×

කොරෝනා වසංගතය ගැන 1981 දී අනාවැකි කියූ ප්‍රබන්ධ නවකතාව – ‘The Eyes of Darkness‘?

ඩීන් කූන්ට්ස් නමැති ත්‍රාසජනක නවකතා ලියන ප්‍රබන්ධකරුවා විසින් 1981 වසරේදී ලියා පළ කළ ‘The Eyes of Darkness‘ නවකතාවේ එන ජෛව ආයුධයේ නම ‘වුහාන්-400‘ ය.


මේ වන විට අන්තර්ජාලය කැළඹී තිබෙන්නේ එම නවකතාව මගින් ඩීන් කූන්ට්ස්, 2020 කොරෝනා වසංගතය ගැන අනාවැකියක් හරියටම කියා ඇති බව අවධාරණය කරමිනි. ඒ සඳහා කොරෝනා වෛරසය චීනයේ වුහාන් පළාතෙන් පුපුරා යාම මෙන්ම, වුහාන්-400 යන එහි නම මගින් 2020 හෙවත් 400=20*20 යන ගණිත සූත්‍රය සනාථ වීම නිසා ද ඩීන් කූන්ට්ස් දැන් ඔහුගේ පාඨකයන් නොවන අය අතර පවා වීරයෙකු බවට පත්ව තිබේ.

ඔබ මෙහි ඇතැම් පිටුවක සැරිසරද්දී ඩීන් කූන්ට්ස් සැබවින්ම අනාගත වක්තෘවරයෙකුදැයි සිතෙන තරමට ඔබේ සිත එහි පේළි අතර නතර වනු නිසැක ය.

ඒ නිසාම, මේ ප්‍රබන්ධයේ දැක්වෙන්නේ පරම සත්‍යයක් සහ, ‘නගර පිටින් අතුගා දමන්නට තරම්‘ වුහාන් වෛරසය සමත් වේ යැයි අනියත බියක් ද ඔබ ඇති කර ගැනීමට ඉඩ තිබේ.

සැබවින්ම අහම්බයක් විය හැකි මෙන්ම නොවිය ද හැකි මේ නවකතාවේ අන්තර්ගතය වසර 19-20කට පසු සැබෑ වෙමින් තිබෙන්නේද?

‘The Eyes of Darkness‘ නවකතාව ඩීන් කූන්ට්ස් විසින් රචනා කරන්නේ 1981 වසරේදී ය. එහිදී ‘වුහාන් 400‘ (‘Wuhan-400’) යනුවෙන් ඔහු නම් කරන එම වෛරසය චීනයේ වුහාන් නගරයේ ජෛව විද්‍යාගාරයක නිපදවන ලද්දකි. COVID-19 පිළිබඳ මුල්ම ඔත්තුව ලැබෙන්නේ ද වුහාන් නගරයෙනි.

මේ නවකතාවේ එන එක් චරිතයක් මෙසේ කියයි. ‘They call the stuff ‘Wuhan-400′ because it was developed at their RDNA labs outside the city of Wuhan.’

‘ඔවුන්ට මේකට Wuhan-400′ කියා කියනවා. මොකද මේක නිෂ්පාදනය කළේ වුහාන් නගරයෙන් පිටත පිහිටා තිබෙන ඔවුන්ගේ RDNA විද්‍යාගාර තුළයි..‘‘

මෙතැනදී සත්‍යය සහ ප්‍රබන්ධය ගැටේ. ‘දි අයිස් ඔෆ් ඩාක්නස්‘ පොතෙහි එය සම්පූර්ණයෙන්ම විද්‍යාගාරයක් තුළ මිනිසා විසින් නිපදවූ ජෛව අවියක් ලෙස නම් කළත්, මේ දක්වා ලෝකය දන්නා තොරතුරුවලට අනුව කොවිඩ්-19 මුලින් වුහාන් හි පණපිටින් සතුන් මස් කරන ‘තෙතබරිත එළිමහන් වෙළඳපොළ‘වලින් හෝ කබල්ලෑවන්ගෙන් හෝ හටගෙන දෙවැනුව මිනිසුන්ට බෝවූ රෝගයකි.

තවද මේ ප්‍රබන්ධයේදී වුහාන්-400 යනු, පැය 12 ක් ඇතුළත 1000%ක් මරණය කැඳවන වෛරස් අවියකි. ප්‍රබන්ධයේ එන චරිතවලින් පැහැදිලි කර දෙන අන්දමට ඒ මෙසේ ය. ‘‘චීනය අරමුණු කරන්නේ සම්පූර්ණ රටක් හෝ සම්පූර්ණ නගරයක් අතුගා දැමිය හැකි ආකාරයේ වෛරස් අවියක්‘ නිපදවීමට ය.

‘Wuhan-400 is a perfect weapon. It afflicts only human beings. No other living creature can carry it. And like syphilis, Wuhan-400 can’t survive outside a living human body for longer than a minute,’

‘‘වුහාන්-400 පරිසමාප්ත අවියක්. එය බලපෑම් කරන්නේ මිනිසුන්ට පමණයි. වෙනත් කිසිම ජීවියෙකුට එහි වාහකයා වන්නට බැහැ. සිෆිලිස් වගේම මෙයටත් මිනිස් සිරුරෙන් පිටත මිනිත්තුවකට වඩා වැඩි කාලයක් ජීවත් වන්නට බැහැ. ‘‘

කෙසේ නමුත් කොවිඩ්-19 සම්බන්ධයෙන් Wuhan Virology Lab හෙවත් වුහාන් වෛරස් විද්‍යාාගාරය දෙස සැක සිතින් බලන්නෝ ද වෙත්. එයට හේතුව එය, චීනය තුළ පිහිටා තිබෙන එකම එක-සිව්වැනි කාණ්ඩයේ ජෛව ආරක්ෂිත විද්‍යාගාරය ලෙස නම් කර තිබීමයි.

කූන්ට්ස්ගේ නවකතාවේදී මෙම වෛරසය කෙළින්ම පහර දෙන්නේ මිනිසාගේ මොළයේ සෛලවලට ය.

පැය 4 ක බීජෞෂණ කාලයක් එයට තිබේ. බැටරි ඇසිඩ් විසින් තුනී රෙදි කැබැල්ලක් දිය කර හරින්නාක් සේ එයට මිනිස් මොළයේ සෛල කා දමමින් දිය කර දමන්නට පුළුවන.

නමුත් අද අප දන්නා පරිදි කොවිඩ්-19 හි බීජෞෂණ කාලය දින දෙකේ සිට සති ගණනාවක් දක්වා විය හැකිය. මරණයේ සම්භාවිතාවය කූන්ට්ස් කියනවාක් මෙන් 100%ක් නොව නිල තොරතුරුවලට අනුව 2%-3% අතර වේ. තවද කොවිඩ්-19 බලපාන්නේ මිනිස් මොළයට නොව ශ්වසන පද්ධතියට ය. රෝගයේ මුල් සලකුණු ලෙස කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව යනාදිය හටගන්නේ එනිසා ය.

තවමත් ජීවතුන් අතර සිටිනා විද්‍යා ප්‍රබන්ධ නවකතාකරු ඩීන් කූන්ට්ස් මේ ගැන තවමත් කිසිවක් කියා ද නැත.

ඩීන් කූන්ට්ස්

නමුත් ඩීන් කූන්ට්ස්ගේ පාඨකයන් සහ අලුත් රසිකයන් දැනගත යුතු තවත් වැදගත්ම කාරණයක් තිබේ. එනම්, ‘දි අයිස් ඔෆ් ඩාක්නස්‘ නවකතාවේ 1981 පළමු මුද්‍රණයේ එම වෛරසය නම් කර තිබුණේ ‘වුහාන්-400‘ ලෙස නොව ‘ගෝර්කි-400‘ (‘Gorki-400’) ලෙස බව ය! කූන්ට්ස් මුලින්ම ලියා තිබෙන්නේ මෙබඳු රසායනික විද්‍යාගාර පිහිටා තිබෙන්නේ එවකට සෝවියට් රුසියාවේ ගෝර්කි නගරයේ බව ය.

අවසානයේ 1991 වසරේදී සෝවියට් සංගමය බිඳ වැටුණේය. ඩීන් කූන්ට්ස් මේ වුහාන් ජෛව අවිය නිපදවන විද්‍යාගාරය ගෝර්කි නගරයේ සිට චීනයේ වුහාන් වෙත ගෙන එන්නේ පසුකාලීන සංස්කරණවලදී ය!

කෙසේ නමුත් ඉහතින් කී පරස්පරයන් කිසිවක් ඩීන් කූන්ට්ස් ගේ රසිකයන්ට අදාළ නොවන්නට ද පුළුවන. මේ ගත වන්නේ කොරෝනා නොහොත් කොවිඩ්-19 හේතුවෙන් මුළු ලෝකයම සලිත වී ඇති මොහොතකි. මැරෙන්නට යන මිනිසා තුත්තිරි ගහේ හෝ එල්ලෙන්නට සූදානම් යැයි කතාවක් තිබේ. කොරෝනා භීතිකාවෙන් පෙළෙනවුන් ද ඩීන් කූන්ට්ස්ව අදහන්නට වුව සූදානමින් සිටින්නේ එනිසා ය. නමුත්, ‘දශකයකින් පසු චීනය විසින් නිපදවූ වඩාත්ම භයානක ජෛව ආයුධය‘ ලෙස ප්‍රබන්ධයෙහි හඳුන්වා දෙන වුහාන්-400 මේ රචකයාගේ පරිකල්පන හැකියාවේ අහම්බකාරක පරිසමාප්තිය සටහන් කරන්නේ යැයි ද, එනයින් ඔහු වීරයකෙු යැයි ද කෙනෙකුට කිව හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි