×

තහනමට ලක් වූ ට්විටර් ගිණුම් දහයක් යළි කරළියට ගෙන ඒමට මස්ක්ගේ සූදානමක්!

මාධ්‍ය නිදහස අයුතු ලෙස යොදා ගැනීම හේතුවෙන් සදහටම කරළියෙන් පළවා හරිනු ලැබු පුද්ගලයන් හට මාර්ගය එළි පෙහෙළි කර දීමට මස්ක් සැරසෙන්නේ කුමන හේතුවකින් දැයි ප්‍රශ්නාර්ථයකි..


මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන්හි ජීවිත කාලය පුරාවටම තහනමට ලක්ව සිටින පුද්ගලයන් දස දෙනෙකු ගේ ඉරණම වෙනතකට යොමුකරමින් නැවතත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය නිදහස ලබාදීමට පසුගිය දා ට්විටර් සමාගම මිලදී ගත් ටෙස්ලා අධිපති ඊලෝන් මස්ක් ට හැකියාව ඇති බව අනාවරණය විය.

ට්විටර් මිලදී ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එම වෙබ් අඩවියේ යම් වෙනස්කම් සිදු කිරීමට තමා අපේක්ෂා කරන බවත් ප්‍රධාන වශයෙන්ම කලින් තහනම් කළ ගිණුම් නැවත පිහිටුවීමට ඊලෝන් මස්ක් කටයුතු කරන බවත් අනාවරණය විය.

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම තහනම් කිරීම නුසුදුසු බවත් එය තමා විසින් නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් මස්ක් විසින් මීට පෙර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති අතර කේටි හොප්කින්ස් වැනි අනෙකුත් ආන්දෝලනාත්මක චරිත ද හැකි ඉක්මනින් වෙබ් අඩවියට සම්ප්‍රාප්ත විය හැකි බවට අනුමාන කිරීම් තිබේ.

පසු ගිය දින තම ට්විටර් ගිණුමේ ‘The bird is freed‘ ලෙස සඳහන් කරමින් මස්ක් ප්‍රකාශ කළේ මෙම වෙබ් අඩවිය අසීමිත ලෙස භාෂණයේ නිදහස සීමා කර ඇති බවත් නිදහස් අදහස් ප්‍රකාශනයේ මුලසුන හොබවන්නෙකු ලෙස ඔහුගේ පවරා ගැනීම ප්‍රකාශයට පත් කරන බවත් ය.

ආරම්භයේ සිටම Twitter විසින් ඉහළ පෙළේ  ගිණුම් ගණනාවක් තහනම් කර ඇත්තේ එම පුද්ගලයන් විසින් පරිශීලක ප්‍රතිපත්ති (Community Guidelines) උල්ලංඝනය කිරීම දායක වූ හෙයිනි.

එහෙත් දැන් එය මස්ක්ගේ හිමිකාරීත්වය යටතේ පවතින බැවින් ජීවිත කාලය පුරාවටම තහනම් කරන ලද ගිණුම් දහයක් පිළිබඳව තතු අන්තර්ජාලයේ දැකගත හැකිවන අතර, ඒ අතුරින් ට්විටර් වෙබ් අඩවියට ආපසු ගෙන ආ හැක්කේ කුමන ගිණුම් දැයි ප්‍රශ්නාර්ථයකි.

එසේ නැවත කරලියට ගෙන ඒමට බොහෝ හැකියාවක් ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවේ මුලසුන හොබවනුයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඒ, පසුගියදා ඔහුගේ ට්විටර් ගිණුම හේතුවෙන් ගිනි ඇවිලුනු කැපිටල් හිල් කෝලහාලයෙන් අනතුරුව සදහටම එම ගිණුම තහනම් කළ නිසාවෙනි.

ට්‍රම්ප්ගේ නිල ට්විටර් ගිණුමේ පළ කළ සටහනක් හේතුවෙන් දක්ෂිණාංශික අන්තවාදීන් වොෂින්ටන් වෙත එක්‍ රැස් වී ප්‍රචණ්ඩකාරී කෝලාහලයක් නිර්මාණය කිරීම නිසා ඔහුගේ ගිණුම අවලංගු කළත් මස්ක් ප්‍රකාශ කළේ ට්‍රම්ප් මහතාට පනවා ඇති “මෝඩ” තහනම ආපසු හරවන බවයි. වෙබ් අඩවිය පවරා ගැනීම අවසන් කිරීමෙන් පසු ඔහු ගත් පළමු තීරණයක් වූයේ ට්‍රම්ප්ගේ ට්විටර් තහනමට වගකිව යුතු නීති ප්‍රතිපත්ති, විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා වන විජය ගාද්දේ නෙරපා හැරීමයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් මහතා මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ ඔහු විසින් ඔහුගේම නිර්මාණයක් වන Truth Social වෙත අවධානය යොමු කරනවා හැර අවස්ථාවක් ලබා දුන්නද, ඔහු නැවත ට්විටර් වෙබ් අඩවියට නොපැමිණෙන බවයි.

කේටි හොප්කින්ස් (Katie Hopkins) යනූ අපයෝජනය සහ ද්වේශ සහගත හැසිරීම සඳහා වන ට්විටර් වෙබ් අඩවියේ නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඉකුත් වසරේ තහනමට ලක් වූ දක්ෂිණාංශිකයෙකි.

The Apprentice හි තුන්වන කතා මාලාවෙන් ප්‍රථමයෙන් ජනප්‍රියත්වයට පත් වූ කේටි හොප්කින්ස්, වේදිකාව මත මතභේදාත්මක අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර වාර්ගික වෛරය නිර්මාණය කිරීම සඳහා ඇයගේ ගිණුම භාවිතා කළ බවට චෝදනා එල්ල විය.

ජෝර්ජ් සිමර්මන් (George Zimmerman) එසේ වෙබ් අඩවි තහනමට ලක් වූ තවත් පුද්ගලයෙකි. 2012 දී 17 හැවිරිදි කළු ජාතික තරුණයකු වන ට්‍රේවෝන් මාටින් වෙඩි තබා ඝාතනය කිරීමට වරදකරු වූ ජෝර්ජ් සිමර්මන් පසුව ඔහුව සියලු අපරාධ චෝදනාවලින් නිදහස් කරන ලදී. නමුත් 2015 දී ඔහුගේ නිල ගිණුම අත්හිටුවා ඇත.

ඒ ඔහු විසින් තම හිටපු පෙම්වතිය ලෙස හඳුනාගත් කාන්තාවකගේ අඩ නිරුවත් ඡායාරූප පළ කිරීමට මෙම ගිණුම භාවිතා කළ හෙයිනි.

තවද ඔහු විසින් ඡායාරූප සමඟ ඇයගේ නම, දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ද පළ කරමින්  මුස්ලිම් ජාතිකයකු සමඟ ඇය ඔහුව රවටා ඇති බවටද ජෝර්ජ් විසින් ඇයට චෝදනා කළේය.

ඔහු පළකළ ට්වීට් මගින් පෞද්ගලික සම්බන්ධතා තොරතුරු හෝ සමීප ඡායාරූප අවසරයකින් තොරව පළ කිරීමට එරෙහිව Twitter හි ප්‍රතිපත්ති උල්ලංඝනය කළ බැවින් ඔහුගේ ගිණුම මෙසේ අවලංගු කරන ලදී.

කොවිඩ් ව්‍යාප්තිය සඳහා 5G ජංගම දුරකතන ජාල සම්බන්ධ බව පවසමින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ වංචාකාරී න්‍යායාචාර ඩේවිඩ් (David Icke) ගිණුම පසුගිය වර්ෂයේ අවලංගු කරන ලදී.

තවද ඔහු තමන් දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවත් ලෝකය පාලනය කරන්නේ උරගයින් බවත්  විශ්වාස කරයි. එමෙන්ම ඔහු විසින් අගමැති බොරිස් ජොන්සන්ට සහ බිල් ගේට්ස්ට විරුද්ධව සටහන් පළ කිරීම ද ඇතුළත් විය.

ටොමී රොබින්සන් (Tommy Robinson) යනු එසේ තම ගිණුම තහනමට ලක් වූ තවත් පුද්ගලයෙකි. හිටපු ඉංග්‍රීසි ආරක්ෂක ලීගයේ (EDL) නායකයා වූ මොහුගේ ගිණුම 2018 දී අත්හිටුවන ලදී.

වෛරී හැසිරීම නිසාවෙන් ඔහු වෙබ් අඩවියේ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇතැයි විශ්වාස කරන නමුත් අත්හිටුවීමට හේතු වූයේ කුමක් නිසැක වශයෙන්ම නොදන්නා බවට අනාවරණය විය. සැබෑ නම ස්ටීවන් යක්ස්ලි-ලෙනන් වන මොහු ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයකු ලෙස පුළුල් ලෙස දැකිය හැකි වූ අතර තම වේදිකාවේ 400,000 කට වඩා අනුගාමිකයෝ සිටියහ.

අත්හිටුවීමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් #IAmTommy යන හැෂ් ටැගය වටා රොක් වූහ.

අවලංගුවට පත් තවත් ගිණුමක් වනුයේ ජීවිතාරක්ෂක ඖෂධයක මිල පෙත්තක මිල ඩොලර් 13.50 සිට 750 දක්වා ඉහළ දමා ඖෂධ සමාගම විශාල ලාභයක් ඉපැයූ පුද්ගලයා ලෙස ප්‍රකට වූ මාටින් ෂ්ක්‍රෙලියි (Martin Shkreli). මාධ්‍යවේදී ලෝරන් ඩුකාට එල්ල කළ හිරිහැර කිරීම සම්බන්ධයෙන් ඔහුව වෙබ් අඩවියෙන් ස්ථිරවම තහනම් කර ඇති අතර පසුව හෙජ් අරමුදල් ආයෝජකයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට සිර දඬුවම් ද ලබාදී ඇත.

Ghostbusters හී නිළි ලෙස්ලි ජෝන්ස් වර්ගවාදී සහ ලිංගිකත්වවාදී ලෙස වාචික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබි දක්ෂිණාංශික විචාරක මයිලෝ යිනානොපවුලස් (Milo Yiannopoulos) ගේ ට්විටර් ගිණුම 2016 වසරේ දී ට්විටර් සමාගම විසින් ස්ථිරවම තහනම් කරන ලදී. “අන්තර්ජාලයේ ඇති අතිවිශිෂ්ටතම අධීක්ෂක” ලෙස තමන් විසින්ම සලකනු ලබන බ්‍රීට්බාර්ට් (Breitbart) නම් එක්සත් ජනපද වෙබ් අඩවියේ තාක්ෂණ සංස්කාරක වන යිනානොපවුලස් විසින් ලෙස්ලිට ප්‍රහාර දියත් කිරීමට තම අනුගාමිකයන් මෙහෙය වූ බවට අනාවරණය වීමත් සමඟ මෙම තහනම පනවන ලදී.

තහනමට ලක් පුද්ගලයන් අතුරින් අටවැන්නා වනුයේ ඇසීලියා බෑන්ක්ස් (Azealia Banks) ය. එම ගායිකාව විශේෂයෙන්ම තහනමට ලක් වූයේ හිටපු 1Direction සාමාජික සෙයින් මලික් (Zayn Malik) ඉලක්කකරමින් වර්ගවාදී ප්‍රකාශ සිදුකිරීම සහ සමලිංගිකභීතික (homophobic) ප්‍රකාශ සිදුකිරීම ඇතුළුව ඇගේ අහිතකර ට්විටර් ප්‍රචණ්ඩත්වයන් සඳහා ය. තවද ඇය පෙරෙස් හිල්ටන් (Perez Hilton) සහ LGBT+ හිමිකම් සංවිධානයක් වන GLAAD ට එරෙහිව සමලිංගිකභීතික ප්‍රකාශයන් ද සිදු කළ තැනැත්තියකි.

නව වැන්නා වනුයේ Infowars වෙබ් අඩවිය ආරම්භ කළ එක්සත් ජනපද  න්‍යායාචාර්යවරයෙකු වන ඇලෙක්ස් ජෝන්ස් (Alex Jones) ය. ඔහු මෙසේ තහනමට ලක්ව ඇත්තේ එක්සත් ජනපද ඉතිහාසයේ මාරාන්තික පාසල් වෙඩි තැබීම්වලින් එකක් වන Sandy Hook පාසල් සිද්ධිය නළුවන් යොදාගෙන වේදිකාගත කළ බවට අසත්‍ය ප්‍රකාශ කිරීම නිසාවෙන්‍ ය.

ස්ටීව් බැනන් (Steve Bannon) යනු ඊලෝන් මස්ක් විසින් නැවතත් යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් ඇති අවලංගු කරන ලද ගිණුම් වලින් අවසන් වැන්නයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ප්‍රධාන උපායමාර්ගිකයා වන ඔහුගේ ට්විටර් ගිණුම තහනම් කරන ලද්දේ ඔහු ආචාර්ය ඇන්තනි ෆවුසිගේ සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ (FBI) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ගේ හිස ගසා දමන ලෙස ඉල්ලා සිටීමෙන් පසුවය.

මෙලෙස තම මාධ්‍ය නිදහස අයුතු ලෙස යොදා ගැනීම හේතුවෙන් සදහටම කරළියෙන් පළවා හරිනු ලැබු පුද්ගලයන් හට මාර්ගය එළි පෙහෙළි කර දීමට මස්ක් සැරසෙන්නේ නම් ඒ කුමන හේතුවකින් දැයි ප්‍රශ්නාර්ථයකි.

ඕවින්දි විෂ්මිකා

* Sky News පුවත් වෙබ් අඩවියේ පළවූ Ten people Elon Musk could bring back to Twitter – by revoking their permanent bans නම් ලිපිය ඇසුරිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි