×

චීන බූවල්ලාගේ මිල, යුරෝපය දනියිද?

යුරෝපය තුළ චීනයට දැනට වරායන් 13 ක්. ආසියාව ගැන කුමන කතාද? චීනය බුවල්ලෙකු මෙන් යුරෝපාකරය තුළ අණසක පතුරුවාගනිමින් සිටින්නේ මෙසේ ය.


චීනයේ යිවු නගරයෙන් ඇරඹෙන ලෝකයේ දෙවැනි දීර්ඝතම භාණ්ඩ ප්‍රවාහන සෘජු දුම්රිය සේවාව, Yiwu-to-London ලන්ඩනයට පැමිණෙයි. මෙම දුම්රිය ලන්ඩනය දකින්නේ ෂැංහයි නුවරට දකුණු දිගින් පිහිටි යිවු නගරයෙන් ගමන් අරඹා දින 18කට පසුව ය. ඒ කි.මී. 12,0000 ක (සැතපුම් 7,500 ක) දුර අතරතුරදී දුම්රිය කසාක්ස්ථානය, රුසියාව, බෙලරුස්, පෝලන්තය, ජර්මනිය, බෙල්ජියම සහ ප්‍රංශය පසු කරයි. පෙර- අපර දෙදිග කරන නූතන සේද මාවතේ සැලකිය යුතු කොටසක් එයින් ආවරණය වේ.

මේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, ලෝකයේ ප්‍රධානතම මාර්ග සහ වරායන් ආවරණය කරන සුප්‍රකට සහ මතභේදාත්මත Belt and Road Initiative චීන ණය ආයෝජන ව්‍යාපෘතියේ කොටසකි. 2013 වසරේදී චීන ජනපති ෂී ජින් පින් විසින් ආරම්භ කරන ලද මෙය, ලෝකයේ ප්‍රධාන වෙළඳ මර්මස්ථාන කෙරෙහි චීනයේ ක්‍රමෝපායික අතපෙවීම සංකේතවත් කරයි. පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රී ලංකාවේ මාගම්පුර වරාය ද මෙම Belt and Road Initiative හිම කොටසකි. චීනය විසින් දියත් කළ නූතන සේද මාවත ලෙස සැලකෙන්නේ Belt and Road Initiative ය.

ඒ නූතන සේද මාවතේ තතු මෙසේ ය.

එය චීනයේ ගෝලීයකරණය සංකේතවත් කරයි. එය වරායන්ගේ සිට බලාගාර දක්වාද, පාපන්දු සමාජවල සිට මූල්‍ය සමාගම් දක්වාද, කර්ක්නස් වැනි නෝවීජියානු වරායක සිට ග්‍රීසියේ පිරේයස් වරාය දක්වාද, එයින් නොනැවතී පෘතුගාලයේ ජාතික විදුලි ජාලය දක්වාද විහිදෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම් යුරෝපා ආර්ථිකය තුළ චීනය විසින් සිදුකර ඇති ආයෝජන නොවැළැක්විය හැකි යථාර්ථයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් ගෝලීය ආර්ථික බලවේගයක් ලෙස චීනයේ නැගී සිටීම විසින් යුරෝපියානු ආණ්ඩුවලට ක්‍රමෝපායික උභතෝකෝටියක් ද නිර්මාණය කර තිබේ.

‘‘චීනය ගැන බොළඳ ලෙස තවත් නොසිතන්න‘‘ – ප්‍රංශ ජනපති

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් 2019 මාර්තු මස අනතුරු හඟවා සිටියේ චීනය ගැන යුරෝපය ‘බොළඳ ලෙස සිතූ කාලපරිච්ඡේදය‘ අවසන් කළ යුතුව ඇති බවයි.

චීනය, පාඩු ලබන බ්‍රිතාන්‍ය වානේ සමාගම මිලදී ගත් හැටි

මෙය හුදෙක් ‘විදේශිකයන් සම්බන්ධයෙන් දක්වන භීතිකාව‘ හෙවත් ක්සීනොෆෝබියාව සලකුණු කරන බියක්ද? British Steel සමාගමේ ස්කන්තෝර්ප් කම්හලේ කම්කරුවන්, එම සමාගම චීනයේ ජිංසේ සමූහයට විකුණා දැමීම ගැන නියත වශයෙන්ම කෘතඥ වනවා විය යුතුය. එනිසා ඔවුන්ගේ රැකියා 4000 ක් සුරැකුණේය. වානේ සමාගමේ වෘත්තීය සමිති ජාතිකවාදී කිරීමෙන් වැළැක්වීම වැනි ඉල්ලීම් සලකා බැලීමට යුරෝපා සංගමයේ ආධාර කණ්ඩායම් උත්සුක නොවූ අතර, ලෝක වෙළඳ සංවිධානය පවා බ්‍රිතාන්‍යයට මේ සමාගම බේරාගැනීමට තිබූ අවස්ථාවට දිරි නොදුන්නේය.

බොහෝ චීන ආයෝජකයන් ට චීන රජය සමග මූල්‍යමය සබඳතා තිබේ. ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ ආයෝජන සමාගම් පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගම් වීම ද ඉබේ සිදුවන්නක් නොවේ. කෙසේ නමුත් යුරෝපය පුරා චීනය විසින් සිදුකරමින් තිබෙන ආයෝජනවල භූ දේශපාලනමය පෙළඹවීම ගැන එය ගැටළු මතු කරයි. පාඩු ලබමින් තිබෙන බ්‍රිතාන්‍ය වානේ සංස්ථාව, ‘හොඳ ආයෝජනයක්‘ සේ චීන සමාගමක් දුටුවේ ඇයි?

වික්තර් ඔර්බාන්ගේ හංගේරියාව

ගතවූ මාස කිහිපය තුළ මේ ලියුම්කාරිය, යුරෝපයෙන් පැමිණ සිටි තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සමග චීනයේ ආයෝජන ආක්‍රමණශීලිත්වය (investment offensive) පිළිබඳ ගැඹුරින් සොයා බැලුවේ, එහි පරිමාණය සහ එය කොතරම් සාදරශීලී හෝ කරදරකාරී දැයි විමසා බලමිනි. සැලකිය යුතු සේද මාවත ව්‍යාපෘතියක් සමග ඒ වන විට එක්ව සිටි එකම යුරෝපා සංගම් රාජ්‍යය වූයේ වික්තර් ඔර්බාන්ගේ හංගේරියාවයි. එනම් චීන ණයවලින් ඉදි කෙරෙන යූරෝ බිලියන 2 ක අධිවේගී බුඩාපේස්ට්- බෙල්ග්‍රේඩ් දුම්රිය මාර්ගය (පිරේයස් යා කරන)යි.   ක්‍රොයේෂියාවේ යූරෝ මිලියන 357 ක පාලමක් ඉදිකරමින් තිබුණේ චීන සමාගමක් විසිනි. එයින් හතරෙන් පහක මුදල් ආයෝජනයක් සිදුකර තිබුණේ යුරෝපා සංගමයේ බදු ගෙවන්නන් විසිනි.

දස වසරක් තුළ යුරෝපයේ යූරෝ බිලියන 300 ක චීන ආයෝජනයක්

යුරෝපය තුළ සමස්ත චීන ආයෛා්ජනය ගතවූ දශක දෙක තුළ බොහෝ කර්මාන්ත හා කාර්මික අංශ ආක්‍රමණය කරමින් තිබේ. 2008 සිට 2018 දක්වා කාලය තුළ යුරෝපා සමාගම් මිලදී ගැනීම හෝ යුරෝපා සමාගම්වල සැලකිය යුතු කොටස් මිලදී ගැනීම් සඳහා චීනය ඇස්තමේන්තුගත යූරෝ බිලියන 300 ක මුදලක් ආයෝජනය කර තිබේ. ගතවූ දශකය තුළ චීන ආයෝජකයන් වඩාත්ම ආකර්ෂණය වූ යුරෝපා රටවල් වන්නේ බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශයයි.

චීනය යුරෝපය තුළ සිදුකළ ආයෝජනයන් තරම් සුවිසල් ආයෝජනයන් යුරෝපය විසින් චීනය තුළ හෝ ඇමරිකාව විිසින් යුරෝපය තුළ සිදුකර නැත.

චීනය ප්‍රතිමල්ලවයෙක්

කෙසේ නමුත් 2019 මාර්තු මාසයේදී චීනය ‘ක්‍රමික ප්‍රතිමල්ලවයෙකු‘ (“systemic rival ) බවට ප්‍රකාශ කරමින් පත්‍රිකාවක් නිකුත් කළේය. එසේ වීමට සෑහෙන හේතු තිබිණි. 2016 දෙසැම්බරයේදී චීනයේ මිඩියා සමාගම විසින් ජර්මනියේ රොබොටික්ස් නිපැයුම් සමාගමක් වූ ‘කුකා‘ සමාගම යූරෝ බිලියන 4.5කට මිලදී ගත්තේය. මෙම සමාගම සැලකුණේ ජර්මනියේ කර්මාන්ත අංශයේ මුතු ඇටය ලෙස ය. බෙයිජිං හි සිටි ජර්මානු තානාපති සහ වර්තමානයේ යුරෝපා සංගමය සඳහා සිටින ජර්මානු නිත්‍ය නියෝජිත මයිකල් ක්ලෝස් ඒ ගැන පැවසුවේ මෙසේ ය. ‘‘කුකා වැනි සමාගම් මිලදී ගැනීම බිය උපදවනවා. ඔවුන් මේ සමාගම්වල තාක්ෂණය ලබාගැනීමෙන් පසුව ඒවා විසි කර දමාවි..‘‘

Xi Jinping visits the Greek port of Piraeus earlier this month
නොවැම්බර් 11 වැනිදා චීන ජනපති ෂී ජින් පින් ග්‍රීසියේ පිරයෙුස් වරාය නැරඹීමට පැමිණියේය. ගතවූ වසර 10 තුළ යුරෝපය තුළ චීන ආයෝජනය යුරෝ බිලියන 300 කි. Photograph: Xinhua/Rex/Shutterstock

වොල්වෝ Volvo සමාගම චීනයට අයිති වූ හැටි සහ එයින් නොනැවතුණු හැටි

මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ ගීලි (Geely) 2010 වසරේදී පාඩු ලබමින් තිබූ ස්වීඩන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ වොල්වෝ ඇ.ඩොලර් බිලියන 1.5කට මිලදී ගත්තේය. එය දෙපාර්ශවයටම ප්‍රතිලාභ ගෙන දුන්නේය. ස්වීඩන් මෝටර් රථ සමාගමේ සන්නාමය වේගයෙන් වැඩි දියුණු වූ අතර, ගීලි සමාගම තාක්ෂණික ප්‍රතිලාභය ලැබුවේය. 2017 වසරේදී එය බ්‍රිතාන්‍යයේ ලෝටරස් ස්පෝට්ස් කාර් සමාගමද, ඩෙයිම්ලර් සමාගමට අයත් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ සමාගමෙන්ද කොටස් මිලදී ගත්තේය. 2013 වසරේදී ගීලි සමාගම London Taxis International සමාගම මිලදී ගත්තේ පවුම් මිලියන 11.4කට ය. මෙම ටැක්සි රථ සේවය ලන්ඩනයේ කළු පැහැති කුලී මෝටර් රථ සන්නාමය විය. දැන් එය හැඳින්වෙන්නේ London Electric Vehicle Company ලෙස ය. පසුව මෙම ආයෝජකයන් විසින්ම එක්සත් රාජධානියේ පළමු, විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම බවට කොවෙන්ට්‍රි කර්මාන්තශාලාව පත්කළේය. මෙම ලිපියේ ලියුම්කරුවන් හට නෝර්වේ සිට ඉතාලිය දක්වා වූ චීන අතපෙවීම් සහිත සමාගම්වල සේවකයන් හා කළමනාකරුවන් විසින් කියා සිටියේ, ඒවායේ තත්වය උසස් වී ඇති බවයි.

යුරෝපය තුළ චීනයට වරායන් 13 ක්!

කෙසේ නමුත් ග්‍රීසිය වැනි යුරෝපයේ ණය බරින් පීඩිත වී ඇති රටවලට වෙනත් විකල්පයක් ද නැති සේ ය. යුරෝපය තුළ චීනයේ පළමු ප්‍රධාන පෙළේ ආයෝජනය පැමිණෙන්නේ ද ග්‍රීසියට ය. එය ග්‍රීසියේ පිරේයුස් වරායයි. මේ වන විට චීනයට යුරෝපයේ වරායන් 13 ක හිමිකම තිබේ.

අනෙක් අතට, ග්‍රීක වරාය මේ අන්දමින් පෞද්ගලීකරණයට ලක්කිරීම, අන්තර්ජාතික ණය දෙන්නන් විසින් ද අනුමත කර තිබුණේ ආර්ථිකය ගළවා ගැනීමේ මගක් ලෙස ය.

පෘතුගාලයේ දීද මෙයම සිදුවිය. එහි ජාතික විදුලි බල සැපයුම සඳහා චීනය සිදුකළ ආයෝජනය යූරෝ බිලියන 9 කට අධික ය. එයට චීන රජයට අයත් ස්ටේට් ග්‍රිඩ් සහ චයිනා ත්‍රී ජෝර්ජ්ස් සමාගම ද අයත් වේ. කෙසේ නමුත් මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පෘතුගාලය ‘ක්‍රමෝපායික හවුල්කරුවෙකු‘ බවට පත්ව ඇතැයි ලිස්බන් හි සිටින චීන තානාපතිවරයා පවසයි. නමුත් ලිස්බන් සරසවියේ දේශපාලන විද්‍යාඥයෙකු වන රෆායල් වැස්-පින්ටෝ මෙසේ කියයි. ‘‘අපිට වෙළඳපොළ තර්කනය (මාකට් ලොජික්) විසින් පෞද්ගලීකරණය වෙත බල කරනු ලැබුවා. අවසානයේ රාජ්‍ය ධනවාදී සමාගම්වලට ඒවා විකුණා දැමුවා.‘‘

තීරණාත්මක යටිතල පහසුකම් සඳහා චීනය සිදුකරන ආයෝජනයන් බරපතළ බව පිළිගැනීමට යුරෝපය දැන් යොමු වී ඇතත්, මේ ප්‍රවේශයට තමන්ගේම ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බව පිළිගැනීමට යුරෝපය තවම මැලි වෙයි.

පශ්චාත් බ්‍රෙක්සිට් යුගයේ ගැළවුම්කාරයා චීනයද?

‍එක්සත් රාජධානියට බ්‍රෙක්සිට්වලින් අනතුරුව ග්‍රීසිය හෝ පෘතුගාලය ලක්වූ තත්වයටම පත්වීමට ඉඩ තිබේ. වාණිජමය ගිවිසුම්වලින් බැහැර විය නොහැකි, එනමුත් කේවල්කිරීමේ බලය දුර්වල තත්වයක සිට ඔවුන්ට මේ ගැන තීරණ ගැනීමට සිදුවනු ඇත.

චීනය, සිය මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ඇතිවන කෑගෑම් නිහඬ කිරීමට සිය ආර්ථික බලය යොදා ගන්නේද? චීනයේ ආයෝජනයන් මත රඳා පැවතීම පැහැදිලිවම ස්වයං නියාමනයකට මග පාදනු ඇත.

මේ වන විට එක්සත් රාජධානිය තුළ ඉගෙනුම ලබන විදෙස් සිසුන්ගෙන් 1/4ක් ම චීන ජාතිකයන් ය. මේ පිළිබඳ පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ද සාකච්ඡාවක් ඇති විණි. මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ කතා කරන්නේ නම් චීන අධ්‍යාපන ආයතනවල සිටින උගතුන් හට සිය චීන වීසා අහිමි වීමේ අවදානමක් ඇති බව ද පැවසේ. 2016 වසරට පෙර යුරෝපයේ බොහෝ රටවලින් රතු පලස එළා පිළිගත් දලයි ලාමා හට 2016 වසරෙන් පසුව එම පිළිගැනීම ලැබී නැත්තේ ද මේ නිසා ය. ගතවු වසර 3 තුළ කිසිදු ප්‍රධාන පෙළේ යුරෝපියානු දේශපාලකයෙකු විසින් දලයි ලාමා හට එබඳු පිළිගැනීමක් ලබා දී නැත.

යුරෝපය දැන් සීරුවෙන්

කෙසේ නමුත් මේ වන විට යුරෝපය සෘජු විදේශ ආයෝජන පරීක්ෂා කිරීම සඳහා නව ස්ක්‍රීනින් උපායමාර්ග (screening tool for foreign direct investment) ගෙන තිබේ. මෙය, චීනය විසින් යුරෝපය තුළ සිදුකරන අත්පත් කරගැනීම් තියුණු ලෙස අධීක්ෂණය සඳහා ගනු ලැබූ පළමු පියවරයි. මැක්රොන්ගේ ප්‍රකාශය තුළින් ද පෙනී යන්නේ යුරෝපා සංගමයේ ස්ථාවරය තුළ ඇති විසංවාදය, ප්‍රමාද වී හෝ පිළිගැනීමකට ලක්ව ඇති බවයි. නමුත් චීන – ඇමරිකානු වාණිජ යුද්ධය විටින් විට නැවත නැවතත් ඉඟි කරන්නේ යුරෝපියානු ප්‍රවේශය ගළපා ගැනීමකින් තොරව දෙපාර්ශවයේම ආණ්ඩු විසින් වාණිජ හා ව්‍යාපාර ගනුදෙනු සලකා බලමින් සිටින බවයි. මෙමගින් සිදුවිය හැකි හානිය දිගින් දිගටම වැඩි වෙමින් පවතින බව ද ඉදිරියේදී යුරෝපයට වැටහෙනු ඇත.

• යුරෝපා රටවල් 8 ක් පාදක කරගෙන ක්‍රියාත්මක වන Investigate Europe වැඩසටහන වෙනුවෙන් මාධ්‍යවේදිනී ජුලියට් ෆර්ගියුසන් – Juliet Ferguson විසින් ‘ද ගාඩියන්‘ වෙබ් අඩවියට සපයා තිබූ Europe needs China’s billions. But does it know the price? ලිපිය ඇසුරෙනි.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි