×

භාර්යාවන් 38 යි, දරුවන් 89 යි – ලෝකයේ ලොකුම පවුලේ පියා දෙනෙත් පියා නිදා ගනියි !

'ලෝකයේ ලොකුම පවුල' ලෙස සැලකුණු ඉන්දියාවේ සියෝනා පවුලේ ගෘහ මූලිකයා, එසේත් නැතිනම් පියා වයස අවුරුදු 76 දී දෙනෙත් පියා ගත්තේය.


සියෝනා පවුල ජීවත් වන්නේ උතුරු ඉන්දියාවේ මිසොරාම් හි ය. එහි මහ ඇමති සොරම්තන්ගා මේ සම්බන්ධයෙන් ට්විටර් ශෝක පණිවුඩයක් ද නිකුත් කර තිබිණි.

බහුභාර්යා සේවනය ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මුස්ලිම් නොවන අයට වරදක් වන නමුත්, ක්‍රිස්තියානි ආගම අදහන ගෝත්‍රයකට අයත් වූ සියෝනා, බිරින්දෑවරුන් රැසක් සහ දරුවන් රැසක් ලබා ‘විශාල’ පවුලක් දැරීම ‘දේව කැමැත්ත’ ලෙස දුටුවේය. මෙම ක්‍රිස්තියානි ගෝත්‍රය, බහුභාර්යා සේවනය දෙවියන්ගේ කැමැත්ත ලෙස සලකයි. ‘මිසොරාම් හි බක්ට්වැන්ග් ගම්මානය ආශ්‍රිතව ජීවත් වන මෙම ආගමික කණ්ඩායමේ නිර්මාතෘවරයා ද සියෝනාගේ පියා වීම විශේෂත්වයකි.

සියෝනා, සිය දැවැන්ත පවුල සමග ජීවත් වූයේ තමන්ගේ තනි ඉඩමක ය. තට්ටු 4 ක බිල්ඩිමක් ඔහුගේ නිවස බවට පත් වී තිබිණි. දීප්තිමත් දම්පාට නිවසක් වන එහි, නිදන කාමර 22 ක් තිබේ. එක් නිදන කාමරයක අඩියෙන් අඩියක පරතරයක් ඇතිව දෙදෙනෙකුට නිදාගත හැකි ඇඳන් 20 ක් පමණ තිබෙන්නේ දරු කැළත ද ඔවුන්ගේ අම්මලා සමග එම කාමරවලම ජීවත් වන නිසා ය.ඇඳන් ගණන අඩු වැඩි වන අතර, එය රඳා පවතින්නේ එම මවට ඉපදී සිටින දරුවන් ගණන අනුව ය.

නිවසේ දැවැන්ත ශාලාවක් ද තිබෙන අතර, ආහාර පිළියෙළ කිරීම සහ යාඥා කිරීම සිදු කෙරුණේ එහි ය. දිනකට හාල් කිලෝ 25 ක්, අර්තාපල් කිලෝ 40 ක් සහ හතු කිලෝ 5 ක් බැගින් නොවැරදීම මේ නිවසේ පිළියෙළ වේ. සතියකට තුන් වරක්, කුකුළන් 30 දෙනෙකු සහ යෝධ ඌරෙකු රස මසවුළු සේ මුළුතැන්ගෙයි ඉදේ. කෑම පිසීමට දිනපතාම නියමිත වේලාවක් ඇති අතර, පැයක් ඇතුළත 160 දෙනා වෙනවෙන් කෑම පිළියෙළ වේ. කෑමෙන් පසුව පිඟන් සහ ඉඳුල් භාජන සේදීම විනාඩි ගණනකින් අවසන් වේ.

”කවදාවත් කිසිම රණ්ඩුවක් නෑ. අපි හැමෝම එක පවුලක්.” යැයි ද ඉංග්‍රීසි කතා කිරීමට දත් පවුලේ හයවැනි මුණුපුරා කියා තිබේ.

”අපි කාටවත් කිසිම වෙනස්කමක් එයා කරන්නෙ නෑ. හැමෝටම එක වගේ සලකනවා” යැයි සියෝනාගේ පස්වැනි බිරිඳ වරක් සීඑන්එන් පුවත් සේවය සමග කියා තිබිණි. සියෝනාගේ ළාබාලම බිරිඳගේ වයස අවුරුදු 37 කි.

වයස අවුරුදු 17 දී පළමු බිරිඳ සමග විවාපත් වූ සියෝනා, ඉතිරි 37 දෙනා සමග ද නීතියෙන් විවාහ වී තිබේ. කෙසේ නමුත් වරක් සියෝනා මෙසේ කියා තිබේ.

”මට නම් කසාද බඳින්න උවමනා වුණේ නෑ. ඒත් දෙවියන් වහන්සේ මාව තෝරගත්තා. ඒනිසා මම දිගටම කසාද බැඳගෙන බැඳගෙන ගියා..”

බීබීසී පුවත් සේවය පවසන්නේ බහුභාර්යා සේවනය අපරාධ වරදක් යන යන්න ඉන්දියාවේ එතරම් දැඩි ලෙස පැතිරී ඇති මතයක් නොවන බවයි. ඉන්දියානු බලධාරීන් ද බහුභාර්යා සේවනයේ යෙදෙන ගෝත්‍රයන් ‌හෝ ජන කණ්ඩායම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යුහුසුළු වන්නේ නැත.

160 ක් වැඩි නැද්ද?

සියෝනාගේ මුළු පවුලේ සාමාජිකයන් ගණන 160 ක් බවට පත්වන්නේ ඔහුගේ මුණුපුරු මිණිපිරියන් 35 ක් ද සමග ය. 2011 වසරේදී CNN පුවත් සේවය ”160 ක් ඇතිද?” යනුවෙන් සියෝනා ගැන ලිපියක් පළ කළේය. එහිදී ඔහු කියන්නේ ”ඉන්දියාවෙ ජනගහනය වැඩි වෙන එක මම ගණන් ගන්නෙ නෑ. දෙවියන් වහන්සේ මාව තෝරගත්තෙ ලොකු පවුලක් හදන්න” යනුවෙනි.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.2 කි. සියෝනා පවුල ජීවත් වන මිසොරාම් ප්‍රාන්තය මියැන්මාරයටත් බංග්ලාදේශයටත් මායිම් වී තිබේ. මිසොරාම් ප්‍රාන්තයේ තවත් විශේෂම ලක්ෂණයක් වන්නේ, මුළු ඉන්දියාවම සලකන විට එය අඩුම උපත් අනුපාතිකයක් වාර්තා කරන පෙදෙසක් වීමයි.

මිසොරාම් ගම, ඉතා ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත්වීමට ද සියෝනාගේ එකසිය හැට දෙනාගේ පවුල විශාල වශයෙන් දායක වී තිබිණි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන මිසොරාම් වෙත විශේෂ බලපත්‍රයක් ලබා සංචාරකයන්ට පැමිණිය හැකි අතර, බොහෝ දෙනා කියන්නේ සියෝනා පවුල නොවන්නට සංචාරකයන් මිසොරාම් කියා ප්‍රාන්තයක් ගැන දැන සිටියේ ද නැති බවයි.

මිසෝරාම් හි අද වන විට පවුල් 400 ක් පමණ බහුභාර්යා සේවනය සංස්කෘතිකාංගයක් බවට පත් කරගෙන සිටිති. සියෝනා පවුල තමන්ට අවශ්‍ය ආහාර බෝග සහ ගොවිපොළ සතුන් තමන්ව ඇති දැඩි කර ගනිති. වවා ගනිති. සියෝනා දෑස් පියා ගත්තත්, ඔවුන්ට පැවැත්ම ප්‍රශ්නයක් නොවේ. සියෝනාගේ වැඩිමල් පුතා වන නන්පාලියානාට බිරින්දෑවරුන් 2 දෙනෙකු සිටින අතර දරුවන් 14 දෙනෙකු සිටියි.

නමුත් පෙර කී ඉංග්‍රීසියෙන් කතා කරන මුණුපුරා නම් කිසි විටෙකත් මෙතරම් විශාල පවුලක් හෝ මෙතරම් විශාල භාර්යාවන් පිරිසක් හිමි කර ගැනීමට සිහින මවන්නේ නැත.

”මට නම් එක බිරිඳකුයි පුතෙකුයි හොඳටම ඇති. අපේ සීයව දෙවියො තමයි ලොකු පවුලක් හදන්න පත් කළේ. ඒත් අපිත් ඒකම කරන්න ඕනෙ කියල එකක් නෑ.!”

ලෝකයේ ලොකුම පවුල වශයෙන් සියෝනාලා ගිනස් පොතට නොගියේ සියෝනා වැඩි ප්‍රසිද්ධියට කැමති නැති කෙනෙක් නිසා ය. නමුත් දේශීය සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් ඔවුන් ලෝකයේ ලොකුම පවුල බවට පත් කර බොහෝ කලකි. සියෝනාගේ මරණයත් සමග එකසිය හැට දෙනාගේ පවුලේ කතාව නැවතත් කරළියට එමින් තිබේ.

ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට වන චීනය, වසර 2030 වන විට ඉන්දියාව විසින් පැරදවීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි