BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

සමලිංගික අයිතීන් ගැන පළමු වෙඩිමුරය 95 දී – විසිපස් වසරක අතීතයට දිව යන ශ්‍රී ලංකාවේ LGBT+ ප්‍රජා අරගලය (3 කොටස)

සමලිංගිකත්වය සංස්කෘතියට පටහැනි ද?

සමලිංගිකත්වය සංස්කෘතියට පටහැනි ද? යන මැයෙන් මීට ඉහත ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයකු හා මානව හිමිකම් ආරක්ෂකයකු වන දමිත් චන්දිමාල් මහතා සමඟ පැවති සාකච්ඡාවේ පළමු හා දෙවන කොටස අප ඔබට ගෙන එනු ලැබුවා.

එම සාකච්ඡාවේ පළමු හා දෙවන කොටස් සම්බන්ධයෙන් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අප වෙත ලැබුණු අතර, ඒ අතර ප්‍රශංසනීය මෙන්ම විවේචනාත්මක අදහස් ද පැවතියා. එම අදහස් එක හා සමානව භාර ගන්නා අතරම, අද දිනයේ ශ්‍රී ලංකාවේ ලිංගික සුළුතර ප්‍රජා ඉතිහාසයෙන් මඳක් බැහැරව මානව හිමිකම් ව්‍යාපාරය දෙස හැරීමට අප සිතුවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ LGBT+ මානව හිමිකම් ව්‍යාපාරයේ ඇරඹුම හා එහි වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් ද සමඟ දමිත් චන්දිමාල් මහතා සමඟ පැවති සාකච්ඡාවේ තුන්වන කොටස දිග හැරීමට අප බලාපොරොත්තු වනවා. මෙම ලිපිය පුරාවට ද ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාකාරීන් මඬුල්ලක් විසින් කතෘ මණ්ඩලය හොබවනු ලබන LGBT+ ප්‍රජා තතු පිළිබඳ දැනුම් කේන්ද්‍රයක් වන දේදුනු සංවාද නම් පිටුවේ අධ්‍යයන කරුණු උපුටා දැක්වීමක් සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා. දේදුනු සංවාද පිටුව ප්‍රජා අධිවාචනයට ලබා දෙන දායකත්වය පිළිබඳව ඩෙන්වර් පීටර්සන් මහතා ප්‍රමුඛ එහි කතෘ මණ්ඩලයට ද අප ස්තූතිවන්ත වනවා.

ශ්‍රී ලංකාවේ LGBT+ මානව හිමිකම් ව්‍යාපාරය ආරම්භ වන්නේ කුමන කාලවකවානුවක ද? එහි වත්මන් තත්ත්වය පිළිබඳ ඔබ දරන අදහස කුමක් ද?

LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය, LGBTIQ මිනිසුන් බිහිවූ දින සිටම තිබුනු දෙයක් විය යුතුයි.  LGBTIQ මිනිසුන් ඉතිහාසය පුරාම විවිධ කාරණා මත, විවිධ සංස්කෘතීන්වල විවිධ හිරිහැරවලට භාජනය වී ඇති. ඉතින් එහෙම වුනාම ඒකට විරෝධය පාන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න LGBTIQ මිනිස්සු ඉදිරිපත් වෙන්න ඇති. නමුත් වඩාත් සංවිධානාත්මක LGBTIQ  මානව අයිතිවාසිකම් ව්‍යාපාරයක් කියන දේ ගැන බලන කොට මං හිතන්නෙ දකුණු ආසියාවේම LGBTIQ මානව හිමිකම් ගැන වැඩ කරන ආයතන බිහි වන්නේ 90 දශකයේ දීයි.


ෂර්මන් ද රෝස් මහතා | ඡායාරූපය: දේදුනු සංවාද

ලංකාවෙ ඉතිහාසය ගත්තම 1994 දී ලංකාවේ පළමු සමකාමී අයිතිවාසිකම් ආයතනය වන ගමන්මගේ සහකරුවෝ ආයතනය ෂර්මන් ද රෝස් මහතාගේ මූලිකත්වයෙන් බිහි වුනා. 1994 දෙසැම්බර් අග ඉන්දියාවේ බොම්බායේ දී “දකුණු ආසියාවේ මතුවෙන සමකාමී අනන්‍යතා: එච්අයිවී/ඒඩ්ස් සහ ලිංගික සෞඛ්‍යය සඳහා බලපෑම්” යන මැයෙන් සමකාමී සහ පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් (MSM) සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා. මේ සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ෂර්මන් ද රෝස් මහතාත් සහභාගි වුනු අතර දකුණු ආසියාවේ සහ ලෝකයේ විවිධ රටවලින් එයට LGBTIQ අයිතිවාසිකම් ක්‍රියාධරයන් 60ක් පමණ සහභාගි වුනා. ඉන් මාස ගණනකට පසු 1995 දී කොල්ලුපිටියේ සීවීව් හෝටලයේදී ෂර්මන් පළමුවරට මාධ්‍ය සාකච්ඡාවක් තබමින් සමලිංගික අයිතීන් දිනා ගැනීමේ අරගලය ප්‍රසිද්ධියේ ආරම්භ කළා.

ඒත් ඇරඹුමම පහසු දෙයක් වුනේ නෑ.ඒ සම්මන්ත්‍රණයට අනික් ක්‍රියාකාරීන් එකතු වීමට කලින් සැලසුම් කර තිබුනත්, බය නිසා බොහෝ අය මඟ ඇර සිටිය දී ෂර්මන් විතරක් තනිව මාධ්‍ය සාකච්ඡාවට වාඩි වුනා. මාධ්‍ය සාකච්ඡාව හොඳින් අවසන් වුනත් එය මාධ්‍යවල වාර්තා වුනේ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන මහා නරක දෙයක් හැටියටයි. ෂර්මන්ට සහ අනෙක් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට මේ නිසා ගෙවල්වලින් පවා දොට්ට බහින්න සිදු වුනා. ඒත් එහෙම වුනා කියා ඔවුන් සටන අත හැරියේ නැහැ. මුල් කාලයේ කලුබෝවිල ප්‍රදේශයේ ගමන්මගේ සහකරුවන් ආයතනය පවත්වා ගෙන යද්දී මිනිස්සු එයට ගල් ගසා තිබෙනවා.  ඒ තර්ජන මැද වුවත්, 1996 මැයි මස 25 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ලංකාවේ පළමු සමලිංගික පුද්ගලයන්ගේ සම්මන්ත්‍රණය පවත්වනු ලැබුවා. මේ කාලය දෙස බලන විට වඩා පැහැදිලිව පෙනෙන්නේ සමලිංගික පිරිමින් ගැන වැඩි අවධානයක් යොමු වී තිබුනු බවයි. හරස්විලාසිතා කරන නච්චි කාන්තාවන් සහ ලිංගික ශ්‍රමිකයන්මේ ජාලයේ සාමාජිකයන් වුනත්, සංක්‍රාන්ති කියා අනන්‍යතාවයක් පිළිගැනුනු බවක් පෙනෙන්නට නැහැ. ඒ වගේම ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන් ගමන් මගේ සහකරුවෝ ආයතනය සමග සම්බන්ධ වන්නේ ක්‍රමිකවයි.


මූලාශ්‍රය: බීබීසී

දකුණු ආසියාවේ අනෙක් රටවල්වල වගේම ලංකාවේත් LGBTIQ ප්‍රජාවට සංවිධානය වීමට අවශ්‍ය සම්පත් ලැබුනේ එච්අයිවී/ඒඩ්ස් වසංගතය ලොව පුරා පැතිර යාමෙන් පසුව, වැඩි අවදානම් කණ්ඩායමක් වන සමලිංගික පුද්ගලයන් අතර එච්අයිවී/ඒඩ්ස් ගැන දැනුවත්භාවය ඇති කිරීමට, ඔවුන් බලගැන්වීමට අවශ්‍ය වූ නිසයි. ගමන් මගේ සහකරුවෝ සංවිධානය ගත්තත් බොහෝ විට ඔවුන්ගේ වැඩවලින් ඉලක්ක කළේ එච්අයිවී/ඒ්ඩ්ස් ගැන සෞඛ්‍ය දැනුම වැඩි කිරීම, ආරක්ෂිත ලිංගික ඇසුර ප්‍රවර්ධනය කිරීමයි. මෙහිදී LGBTIQ අයිතිවාසිකම් ගැන කතා කිරීම ගැන වැදගත් වෙන්නේ කොන් කිරීම/ වෙනස් කොට සැලකීම නිසා සැඟවී සිටින අයට එච්අයිවී ඇතුළු ලිංගාශ්‍රිත සෞඛ්‍ය සේවාවලට ප්‍රවේශ විය නොහැකි වීම නිසා එච්අයිවී ව්‍යාප්ත වීමේ අවදානම වැඩි වෙන නිසයි.  ඉතින් මුල් යුගයේ මෙන්ම අද පවා එච්අයිවී සම්බන්ධ සෞඛ්‍ය සේවා ලබා දීමේ ආකෘතියකින් කටයුතු කරන LGBTIQ අයිතිවාසිකම් ගැන වැඩ කරන ආයතන දක්නට ලැබෙනවා.


ඡායාරූපය: දේදුනු සංවාද

90 දශකයේ අග භාගයට යන විට අපිට දැකිය හැකි සැලකිය හැකි වෙනසක් වෙන්නේ ලෙස්බියන් කාන්තාවන් ගමන්මගේ සහකරුවෝ ආයතනය හා LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය හා සම්බන්ධ වීමයි. 1999 අගෝස්තු මාසයේ දී ලෙස්බියන් කාන්තාවෝ පිරිසක් පළමුවරට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා, එන දෙසැම්බර් මාසයේ දී ලෙස්බියන් කාන්තාවන්ගේ සම්මන්ත්‍රණයක් පවත්වන බව ප්‍රකාශ කළා. මෙය ප්‍රකාශ කිරීමට පසුව පී. අලස් නමින් ද අයිලන්ඩ් පුවත්පතට ලියූ පාඨකයෙක් ලියා තිබුනේ මෙම ලෙස්බියන් කාන්තාවන් කාමරයකට දමා අගුළු දමා පිරිමින් ලවා දූෂණය කළ යුතු බවයි (P. Alles, “Lesbian Conference in Colombo?”, The Island, August 20, 1999). මෙම ලිපිය පල කිරීමට විරුද්ධව ෂර්මන් ද රෝස් එවකට තිබූ පුවත්පත් කවුන්සිලයට පැමිණිලි කළත් එයින් සාධාරණයක් ඉටු වුනේ නැහැ. වත්මන් රජයේ පා.ම. විජේදාස රාජපක්ෂ එකල පුවත්පත් කවුන්සිලයේ සභාපති ධූරය දැරුවා. ඔවුන් තර්ක කළේ සමලිංගිකත්වය ලංකාවේ නීතියෙන් අපරාධයක් වෙන සන්දර්භයක, පාඨකයෙක්ගෙන් ලැබුනු ලිපියක් මහජන අවධානය සඳහා පළ කිරීම වරදක් නොවන බවයි (Sri Lanka Press Council, Judgement to Complaint no S2/99/2096, 2000).  එයින් පසුව කාන්තා සහයෝගිතා කණ්ඩායම (Women Support Group), ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground) ආයතනය, සකි ආයතනය, 2011ට පෙර කාලයේ දී බිහිවුනා.

1999 දී ද අයිලන්ඩ් පුවත්පතේ පළවූ ලිපිය කියවන්න

1999 දී ද අයිලන්ඩ් පුවත්පතේ පළවූ ලිපිය සම්බන්ධව බීබීසී පුවත් සේවයේ වාර්තාව කියවන්න

1999 සිදුවීම පිළිබඳ සඳහන් 2008 විශ්වීය ආවර්තිත සමාලෝචන වාර්තාව කියවන්න

මෙයින් කාන්තා සහයෝගිතා කණ්ඩායම ඉතා වැදගත් එකක් වන්නේ එය ලංකාවේ ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන්ට සහාය ලබා දීමට බිහිවූ එකම සංවිධානය වන නිසයි. 2014න් පසුව එම ආයතනය වැසී ගියා. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය දැනට පවතින පැරණිම LGBTIQ අයිතිවාසිකම් ගැන කටයුතු කරන ආයතනයයි.  කලාව, සංස්කෘතිය ගැන සංවාද කිරීමත්, ආයතනමය ව්‍යුහයන්ගෙන් වෙන්වූ නිදහස් අවකාශයක් ලෙසත්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ LGBTIQ ක්‍රියාකාරීත්වය ගැන කටයුතු කළ ස්වේච්ඡා සංවිධානයක් වශයෙන් සකි ආයතනය විශේෂයි. එයත් දැනට පවතින්නේ නැහැ. දශක එකහමාරක් පමණ පැවැති  ලංකාවේ පැරණිම LGBTIQ ආයතනය වන ගමන්මගේ සහකරුවෝ ආයතනය 2011 සැප්තැම්බර් මාසයේ දී සම්පූර්ණයෙන්ම වැසී යාමට ප්‍රධාන හේතුව වන්නේ, රිවිර පුවත්පතෙන් පළකළ සමලිංගිකභීතිකාවෙන් යුතු ලිපි පෙළක් නිසායි.


සමරිසි මානව හිමිකම් ව්‍යාපාරයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය 2011 රිවිර පුවත්පතේ පළවූ ලිපිය

එම ආයතනය සමලිංගික මධ්‍යස්ථාන විසි ගණනක් ලංකාව පුරා ආරම්භ කරන්නට යන බවත්, පාසැල් ළමුන් සමලිංගිකත්වයට පොළඹවා ගන්නට කුමන්ත්‍රණයක් කරන බවත්, ආදී විවිධ සාවද්‍ය ප්‍රවෘත්ති පළ කර තිබුනා. එයින් පසු එම ක්‍රියාකාරීන් රහස් පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කළා. එම ආයතනය ඒ වන විටත් වැඩ කරමින් සිටියේ ගෝලීය අරමුදලෙන් අරමුදල් ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සර්වෝදය ආයතනය හරහා ක්‍රියාත්මක කළ වැඩසටහනක වීම ලොකුම විහිළුවයි. මෙය LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරයකට සිදු වූ ලොකුම ප්‍රහාරයයි. මින්පසුව බොහෝ එල්ජීබීටී අයිතිවාසිකම් සංවිධාන විවිධ මට්ටමින් අභියෝගයට ලක් වුනා. නමුත්  2014-2020 අතර කාලයේ ලංකාවේ LGBTIQ සංවිධාන ගණනාවක් බිහිවුනා. මේ අතර සංක්‍රාන්ති සමාජභාවී අයගේ අයිතිවාසිකම් ඉලක්ක කර ගත් සංවිධාන විශේෂයි.  එසේම තවත් සංවිධාන කිහිපයක් කොළඹින් පිට බිහිවුනා. තවත් සංවිධාන වඩාත් අන්තර්ජාල අවකාශයන් ඉලක්ක කරමින් බිහි වුනා. විවිධ අවශ්‍යතාවයන් සහ වුවමනාවන් වෙනුවෙන් බිහි වූ ලොකු සහ කුඩා ආයතන වගේම, LGBTIQ අයිතිවාසිකම් ගැන වැඩකරන ආයතනවලටම සම්බන්ධ නැති ක්‍රියාධරයන් ගණනාවක් අද අප අතරෙ ඉන්නවා.

අපි අනූගණන්වලට යන කොට අපිට තිබුනේ එක සංවිධානයක් විතරයි. දැන් අපිට ගොඩක් සංවිධාන තිබෙනවා. මෙය ප්‍රජාවේ බෙදීමක් ලෙස කෙනෙකුට හඳුන්වන්න පුළුවන්. නමුත් මා දකින්නේ මේ බෙදීම ඉතා වැදගත් බවයි. තනි මතයක් ප්‍රකාශ කරන ලොකු සංවිධානයක් වෙනවාට වඩා, වෙනස් මත ගොඩක් විවිධ තැන්වලින් කියන ප්‍රජාවක් වෙන එකේ වටිනාකමක් තියෙනවා. දශකයක් යනතුරු අපිට මාධ්‍ය සාකච්ඡාවල කතා කරන්න හිටියේ ෂර්මන් විතරයි. අද වනවිට මාධ්‍යවලට කතා කරන්න ඕනෙ තරම් LGBTIQ අයිතිවාසිකම් ක්‍රියාධරයන් ඉන්නවා. කතාකරන්න විතරක් නෙමෙයි ලියන්න, පර්යේෂණ කරන්න, වැඩසටහන් මෙහෙයවන්න, තමන්ගේ ලිංගිකත්වය ගැන විවෘත වෙනත් ක්ෂේත්‍රවල සිටින LGBTIQ පුද්ගලයන් රැසක් දැන් අපිට ඉන්නවා.


ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ව්‍යාපාරය; ඊක්වල් ග්‍රව්න්ඩ් – 2017

අපේ ඉල්ලීම් ප්‍රමාණය එදාට වඩා ගොඩක් වැඩි වී තිබෙනවා. උදාහරණයක් විදියට 1996 දී ගමන්මගේ සහකරුවෝ පළකළ ජාතික සම්මන්ත්‍රණ වාර්තාව මූලික වශයෙන් කතා කරන්නේ සමලිංගික සහ ද්විලිංගික පිරිමින්ගේ අයිතිවාසිකම් ගැනයි. ඒ අයිතිවාසිකම් අද විවරණය කරලා බැලුවම පේන්නේ තවමත් ඉන් සෑහෙන ප්‍රමාණයක් ඉෂ්ට වී නැති බවයි. ඒත් ඒ අතරම අලුත් අයිතිවාසිකම් සම්බන්ධ ඉල්ලීම් ගොඩක් අපිට තියෙනවා. දැන් අපි ලෙස්බියන් කාන්තාවන්, ද්විලිංගික කාන්තාවන් සහ පිරිමින්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්, අන්තර්ලිංගික පුද්ගලයන්, සහ කුයර් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. ඉතින් එන්න එන්න ඉෂ්ට නොවූ ඉල්ලීම් ගොඩක් පොදි ගැසීම හොඳ දෙයක් නොවෙයි කියා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නමුත් මා දකින්නේ එය වඩාත් සුබවාදී දෙයක් ලෙසයි.


සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය වෙනස්කර ගැනීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය (Circular No. 06/2016)

නීති සහ රාජ්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන සිදුවී ඇත්තේ වෙනස්කම් කිහිපයක් විතරයි. විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් සහ අනන්‍යතාවය ගැන සම්බන්ධ අයිතිවාසිකම් සමහරක් දිනා ගැනීම ඒ අතර විශේෂයි. ඊට අමතරව අපේ රටේ රජයයන් විවිධ අවස්ථාවන්වල දී LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන නොයෙක් වේදිකාවල කතා කර තිබෙනවා. මෑත දී වත්මන් අධිකරණ ඇමැතිවරයා විසින් ලංකාවේ අධිකරණ විසින් දිගු කලක් කර ගෙන ආ සමලිංගික යැයි සැකකරන අයගේ ගුද මාර්ග පරීක්ෂා කිරීම් ඔවුන් අකමැති නම් නොකරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දුවක් දුන්නා.


සමරිසි පුද්ගලයින් ගේ ලිංගිකත්වය ‘තහවුරු’ කිරීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂා සිදුකරන බවට සිදුකළ හෙළිදරව්වට වත්මන් අධිකරණ අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ප්‍රතිචාර දැක්වූ අයුරු

2014 දී මහින්ද රාජපක්ෂ රජය යටතේ LGBTIQ පුද්ගලයන් ලංකාවේ ව්‍යවස්ථාව යටතේ වෙනස්කම් කිරීමෙන් ආරක්ෂා වන බවට පොරොන්දුවක් දුන්නා. ඉන්පසු පැමිණි යහපාලන රජයයත් එවැනි ප්‍රකාශ කළා. විශේෂයෙන්ම සංක්‍රාන්ති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සහ වෙනත් රජයේ ආයතන අනගි සහයක් ලබා දුන්නා. එහෙම බැලුවාම මං හිතන්නේ පුංචි වුනත් බොහෝ ජයග්‍රහණ තිබෙන බවයි.


හිටපු ජනපති සිරිසේන ගේ ‘සමනල‘ ප්‍රකාශයට විරුද්ධව ප්‍රජා සාමාජිකයින් වීදි බැසීම | ඡායාරූපය: ඊක්වල් ග්‍රව්න්ඩ්; 2018

ඉස්සරට වඩා මහජනයා දැනුවත් බව අපිට පෙනෙනවා. විශේෂයෙන්ම LGBTIQ තරුණ ප්‍රජාව මේ වැඩවලට දායක වීම විශේෂයෙන්ම අපිට වඩාත් බලාපොරොත්තු ඇති කරන සුළුයි. දැන් LGBTIQ සංවිධානවල කාර්යාලවලට ගල් ගහන්නේ නැහැ. එක විදියකට ජයග්‍රහණයක් විදියට සලකන්න ඒ දේම ඇති. 2018 දී අපි ප්‍රජාවක් ලෙස එළියට ඇවිත් එවකට සිටි ජනාධිපති විසින් කළ ප්‍රකාශයකට විරෝධතාවයක් දැක්වූවා. එතැනදී අපිට ලැබුනු සහයෝගය හරිම විශිෂ්ටයි. මානව හිමිකම්වලට සම්බන්ධ, සම්බන්ධ නැති බොහෝ දෙනෙක් අපිත් සමග එතැනදී සිට ගත්තා. හැම අවුරුද්දක දීම LGBTIQ පුද්ගලයන් වෙනුවෙන් ප්‍රයිඩ් (PRIDE) උත්සව පැවැත්වෙනවා. අපි තවම ප්‍රයිඩ් පා ගමනක් ගිහින් නැහැ. නමුත් එයත් ළගදීම පැවැත්විය හැකි බව මට විශ්වාසයි. මා හිතන්නේ අපි බොහෝ බලාපොරොත්තු සහගත විය යුතු බවයි. අයිතිවාසිකම් ව්‍යාපාරයකට විය හැකි නරකම දේවල් අපිට වී තිබෙනවා. ඒ නරක දේවල්වලට එරෙහිව සටන් කර අපි අද ඉන්න තැන සිටිනවා. අනාගතයේ දී අතීතයේ දී වූ තරම් නරක දේවල් වේ යැයි මා හිතන්නේ නැහැ. සිදු වුනත් මුහුණ දීමේ ශක්තිය ලංකාවේ LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරයට තියෙන බව මට විශ්වාසයි.

ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව ආශ්‍රිතව සිදුකෙරුණු පර්යේෂණ හෝ සංගණන වාර්තා තිබෙනවා ද? ඒ තුළින් ඒ ඒ ප්‍රජා කාණ්ඩ කුමන ප්‍රමාණයක් ජීවත් වනවා දැයි තක්සේරුවක් ගොඩනඟා ගැනීමේ හැකියාව අපට තිබෙනවා ද?

පර්යේෂණ වාර්තා තිබෙනවා. නමුත් අපේ සමාජයේ ඇති කොන් කිරීම, වෙනස් කොට සැලකීම, මාධ්‍ය සදාචාරයේ, පර්යේෂණ ආචාරධර්මවල අඩුපාඩුකම් සහ ඒවා ගැන ඇති අවිශ්වාසයනිසා, නිවැරැදිව ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයන් කී දෙනෙක් සිටීදැයි හොයා ගත හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ලංකාවේ LGBTIQ පුද්ගලයන් ගණන විතරක් නෙමෙයි, ලංකාවේ විෂමලිංගික (heterosexual) පුද්ගලයන් කී දෙනෙක් සිටී ද කියාවත් අපිට හරියට හොයා ගන්නටත් බැහැ. ලිංගිකත්වය ගැන අපේ රටේ සංවාදය විවිධ විදියට ඇහිරිලා. වැඩිහිටියෝ දෙන්නෙක් පෞද්ගලිකව කරන කිසියම් ලිංගික කටයුත්තක් කී දෙනෙක් කරනවාද යන්න ගැන ඇත්තටම පර්යේෂකයෙක් හොයන්න ඕනෙ ඇයි? තමන් ගැන ඒ වගේ විස්තර වෙන කෙනෙකුට එළිදරව් කරලා කියලා තමන්ට ප්‍රශ්නයක් වුනොත්, තමන්ගෙ නමත් එක්ක පළ කළොත් මොකද වෙන්නෙ කියල වාගේ ප්‍රශ්න බොහෝ දෙනෙකුට තියෙනවා. එහෙම හිතන එක ලංකාවේ තියෙන සමාජ තත්වයත් එක්ක ගත්තම හරි සාධාරණයි.

කී දෙනෙක් ඉන්නවාද කියන ප්‍රශ්නය වඩාත් වැදගත් වෙන්නේ බොහෝ විට සාමාන්‍ය ජනතාවට වඩා සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති සාදන්නන්, දේශපාලන පක්ෂ,  රාජ්‍ය නොවන සංවිධාන, අරමුදල් ලබා දෙන්නන් ආදියටයි. මේ අය LGBTIQ පුද්ගලයන් ඇති ප්‍රදේශ හෝ ස්ථාන ඉලක්ක කර ගනිමින් ඉලක්ක කරගත් සේවා වඩාත් කාර්යක්ෂමව සහ මැනිය හැකි මට්ටමකින් ලබා දීම ගැන උනන්දු වෙනවා විය හැකියි. මා විශ්වාස කරන්නේ LGBTIQ පුද්ගලයන් එක්කෙනෙක් හෝ නොමැති තැනක වූවත් LGBTIQ අයිතිවාසිකම් තහවුරු කළ යුතු බවයි. කියා ගන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. අද නැති වුනාට ඉස්සරහට එහෙම කෙනෙක් එන්න පුළුවන්. LGBTIQ යැයි හඳුනා ගන්නා පුද්ගලයකු කිසි දිනක හමු වී නැති යැයි කියන කෙනෙකුට පවා වෙනස් ලිංගිකත්වයන් / ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් පිළි ගැනීම සහ වෙනස් කොට නොසැලකීම ගැන සමාජ කුසලතාවයන් ගැන වැදගත් වෙනවා. අනික් කාරණය වන්නේ බොහෝ විට මේ සිතියම් ගත කිරීම් බොහෝ විට සිදුවන්නේ ලිංගාශ්‍රිත රෝගවලට ඇති අවදානම පදනම් කර ගෙන වීම නිසා, නොසැලකී ඉවත් වෙන බොහෝ පිරිසක් ඉන්නවා. මේ ආකාරයේ බොහෝ කරුණු මත LGBTIQ පුද්ගලයන් සිතියම් ගත කිරීමේ දේශපාලනයට මං විරුද්ධයි. අනික මෙසේ සිතියම් ගත කරන ලද තොරතුරු ප්‍රජාවට විරුද්ධව යොදා ගැනෙන අවස්ථා පැමිණෙන්න පුළුවන්.


Colombo PRIDE 2008 – Rainbow Kite Festival on Mt. Lavinia Beach | ඡායාරූපය: ඊක්වල් ග්‍රව්න්ඩ්

නමුත් LGBTIQ ප්‍රජාව සිතියම් ගත කිරීමේ, ඇස්තමේන්තු ගත කිරීම ගැන එච්චර ලොකු අවධානයක් නොදැක්වුවත්, ඒ ප්‍රශ්නය යම් විදියකට අඩංගු කළ එක් පර්යේෂණ වාර්තාවක් ගැන කියන්නම්. ඒ නෙලූෆ’ දි මෙල්, ප්‍රදීප් පීරිස්, ශ්‍යාමලා ගෝමස් විසින් 2013 වර්ෂයේ දී සිදු කළ කෙයා ඉන්ටනැෂනල් ආයතනය විසින් පළකළ ‘පිරිමිකම් අදාළ වෙන්නේ ඇයි? : ලංකාවේ දිස්ත්‍රික්ක 4ක ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රචණ්ඩත්වය, ආකල්ප සහ ව්‍යවහාරයන්’ කියන අධ්‍යයනය. මේ අධ්‍යනයේදී පිරිමි 1560ක් සහභාගි වී තිබුනා. මෙහි දී නිර්නාමිකභාවය ආරක්ෂා කිරීමට ලොකු තැනක් ලබා දී තිබීම අධ්‍යයනයේ සාර්ථකභාවයට බලපාන්න ඇති. මේකෙදි තමන්ට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් පිරිමි ආදරවන්තයෙක් ඉන්න 3%කුත්, තමන්ගෙ ජීවිත කාලෙ ඇතුළත පිරිමි කෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවක් කරපු පිරිමි අය 11.4%කුත් හමු වෙලා තියෙනවා. දැන් මේකෙ 3% කියන එක ලංකාවෙ පිරිමි ජනගහණයට විතරක් ආදේශ කරලා බැලුවත් ගණන ලක්ෂ 3කට අධිකයි. එතකොට අපි කාන්තාවනුත් සැලකුවොත් ලංකාවේ LGBTIQ ප්‍රජාව අඩුම තරමින් ලක්ෂ 4-5ක් වගේ වෙන බවයි මගේ තේරුම් ගැනීම.  නමුත් බොහෝ විට සෞඛ්‍ය සේවා සපයන ආයතනවලට මෙච්චර සමලිංගික පිරිමි ප්‍රමාණයක් හොයා ගන්න බැහැ. ඒ නිසා ඒ අය මේ ගණන අඩුවෙන් ඇස්තමේන්තු කිරීමේ ප්‍රවනතාවයක් දකින්නට ලැබෙනවා. තමන් සෙක්ස් කරන්නෙ කා එක්කද කියන එක පෞද්ගලික දෙයක්. ඒක ආයතනත් එක්ක, පර්යේෂකයොත් එක්ක කියනවාද නැද්ද කියන එක ගැන ඒ මිනිස්සුන්ගේ තීරණයට අපි ගරු කළ යුතුයි.  මං හිතන්නෙ සෞඛ්‍ය වැඩසටහන්වලට කිසියම් සිතියම් ගත කිරිමක් අවශ්‍යත් ඇති. හැබැයි ඒක LGBTIQ ප්‍රජාවේ සිතියම් ගත කිරීමක් විදියට නම් කරන එක හරි නැහැ.

ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික ප්‍රජාවන් ගේ මානව හිමිකම් අරගලය තනි සාධකයක් ලෙසින් නොව විවිධ ස්ථරයන් ඔස්සේ අන්තර්ආංශික මුහුණුවරක් ගන්නා බවට අප යෝජනා කළොත්?

එකඟයි. මං හිතන්නෙ ඒක හැමෝටම පොදු දෙයක්. ලිංගිකත්වය කියන්නෙත් ඉතින් අන්තර්ආංශිකත්වයේ (intersectional) කොටසක්නෙ. කෙනෙකුට තියෙන ප්‍රශ්න ගත්තම  ලිංගිකත්වය ගැන ප්‍රශ්න විතරක් තියෙන මිනිස්සු ඉන්නවාද? එහෙම නෑනෙ.

සමහර වෙලාවට අපිට එක ප්‍රශ්නයක් ලොකුවට පේනවා. ඒකෙන් අපි ලොකුවට වේදනා විදින නිසා හෝ වෙනත් කාරණා නිසා, ඒ වුනාට ඒක විසඳුනා කියලා අනික්වා විසඳෙන්නෙ නෑ. දුප්පත් සමලිංගික පිරිමියෙක් හිතන්න පුළුවන්, මට සල්ලි තියෙනවා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි, සෙක්ස් කරන එක මට කොහොම හරි කර ගන්න පුළුවන් කියලා. මුස්ලිම් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක්කල්පනා කරාවි, මට ඔය ලිංගික අයිතිවාසිකම්වලට වඩා ජනවර්ගය මත සිදු වෙන වෙනස් කොට සැලකීම්වලට විරුද්ධ වීම වැදගත් කියලා. ඒ වගේම තව සමලිංගික පිරිමි කෙනෙක් කල්පනා කරන්න පුළුවන්, මට ඕන දේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ව කසාද බඳින එක කියලා. තව සමලිංගික ගැහැණු කෙනෙක් හිතන්න පුළුවන් මට ඕනෙ කසාද බඳින්නෙ නැතුව ඉන්න, අනික් දේවල් මට විසඳ ගන්න පුළුවන් කියලා.

තව සංක්‍රාන්ති සමාජභාවී කෙනෙක් කල්පනා කරනවා මං සර්ජරි එක කර ගන්නවා. මට ඊට පස්සෙ මොකුත් වැදගත් නෑ කියලා. ආබාධිත කෙනෙක්ට වෙන ප්‍රශ්නයක් තියෙයි.  මේ වගේ මිනිස්සුන්ගේ අවශ්‍යතා, ප්‍රමුඛතා වෙනස්. කුලය, ජනවර්ගය, ආගම, දේශපාලන මතය, වයස, ආබාධිතභාවය, ගැහැණු පිරිමිබව, හැසිරෙන විදිය, ඇඳුම් පැළදුම්, පළාත, ඉගෙන ගත්ත ඉස්කෝලෙ, අධ්‍යාපනය ලැබූ මට්ටම, මේ වාගේ ගොඩක් කාරණා මත මිනිස්සු වෙනස් කොට සලකන ලෝකයක අපි ජීවත් වෙනවා.

බොහෝ විට එක LGBTIQ පුද්ගලයකුට මේ කාරණා එකකට වඩා වැඩි ගණනක් නිසා ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වෙනවා. ඒ නිසා ඔවුන් මුහුණ දෙන පීඩනය, ගැටළු ආදියත් මෙයින් එකකට සීමා කරන්න බෑ. සමලිංගික හෝ සංක්‍රාන්ති කෙනෙක් දුප්පත් වෙන්නෙ ඒ අයගේ ලිංගික අනන්‍යතාවය ඒ අයට ලැබෙන රැකියාවල ස්වභාවයට හෝ නොලැබීමට බලපාන නිසා වෙන්න පුළුවන්. නැතිනම් සමාජයෙන් දිගින් දිගටම මුහුණ පාන්න වෙන කරදර නිසා ඒ අයගෙ මානසික සෞඛ්‍යය වැටිලා. ඉතින් පිළිවෙලකට රස්සාවක් කරන්න බැහැ. සංක්‍රාන්ති කෙනෙක්ට තමන්ගේ ජෙන්ඩර් එකට ගැලපෙන විදියට ශරීරය වෙනස් කර ගන්න බැරිත් ඒ නිසා. එහෙම නැත්නම් ඉන්නෙ ග්‍රාමීය ප්‍රදේශයක නිසා, කොළඹ තියෙන සේවාවලට ළගා වෙන්න බැහැ. නැත්නම් ලෙස්බියන් කාන්තාවකට තමන්ගෙ අනන්‍යතාවය එළියට දමන්න බැරි වෙන්නේ ලෙස්බියන් නිසා වගේම, ඇය කාන්තාවක් නිසා වීම නිසා සහ ඇගේ සමාජ පරිසරය නිසා වෙන්නත් පුළුවන්. විවිධ කාරණා නිසා කෙනෙකුට තමන්ගෙම ලිංගිකත්වය ගැන වුනත් තියෙන්නෙ අඩු වැඩි දැනුමක් වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන සංස්කෘති, අනන්‍යතා, අපේ පවුල්වල අය හිතන හැටි, සමාජයේ තියෙන විවිධ මත, අපිට උගන්නපු ගුරුවරු කියපුවා, අපි විඳපු දුක් වේදනා, රජයෙන් අපිට දෙන සේවා සහ පහසුකම්වල සීමාවන්, පුරුෂාධිපත්‍යය, ජාතිවාදී අදහස්, මේ වාගේ ගොඩක් දේවල් මෙහෙම ප්‍රශ්න එකිනෙක බැඳෙන්න බලපානවා.

තව ගොඩක් දෙනෙක් කැමැති නෑ තමන්ට දැනටම එක ලේබලයක් වැදිලා තියෙන කොට තවත් ලේබල් එකක් ගහ ගන්න. හිතන්න ආබාධිත කෙනෙක් තමන්ගෙ ලිංගිකත්වය වෙනස් – ඒ කෙනාම ‘අඩු’ කුලයක, සුළුතර ජනවර්ගයක වුනොත් මොන වගේද? ඒ අස්සෙ හිතන්න එයා තරුණ ළමයෙක්, දකින්නෙ තාත්තායි අම්මයි හැමදාම ගෙදර රණ්ඩු වෙන හැටි කියලා. දැන් මේ වගේ කෙනෙක්ට ලිංගිකත්වය ගැන අයිතිවාසිකම් වැදගත් තමයි. ඒත් අර ඔක්කොම අමතක කරලා ලිංගික අයිතිවාසිකම් ගැන කතා කරන්න පුළුවන්ද?

අපි හැම කෙනෙක්ම වෙනස්. ලේසියට හෝ දේශපාලනිකව පෙනී සිටීමේ වුවමනාව නිසා තෝර ගත්තට, එකම අනන්‍යතා කාණ්ඩ ඇතුළෙ  ඉන්න දෙන්නෙක් වුනත් සමාන නැහැනෙ. වෙනස් අනන්‍යතා කාණ්ඩවල ඉන්න අය ගොඩක් තමයි LGBTIQ කියලා එකතු වෙලා ඉන්නෙ. L – ලෙස්බියන්, G – සමලිංගික පිරිමි, B – ද්විලිංගික, T – සංක්‍රාන්ති සමාජභාවී, I – අන්තර්ලිංගික, Q – කුයර්. දැන් මේ අනන්‍යතා ඇතුළෙ තව තව උප-අනන්‍යතා තියෙනවා. එහෙම ගත්තත් අපි සමාන නෑනේ.

වෙනස් අනන්‍යතාවලට ගරු කිරීම, වෙනස් අනන්‍යතා භාර ගැනීම වාගේම එක එක අයගේ අඩුපාඩු කිසියම් ඉවසීමකින් භාර ගන්න හෝ නොගන්නත් අපිට වෙනවා. තමන්ට ගෑනු වගේ හැසිරෙන අය පෙන්නන්න බැරි බව කියන, ලෙස්බියන් කාන්තාවන්ට බනින සමලිංගික පිරිමි ඉන්නවා. කිසියම් සංක්‍රාන්ති සමාජභාවී සිංහල කෙනෙක් දෙමළ/මුස්ලිම් අය පෙන්නන්න බැරි බව කියන්න පුළුවන්. නැතිනම් මම සමලිංගිකව ලිංගික හැසිරීම් කළාට, වෙන අයිතිවාසිකම් තමන්ට වැඩක් නැහැ කියලා විශ්වාස කරන, LGBTIQ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයට බනින LGBTIQ පුද්ගලයන් ඉන්න පුළුවන්. මේවාටත් විවිධ හේතු ඇති. හැබැයි මානව හිමිකම් කෝණයකින් බැලුවම මේ වගේ අදහස් බොහෝවිට සෘණාත්මකයි. මේ වගේ අදහස් තියෙන අයත් එක්ක අපිට මානව හිමිකම් ව්‍යාපාරයක් ගෙන යන්න අපහසුයි.

නමුත් අනික් අතට මානව හිමිකම් ගොඩ නැගෙන්නේම මෙවැනි අදහස්වල වලංගුතාවය ගැන ප්‍රශ්න කිරීමෙන්මයි. ඒත් ඒ වුනත් ප්‍රජාවක සාමාජිකයන් කියන්නෙ හැමතිස්සෙම මානව හිමිකම් ක්‍රියාධරයන් නෙමෙයි. ඉතින් LGBTIQ කියලා කිවුවට ඒ සමාජයෙත් ලංකාවෙ ඉන්න මිනිස්සුම තමයි ඉන්නෙ. පරිපූර්ණ නැති අපිට, පරිපූර්ණ නැති අනෙක් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරමින්, ඒ අය වෙනස් කරන්න වැඩ කරන්න වෙනවා. අපි යුද්ධයකට මුහුණ දුන්, ජාතිවාදය ඔඩු දුවා ඇති, වෙනත් ප්‍රශ්න ගණනාවක් ඇති, දුප්පත්කම, සම්පත් නොලැබීම නිසා අසාධාරණයට ලක් වූ බහුතරයක් ඉන්න සමාජයක කොටස්. අපේ සමාජයේ බොහෝ දෙනෙක් සාධාරණය දැක නැහැ. ඉතින් මේ වාගේ සමාජයක අන්තර්ආංශිකත්වය ආරක්ෂා කිරීම පහසු දෙයක් නෙමෙයි. නමුත් අන්තර්ආංශිකත්වය ආරක්ෂා කිරීම සහ ඒ වෙනුවෙන් හඬ නැගීම ම මෙවැනි සමාජයක LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය සතු වගකීමක් බව මා විශ්වාස කරනවා.

ඔබ ඉහත සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය ආරම්භ වී වසර 25 පමණ ගතවනවා නම්, අදටත් ඔවුන්ගේ ප්‍රජා අයිතීන් පිළිබඳ සීමිත පිරිසක් පමණක් ප්‍රසිද්ධියේ දොඩමළු වන්නේ ඇයි?

හැමෝම මානව හිමිකම් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. එහෙම කතා කරලා සමහර වෙලාවට තමන්ට ප්‍රශ්නයක් වෙයි කියලා බය වෙන අයත් ඇති. LGBTIQ අයිතිවාසිකම් බොහෝ විට සංස්කෘතියක් සමග සංවේදී කාරණා සමග බැඳී තිබෙනවා. ඉතින් ඒ නිසා සමහරුන්ට ඒ ගැන කතා නොකර ඉන්නත් විවිධ හේතු තිබෙන්නට පුළුවන්. ඒ වගේම එක එක්කෙනා කැමැති අකමැති දේවල් සහ ප්‍රමුඛතා වෙනස් වෙනවානේ. ඉතින් එතැනදී ඒ අයගේ මතයට, කැමැත්තට ගරු කිරීම LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය කළ යුතුයි කියා මා හිතනවා.


ආචාර්ය දීපිකා උඩගම සමරිසිභාවය නිර්සාපරාධීකරණය වෙනුවෙන් පෙනී සිටියි | ඡායාරූපය – ඊක්වල් ග්‍රව්න්ඩ්; 2017

හැබැයි තමන්ට ප්‍රශ්නයක් ආවම එය විසඳ ගන්න කතා කරන්න අවශ්‍ය පමණටවත් බාධාවකින් තොරව කෙනෙකුට ලිංගිකත්වය, ස්ත්‍රීපුරුෂ සමාජභාවය ගැන ඇති ගැටළු ගැන කතා කළ හැකි සමාජයක් අප විසින් නිර්මාණය කළ යුතු වෙනවා. සමහර වෙලාවට සමහර ප්‍රශ්නවලදි LGBTIQ පුද්ගලයන්ට තමන්ගෙ ප්‍රශ්නෙවත් කතා කර ගන්න බැහැ. ඒකත් මා දකින විදියට අපි අකැමැති වුනත් ගරු කළ යුතු යථාර්ථයකුයි. ඒ අයට සහාය දැක්වීමේ යාන්ත්‍රණ අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.


ඡායාරූපය: දේදුනු සංවාද

අනික LGBTIQ ප්‍රශ්න ගැන කතා කළ යුත්තේ, LGBTIQ අය විතරක් නොවෙයි. මානුෂික ප්‍රශ්න කතා කරන්න හැමෝටම පුළුවන්. දැනටත් එහෙම කරන බොහෝ දෙනා අප අතර සිටිනවා. අපි තවත් බලාපොරොත්තු සහගත වෙමු.

මීළඟට බලාපොරොත්තු වන්න: ශ්‍රී ලංකාවේ සමලිංගික භීතිකාව, දේශපාලනය හා බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් 

පෙර ලිපි: සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? සැබෑ ප්‍රශ්ණය සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය කුමක්ද යන්නයි! (1 කොටස)
සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? අපිටම ආවේණික නච්චි යැයි හඳුන්වන ප්‍රජාවක් ජීවත් වනවා! (2 කොටස)


පෘථිවිය තවත් මහා වඳවීමේ සිදුවීමක අද්දර සිටින බව ඩේවිඩ් ඇටෙන්බරෝ අනතුරු අඟවයි

දියවන අයිස් තට්ටු ලෝකය ගිල ගනීද…?

Dominion Voting Systems ට්‍රම්ප්ගේ පුද්ගලි​ක නීතීඥ ජියුලියානිට එරෙහිව නඩු පවරයි

යුධ අපරාධ සැකකරුවා අන්තර්ජාතික අපරාධ අධිකරණයට භාර දෙයි

මේ ඔවුන්ගේ මහපොළවයි.. ගොඩ්සිලා – කොන්ග් හරඹය මාර්තු මසදී!

බියගන්වන සුළු දේශපාලන අනාවැකි කී ද සිම්ප්සන්ස් ගේ තවත් අනාවැකියක් සනාථ වෙලා!

ජෝ බිඩෙන් දිවුරුම් දීමේ උත්සවයේ සමාරම්භක කවියෙකු වන අමැන්ඩා ගෝමන්ට පිරිනැමුණු වටිනා රැකියා භූමිකාව

ඉන්දියාවේ කොරෝනා එන්නත් සාදන සීරම් සමාගම ගිනි ගනියි!

error: Content is protected !!
error: Content is protected !!