×

මාහ්සාට යුක්තිය ඉල්ලා කරන අරගලය මැද ප්‍රංශ ජාතිකයන් පස්දෙනෙකු ඉරාන රැඳවුම්භාරයට!

සැකසහිත හේතු මත මරණයට පත් මාෂා අමීනි වෙනුවෙන් එරට ජනතාව වීදි බැස අරගල කිරීම මේ වන විටත්


ඉරානයේ ඉස්ලාම් ආගමික පිළිවෙත් නිවැරදිව අනුගමනය නොකිරීම මත අත්අඩංගුවට පත්ව ඉකුත් දිනක සැකසහිත හේතු මත මරණයට පත් මාහ්සා අමීනි වෙනුවෙන් එරට ජනතාව වීදි බැස අරගල කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතී.

ඡායාරූප : Tablet magazine

අද දින වාර්තා වන අන්දමට මෙම අරගලවලට සහාය පළකළේ යැයි ප්‍රංශ ජාතිකයන් පස්දෙනෙකු ද ඉරාන පොලීසිය විසින් රැඳවුම්භාරයට ගෙන තිබේ.

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය කැතරින් කොලෝනා අද (11) දින නිකුත් කළ නිවේදනයකට අනුව, ප්‍රංශ ජාතික පුද්ගලයන් පස් දෙනෙකු මේ වන විට ඉරානයේ රැඳවුම්භාරයට ගෙන තිබේ.

තව ද මාහ්සාගේ මරණය මත හටගත් ජන අරගල හමුවේ ඉරානයේ මෙවන් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුවන බැවින් වහාම රටින් ඉවත්වන ලෙස ප්‍රංශ රජය ඉරානයේ සිටින ප්‍රංශ ජාතිකයන්ට අනතුරු අඟවා තිබේ.

ඉරාන රජයේ ආගමික සදාචාර පොලීසිය (Religious Morality Police) විසින් 22 හැවිරිදි මාහ්සා අත්අඩංගුවට ගැනෙන්නේ ඈ හිජාබය නිවැරදිව පැළඳ නොසිටීමේ චෝදනාව මතය. හිජාබය පැළඳීමේදී හිසකේ පිටතට විවෘත වන සේ ඈ එම ඇඳුම හැඳ සිටීම මත ඈ අත්අඩංගුවට පත් විය.

ඉකුත් සැප්තැම්බර් 16 වන දින මාහ්සා අමිනි මියගියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවර රෝහලක වන අතර, ඇගේ මරණය සැකසහිත බවත් ඈ පෙනී සිටි දෑ වෙනුවෙන් ඈට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවත් අරගලකරුවෝ පෙන්වා දෙති.

සදාචාර පොලීසියේ රැඳවුම්භාරයේ සිටියදී මෙසේ මරණයට පත් මාහ්සා ඝාතනයට ලක්වූ බවට සාධාරණ සැකයක් පවතින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ අතර මිය ගිය මාහ්සා ගේ පවුලේ සාමාජිකයන්ට මේ වන විට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ඈගේ ඥාති සහෝදර පාර්ශවයන් මාධ්‍ය වෙත පවසා තිබේ.

මාහ්සාගේ මරණය සමඟ මතුවූ ජන අරගලය උත්සන්න වෙමින් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප : KCRW
ඡායාරූප : Harper’s BAZAAR Australia


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි