෙලිග්‍රාම් ආයතනය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඩුරොව්ට සැඟවීමට කිසිවක් නොමැති බවයි.


සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 26 : ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ප්‍රකෝටිපති ටෙලිග්‍රාම් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව්ගේ පණිවුඩකරණ යෙදුම මුදල් විශුද්ධිකරණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සාපරාධී ක්‍රියාවන්ට පහසුකම් සපයන බවට චෝදනා මත ප්‍රංශයේ Le Bourget ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති බව වාර්තා වේ.

බාලවයස්කරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීමේ වගකීම පැවරී ඇති ආයතනයක් වන ප්‍රංශයේ OFMIN සංවිධානයට අනුව, වංචාව, මත්ද්‍රව්‍ය ජාවාරම්, සයිබර් හිරිහැර කිරීම්, සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී රුසියානු සම්භවයක් ඇති ඩුරොව් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

39 හැවිරිදි ඩුරොව්ගේ රඳවා ගැනීම තවදුරටත් දීර්ඝ කරන ලෙස විමර්ශන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ප්‍රාදේශීය ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ, ඩුරොව් අසර්බයිජානයේ සිට ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙන් ගමන් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

කෙසේ නමුත් ටෙලිග්‍රාම් ආයතනය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඩුරොව්ට සැඟවීමට කිසිවක් නොමැති බවත්, ටෙලිග්‍රාම් ඩිජිටල් සේවා පනත ඇතුළු යුරෝපා සංගම් නීතිවලට අනුකූලව පිහිටුවා ඇති බවත්, වේදිකාවක් හෝ එහි හිමිකරු එම වේදිකාව අනිසි ලෙස භාවිතා කිරීම සඳහා වගකිව යුතු යැයි පැවසීම පදනම් විරහිත චෝදනා වන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි