×

නැවත නැවතත් සිඹිමි !

මා පරණ ජැකට්ටුව විසිනොකරන්නේ මන්ද යන්න ක්‍රිස් හට ගැටලුවකි. වසර ගණනකින් ඔහු එය ඇඳ නැත.


මට ක්‍රිස්ව මුණ ගැසෙන විට ඔහු මගේ හොඳම  මිතුරාගේ මිතුරා ය. ඇත්තෙන්ම මා මුලින්ම ඔහු ව දකින විට ඔහු සිටියේ සිය සිය පෙම්වතිය වන පෝලා ද සමග ය.
එහෙත් අපේ ඇස් එකිනෙක මුණ ගැසිණි. ඒවා එකිනෙකාව සොයාගෙන යන ගතියක් විණි. මා සිතන පරිදි අපේ උසස් පාසලේ සිටි කොල්ලන්ගෙන් ආකර්ෂණීම නිල් ඇස්  ඔහු සතු විය. අවංක කතාවක් කියන්නේ නම් එවැනි තවත් ඇස් දෙකක් මා අද ද දැක නැත. ඔහු මා සමග කතාබස් කරන විට මම නිීල සයුරක කිමිදී යන්නෙමි. මා පමණක් නොවේ. ඔහුගේ ඇස් ගැන අපේ කෙල්ලන් අතර තිබෙන ජනප්‍රිය මතයට අනුව ඔහු දෙස බැලූ විට කෙල්ලන්ට ක්ලාන්ත වන ස්වභාවයක් ඇති වේ. මේ කොල්ලාට මගේ ඇස් දෙස බලාසිටින්නට මට ඉඩදිය නොහැකි විය. එය ඉවසීමට අපහසු කාරණාවකි. ඔහු මගේ පෙම්වතා නොවන බව ඇත්තකි. එහෙත් ඒ ඇස්වල කාන්දම් ගතියක් තිබීම මගේ වරදක් ද..? ඒවා වෙත මා නිතැති් ඇදී යයි. 


මේ අතර මා දුටුවේ මා ඔහු දෙස බලන සෑම විටෙකම ඔහු ද මා දෙස බලාසිටිනා බවයි. ඇතැම්විට මගේ සිතේ තිගැස්ම ඔහුට දැනුණා වන්නට ඇත. එනිසා මම හැකිතාක් දුරට ඔහු දෙස නොබලා සිටින්නට උත්සාහ ගතිමි. එහෙත් සිත පෙරළි කරමින් නිල් ඇස්ම සොයමින් සිටියේය. එදා රාත්‍රියේ මා නින්දට ගියේ ඒ නිල් ඇස් ගැන සිහින මවමිනි. ඒවා මට නැවත කවදා දැකගන්නට ලැබේදැයි සිතමිනි.

එහෙත් හරියටම සතියකට පසු ඔහුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණු විට මම ගල්ගැසී ගියෙමි. මට හුන් තැනම බිම ඉන්දවුණේ යැයි කිව හැක. ඔහු මා හමුවීමට අවසර පතා සිටියේය. එවිට මට කියන්නට මතක් වූ එකම දෙය මම අසීරුවෙන් කියාගත්තෙමි..“එතකොට පෝලා…?”
“මම කියන්නම්.. ඔයා ආවොත්..” ඔහු කල්පනාකාරී සහ උත්සවකාරී ලෙස කීය.
හරියටම පොරොන්දු වූ වේලාවටම ඔහු මා කැඳවාගෙන යාම පිණිස අපේ නිවසට ආවේය. මගේ මව සමග ඉතාම ආචාරශීලී ලෙස කතාබස් කළේය. විනයානුකූල ශිෂ්‍ය නායකයෙකු මෙන් හැසිරෙමින් ඇය සමග විනීත බස් තෙපළේය. මව සමග කතා බස් කරන විට මා දෙස වැරදීමකින් හෝ නොබැලුවේය. ඔහු ඉතා හොඳ ඇහුම්කන් දෙන්නෙක් සහ අවබෝධ කර ගන්නෙක් බව වටහාගැනීමට ඒ සංවාදය මට සෑහිණි.


එදා මුලු සන්ධ්‍යාවේම ඔහු හැසිරුණේ නියම මහත්මයෙකු ලෙස ය. ඔහු මා වෙනුවෙන් මෝටර් රියේ දොර විවර කර දුන්නේය. පෝලා සමග සම්බන්ධතාවය බිඳී ගියේ මන්ද සහ කෙසේදය යන්න මට පහදා දුන්නේය. මගේ අතකින් හැමවිටම අල්ලාගෙන සිටියේය. ඔහුගේ ශක්තිමත් පෞරුෂය ඒ ග්‍රහණයෙන් පෙනී ගියද එහි නොරිදෙන සැලකිලිමත් බවක් හැමවිටම විය. මගේ මවට පොරොන්දු වූ වේලාවටම ඔහු මා නිවසට කැඳවාගෙන ආවේය.  ඔහු මා සිප ගනීවිද..? මගේ සිත චකිතයෙන් උඩ පිනුම් ගසන්නට විය. නමුත් ඔහු යුතුකම් ඉටුකළ රැකවල්කරුවෙකු මෙන් අතිශය විනයානුකූල සහ නියමානුකූල ලෙස මගෙන් සමුගෙන ගියේය. “සුබ රාත්‍රියක්.. ඔයත් එක්ක ගත කළ කාලය හරිම සුන්දරයි..” යැයි කියා මගේ ඇස් වලට එබී බලා යන්නට ගියේය.
මම උභතෝකෝටිකයට මැදි වී සිටියෙමි. ක්‍රිස් ඇත්තේන්ම මට කැමතිදැයි  මම නොදන්නෙමි. සමහර විටෙක ඔහු මා ඔහුට ගැළපේද නමැති විභාගය ලියා බැලුවා විය හැකිය. මම එයින් සමත්ද අසමත්දැයි නොදන්නෙමි. එහෙත් මට හැඟෙන එකම දෙය මා ඔහුට කැමති තරම් ඔහු මට කැමති නැති බවයි. එය සාධාරණ විය හැකිය. එක නෙත් කැල්මෙන් ඔහුට වශී වන කෙල්ලෝ කොතෙක්ද..? එහෙත් මගේ යටිසිත මේ අතරම කිංකිණි හඬින් සිනාසෙමින් කියා සිටියේ ඔහු මේ කරන්නේ දෙමව්පියන්ගේ සිත ගැනීම පිණිස පුංචි රඟපෑමක් බවයි. තමන් හොඳට හැදුණු බෑණා කෙනෙක් බවත් තමන් වැනි කෙනෙක් තවත් නැති බවත් මගේ දෙමව්පියන්ට කල් තබාම හැඟවීමට ඔහුට අවැසි සේ ය. 

ඊළඟ සතියේ සඳුදා දිනයේ ඔහු ප්‍රථම වතාවට මා බැලීම සඳහා පන්තියේ කොරිඩෝරයටද ආවේය. ඉන්පසු කිසිවෙකුටත් නොපෙනන සේ මගේ අතින් අල්ලාගෙන හිඳ, නෙත්වලින් විදුලි සැර යවා ආපසු ගියේය.

ඊළඟ සෙනසුරාදා උදා විය. මට අප අතර සම්බන්ධයක් තිබෙනවාදැයි සැකහැර දැනගැනීමට අවැසි විය. මම පේවී ලැහැස්ති වීමි. මට තිබෙන සරාගීම ඇඳුම් ආයිත්තම්වලින් සැරසී ඔහු හමුවීමට ගියෙමි. ක්‍රිස් එවරද හැසිරුණේ පළමු සතියේ ලෙසම ය. ඔහු අම්මා සමග නොසෑහෙන්නට කතා බස් කළේය. ඉන්පසු මා සමග දොඩමලු විය. සුපුරුදු පරිදි, ආත්මීය කතා කිසිවක් නොකීවේය. ඉන්පසු පෙර සතියේ මෙන්ම සුබ රාත්‍රියක් කියා සමුගෙන ගියේය. මම සිතිවිලි වලින් අතරමං වී සිටියෙමි. ක්‍රිස් සැබවින්ම මට කැමතිදැයි දැනගැනීමට මගක් දැන් නැත.
ඊළඟ සතියේ බදාදා වන තෙක්ම මා ක්‍රිස්ව දුටුවේ නැත. එහෙත් එදින දිවා ආහාර වේලාවේදී ඔහු මා සොයාගෙන ආවේය. ඒ පණිවුඩයක් දැන ගැනීමට ය. “ඔයා බොව්ලින් සෙල්ලම් කරන්න දන්නවද..?” ඔහු ඇසුවේය. “හුහ්…බොව්ලින්..?“මම උපහාසාත්මක ව සිතින් කියාගතිමිි. මේ කොල්ලාට මා අවශ්‍ය වන්නේ ආලය කිරීමට නොවේ. “ඔව් .. මම කලින් නම්බොව්ලින් ලීගවලට සෙල්ලම් කරල තියෙනවා..” මම නොසැලකිලිමත් ලෙස කීවෙමි. “ඇත්තද..?” ඔහුගේ අර නිල් ඇස් හරහා විදුලියක් ඇඳී ගියේය. ‘’ඔයා නියමයිනෙ.. අපේ කණ්ඩායමේ හිටිය කෙනෙක් අයින් වුණා.. ඔයා ට පුලුවන් නේද සෙල්ලම් කරන්න..? අද හවස මැච් එක..”


ඉතින් මම මෝඩියක සේ එයට අවනත වූයෙමි. සන්ධ්‍යාවේ පැවති තරගයෙන් අපි ජය ගතිමු. ඔහු මහත් උද්වේගයෙන් යුතුව මා බදාගෙන සුබ පැතීය. “කොහොම වුණත් ඔහුගෙ මට විශේෂයක් තියෙනවා..” මම කැමැත්තෙන් සිත රවටාගනිමින් හෝ එම නිගමනයට එළඹියෙමි. 
එදින රාත්‍රියේ ඔහු මා නිවසටම ඇරලෙව්වේය. නිවසේ ඉදිරි දොර අබියසදී බොව්ලින් ලීගයට මට ඇරයුම් කිරීම ගැන ඔහුට ස්තූති කළෙමි. ඔහුට එකට එක කිරීමට මට සෑහෙන කාලයක පටන් උවමනාවක් තිබුණෙන් එපමණක් පමණක් කියා සුබ රාත්‍රියක් පැතූ මම නිවස තුළට යන්නට හැරුණෙමි. එවිට මුදු ලෙස ඇදී ආ අතක් මා වළකාලීය. ආපසු හැරුණු විට මා දුටුවේ ඔහු සිහිනයක කිමිදෙන්නා සේ මා දෙස බලා සිටින ආකාරයයි. ඉන්පසු ඔහුගේ දෙතොල් මගේ නළල් තලය වෙත යොමුවන විට මම දෑස් පියා ගතිමි. ඇත්තෙන්ම එය ලබාගැනීටම පෙරුම් පිරිය යුතු තරම් සුන්දර හාද්දකි. මම ගැඹුරු ලෙස හුස්ම ගතිමි. ඔහුගේ දුඹුරු කබායෙන් එන සිත මත් කරවන සුවඳ තුළ තව තවත් ගිලී ගියෙමි. 

ඒ හාද්ද අපේ ප්‍රේමය මුද්‍රා තැබුවේය. අද, එයින් වසර විසි ගණනකට පසුවද ක්‍රිස්ගේ පළමු හාද්ද මගේ සිතේ සදා නොමියේ. එදා ඔහුගේ දුඹුරු පැහැ ලෙදර් ජැකට්ටුවෙන් හමා ආ සුවඳ ද එසේම ය. තවමත් මම අපේ ඇඳුම් අල්මාරියෙන් එම ලෙදර් ජැකට්ටුව ගෙන එය සිඹ බලමි. එදා  සුවඳම අදත් එන බව තහවුරු කර ගනිමි. මා පරණ ජැකට්ටුව විසිනොකරන්නේ මන්ද යන්න ක්‍රිස් හට ගැටලුවකි. වසර ගණනකින් ඔහු එය ඇඳ නැත.
– මාග්‍රට් ඊ රීඞ් ගේ අත්දැකීමකි – චිකන් සුප් ඇසුරෙන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි