ලෝකයේ යුද්ධයන්ට මැදී වී දිනෙන් දින පරිහානියට පත්වෙමින් සිටින රටවල්වල ඇස් වසා අවි ආයුධ නිපදවන්නන් සිය මඩිස්සල තර කර ගනිමින් සිටී. ස්ටොක්හෝම් හි ජාත්‍යන්තර සාමය පිළිබඳ සමීක්ෂණ ආයතනයයෙහි ප්‍රධාන පර්යේෂක පීටර් වෙස්මන් පවසන පරිදි ලෝකයේ වාර්ෂික ආයුධ වෙළඳාමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 100කි .
වත්මන් රාජ්‍යයන් බෙහෝමයක් සිය විදේශ ප්‍රතිපත්තින්හි කොදු නාරටිය ලෙස මෙන්ම ආර්ථික උපක්‍රමයක් ලෙසද හමුදා බලය තර කර ගනිමින් සිටී. ඒ අනුව ප්‍රබල අවි ජාත්‍යන්තරව හුවමාරුවීම මේ වන විට වැඩි වෙමින් පවතී.
ලොව අති භයානකම සහ විශාලතම මනුෂ්‍ය සංහාරය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවසන යේමන් යුද්ධය සහ සිරියානු යුද්ධය අද වන විට ලෝකයේ ප්‍රබල ආයුධ නිපදවන්නන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට පත්වී ඇත.
Andrew Feinstein විසින් රචිත ග්‍රන්ථයක් අනුව නිර්මාණය කරන ලද The Shadow World චිත්‍රපටය මඟින් ඉතිහාසය තුළ සිදු වූ විශාලතම සහ දූෂිතම ජාත්‍යන්තරව සිදු වූ ආයුධ ගනුදෙනු කිහිපයක් පිළිබඳව විස්තර කරනු ලබයි. එමඟින් පෙන්වා දෙන පරිදි අද වන විට ඇමරිකා එක්සත් ජනපදය , එක්සත් රාජධාරනිය , රැසියාව සහ චීනය ජාත්‍යන්තර අවි ගනුදෙනුවේ ප්‍රබල නිෂ්පාදකයන් සහ බෙදාහරින්නන් වේ නවතම සමීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ 2008- 2012 අතර ලෝකය තුළ ගනුදෙනු වූ අවි ආයුධ ප්‍රමාණයට වඩා 2017 වසර වන විට 10%කින් වැඩි වී ඇති බවයි.
ස්ටෝක්හෝම් ජාත්‍යන්තර සාමය පිළිබඳ පර්යේෂණ ආයතනයට එනම් Sipriට අනුව ලොව අවි ආයුධ අපනයනයේ ප්‍රමුඛතමයා ලෙස වැජඹෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අනුව ගෝලීය වශයෙන් සිදුවන අවි ආයුධ වෙළඳාමේ සියයට 34%ක් සඳහා දායක වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එය මීට වසර 5කට පෙර පැවතුණේ 39%ක් ලෙසිනි. 1990 වසරේ සිට ඇමරිකාව අවි ජාත්‍යන්තර අවි ගනුදෙනුවල ප්‍රමුඛයා වෙයි.
පර්යේෂක පීටර් වෙස්මන්ට අනුව ඇමරිකා එක්සත් ජනපදය සතු ආයුධ විවිධ මට්ටම් වලින් , විවිධ රටවල් මවිසින් මිලදී ගනු ලබයි. එමෙන්ම රටවල් රාශියක් මේ වන විටත් විශාල වශයෙන් මිලදී ගැනීම් කටයුතු සිදු කිරීමට සූදානම් වී සිටී.
ජාත්‍යන්තර අවි ආයුධ ගනු දෙනුවේ දෙවැනියා වන්නේ රුසියාවයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට වඩා සියයට 58%කින් ඉහළ මට්ටමක සිය සිය වෙළඳාම් කටයුතු සිදු කරනු ලබයි. එමෙන්ම 2013 -17 වසර තුළ 2008-2012 කාලයට සාපේක්ෂව ඇමරිකානු ආයුධ වෙළඳාම සියයට 25කින් ඉහළ ගොස් ඇති අතර එම කාල පරාසය තුළම රුසියානු ආයුධ වෙළඳාම ඉහළ ගොස් ඇත්තේ 7.1%කිනි.
ඇමරිකානු ආයුධ වෙළදාමේ ප්‍රධාන ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ මැදපෙරදිග රාජ්‍යයන්ය. ඒ අතරිනුත් ඉහළින්ම සිටින්නේ සවුදි අරාබිය වේ. ඒ 2013-2017 අතර කාලය තුළ ඇමරිකාව විසින් අපනයනය කරනු ලබන සමස්ත ආයුධ ප්‍රමාණයෙන් හරි අඩක් මිලදී ගනිමිනි.
මෙසේ මැදපෙරදිග රාජ්‍යයන් විසින් වැඩි ආයුධ ප්‍රමාණයක ගනු දෙනුකරුවා වීමට හේතුව වී ඇත්තේ වසර 10ක් තිස්සේ දිවෙන යේමන් යුද්ධයයි. 2015 වසරේ යේමන් යුද්ධය ආරම්භ වීමත් සමග සවුදි අරාබියද ඇතුළු තවත් අරාබි රජ්‍යයන් 8ක් විසින් යේමන් ජනපති අබුදරාබු මන්සූර් හාදිට සහය වෙමින් යුද්ධය සඳහා වන ආයුධ ලබා දීමට කටයුතු කර ඇත.
එමෙන්ම ඉරාන යුද්ධයේ අනෙක් පාර්ශවය වන හුතී ගරිල්ලන් සඳහා සහය ලැබෙන්නේ ඉරාන පාර්ශවය මඟිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය නොවැම්බරයේ හෙළිකළ තොරතුරු අනුව යේමන් යුද්ධය විසින් සිවිල් වැසියන් 5295 දෙනකු ඝාතනය කර ඇති අතර 8873 දෙනෙකු තුවල ලබා ඇත. එසේ වුවද සත්‍ය වාර්තා ඊට වඩා ඉහළ සංඛ්‍යාවක් වනු ඇති බව බීබීසී වෙබ් අඩවිය සඳහන් කරයි.
යේමන් යුද්ධය නැමති කර්කෂ ගැටුම විසින් බටහිර රටවල් විසින් සිදු කර ආයුධ වෙළදාම තුළ දැඩි මැදිහත්වීමක් සිදු කරනු ලැබ ඇත. සවුදි අරාබිය සහ සවුදි මිත්‍ර පාක්ෂික රටවල් විසින් ඉතාමත් දියුණූ ආයුධ භාවිතා කරමින් සිටී.
වෙස්මන්ගේ වාර්තාවට අනුව සවුදි අරාබියට පසු ආයුධ මිලදී ගන්නා ප්‍රධානතම මැද පෙරදිග රාජ්‍යයන් වන්නේ ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයි. කෙසේ වෙතත් මේ සියල්ලන් අවසානයේ මේ වන විට ආයුධ භාවිතා කරන්නේ යේමන් යුද්ධය තුළය.
එමෙන්ම ඇතිව තිබෙන තත්ත්වයන් සමග රාජ්‍යයන් කිහිපයක් විසින් ම මැදපෙරදිග රාජ්‍යයන් වෙත ආයුධ වෙළඳාම් කිරීම නවතා දමා ඇත. නෙදර්ලන්තය, ජර්මනිය, නොර්වේ සහ ස්වීඩනය ඒ අතරින් රටවල් කිහිපයකි.
චීනය ගෝලීය ආර්ථිකයේ ඉහළට නඟිමින් සිටින අතරේ ආරක්ෂණ වියදම් සඳහා දරනු ලබන වියදම් මඟින් සිය ආර්ථික දියුණුවේ ප්‍රමාණය විදහා පාමින් සිටී. එමෙන්ම ජාත්‍යන්තර අවි ආයුධ සැපයුම් කරුවෙකු ලෙස ඉහළට ගමන් කරමින් සිටී.
මේ වන විට චීනය ලෝකයේ ආයුධ අලෙවි කරන්නන් අතර සිටින්නේ පස්වන ස්ථානයේය. ඒ ඇමරිකාව, රුසියාව, ප්‍රංශය සහ ජර්මනියට පසුව සහ එක්සත් රාජධානියට වඩා ඉදිරියෙනි.
20018-2017 සහ 2013 -2017 කාල පරාසයන් වලදී චීනයේ ආයුධ වෙළඳාම සියයට 38%කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම ලෝකයේ ආරක්ෂාව සඳහා වැඩිම වියදමක් දරන ඇමරිකාවට පමණක් චීනය දෙවැනි වෙයි. 2017 වසරේදී චීනය ඩොලර් බිලියන 150 සිට ඩොලර් බිලියන 602 දක්වා වියදමක් සිය ආරක්ෂක වියදම ලෙස වෙන් කර ඇත.
එමෙන්ම චීනය මේ වන විට අධි තාක්ෂණක ආයුධ නිෂ්පාදනය වෙනුවෙන් කටයුතු කරමින් සිටී.
2000 වසරේ සිට චීනය විසින් ජපානයට වඩා වැඩි ප්‍රමාණයක් යුධ නැවු ගොඩනගා ඇති අතර ඉන්දියාව සහ දකුණු කොරියාවද මේ වන විට නාවික ශක්තිය තර කර ගනිමින් සිටී.
චීනය මේ වන විට රටවල් 48කට ආයුධ වෙඏඳාම සිදු කරන අතර පාකිස්ථානය චීන ආයුධවල ප්‍රධානතම ගැනුම්කරු වන්නේය. ඒ අනුව චීනය රුසියාව සතු ආයුධ වෙළද පළ ආක්‍රමණ කරමින් සිටී.
ලොකයේ ආයුධ වෙළඳාම ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්වන ප්‍රධානතම කලාපය වන්නේ අප්‍රිකාවයි. මේ වන විට අප්‍රිකාව තුළ ආයුධ වෙළදාම සියයට 22කින් ඉහළ ගොස් ඇත. අප්‍රිකාව තුළ සිදුවන ගැටුම් සහ ප්‍රධාන වශයෙන් දකුණු සුඩාන අර්බුධය මෙයට ප්‍රධානතම හේතුව බවට පත්වී ඇත.
ලෝකයේ ආයුධ වෙළඳාම සම්බන්ධව ආයුධ වෙළඳ ගිවිසුම ATT 2014 වසරේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡාවට ගැණුන අතර ජාත්‍යන්තර සහසම්මුතිගත ආයුධ වෙළඳාම පාලනය කිරීම සඳහා පියවර ගැනිණ. එමගින් රටවල් සිය ආයුධ අපනයනය සම්බන්ධව නීරීක්ෂණය කළ යුතු අතර එමගින් මානව හිමිකම් උල්ලංඝනය නොවන බවට වග බලා ගත යුතු වේ. නමුත් කෙතෙක් දුරට එම අරමුණු ඉටුවන්නේදැයි යන්න සැක සහිතය.