×

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇප ලබා දීම සැප්තැම්බර් 20 දක්වා දීර්ඝ කෙරේ

මෙහිදී ඉම්රාන් ඛාන්ට අධිකරණයට අපහාස කිරීම සහ නීති විරෝධී රැස්වීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, අපහාස කිරීමේ නඩුවේ චෝදනා සැප්තැම්බර් 22 විභාග කෙරෙනු ඇත.


“ත්‍රස්තවාදී” චෝදනා එල්ල වී ඇති පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්හට ඇප ලබා දීම සැප්තැම්බර් 20 දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඔහු අද දින ඉස්ලාමාබාද් අගනුවර ත්‍රස්ත විරෝධී අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එහිදී රජයේ අභිචෝදකයින් ඔවුන්ගේ තර්ක සකස් කිරීමට තවත් කල් ඉල්ලා සිටීමෙන් පසුව ඇප ලබා දීම සැප්තැම්බර් 20 දක්වා දීර්ඝ කර ඇත.


පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රධානියා ලෙස ඉම්රාන් ඛාන් සිය ප්‍රධාන සහයකයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව අදාළ නියෝග නිකුත් කළ පොලිස් නිලධාරීන්ට සහ කාන්තා විනිසුරුවරියකට එරෙහිව අගෝස්තු 20දා මහජන රැලියකදී කරන ලද වෛරී සහගත ප්‍රකාශය ඔහුට ත්‍රස්තවාදී චෝදනාවන් ගොනු වීමට හේතු විය. මෙහිදී ඉම්රාන් ඛාන්ට අධිකරණයට අපහාස කිරීම සහ නීති විරෝධී රැස්වීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, අපහාස කිරීමේ නඩුවේ චෝදනා සැප්තැම්බර් 22 විභාග කෙරෙනු ඇත.

ඛාන්ගේ රජය අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයක් සම්මත වීම හේතුවෙන් ඉවත් කරන ලද අතර එතැන් සිට, ඔහු නැවත මැතිවරණයක් ඉල්ලා රට පුරා මහජන රැස්වීම් පවත්වමින් සිටියි. මෙහිදී විදේශ බලපෑම මත සිදු වූ කුමන්ත්‍රණයක් හේතුවෙන් සිය දේශපාලන බලය අහිමිව ගිය බව දිගින් දිගටම චෝදනා කරමින් සිටියි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : ඉම්රාන් ඛාන් නැවත කරළියට ගෙන එමින් ත්‍රස්ත විරෝධී චෝදනා ගොනු කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි