×

මාරක හී සරෙන් හිස සරසා ගත් ‘මුව ඉලන්දාරියා‘ – ‘කැරට්‘

ඔහුගෙ නම කැරට් ය. බොහෝ දෙනා ඔහු හඳුනන්නේ එසේ ය.


කැනඩාවේ උතුරු ඔන්ටාරියෝවේ හිම පිට හිම වැටෙන මේ ශීත සෘතුවේ මරණය හිස දරාගෙන වෙසෙන සුදු වලිගයැති මුවා ඔහු ය. හිස දෙපළු කරගෙන ඇනී ඇත්තේ මාරක හීයක් බව ඔහු නොදනියි. බාගවිට, දැනගත්තත් කළ හැකි දෙයක් නැති බවද ඔහු දන්නවා ඇත. එනිසාම මෙසේ නිවී හැනහිල්ලේ ඡායාරූපයට මුහුණ දෙයි.

වසර ගණනක් උද්‍යානවල වෙසෙන වන සතුන් කාච ඇසට හසු කර ගන්නා වනජීවී ඡායාරූප ශිල්පිනියක වූ ලී-ඈන් කාවර් කැරට්ගේ අමුත්ත දුටුවාය. පැංචා කාලයේ ඔහුට ‘කැරට්‘ යනුවෙන් නම තැබුවේ ද ඇය නිසා කැරට්ගේ වෙනස්කමක් නිමේෂයකින් හඳුනාගැනීමට ඇයට හැකි ය.

දැන් ඇය මේ ඡායාරූපය ලෝකය පුරා ප්‍රචලිත කිරීමට වෙහෙසෙන්නේ එයින් තුවාළ ලත් කැරට්ගේ ජීවිතය ගැන යම් බලාපොරොත්තුවක් දැල්වේ ය යන පරම පැතුමෙනි.

ගතවූ වසර 3 ක කැරට් ගෙවා දැමුවේ අනාථ දරුවෙකුගේ ජීවිතයකි. කැරට් පැංචෙකු සමයේදීම අනාථයෙකු ද විය. ඔහු ඡායාරූප ශිල්පිනිය සහ ඇගේ සැමියා විටින් විට බලන්නට එන්නට පුරුදුව සිටියේය. ‘‘එයා හරි ආදරණීයයි. ලෙන්ගතුයි..‘‘ එසේ කියන්නේ ලී – ඈන් කාවර් ය.

නමුත් පසුගිය සතියේ කැරට් ගේ ඉරණම වෙනස් වී ඇත. ලුමිනස් ලා කොල පාට – කළු හීයක් ඔහුගේ හිසේ ඇමිණී තිබේ. පුදුමය නම්, වේදනාවක් දැනිය යුතු වුවත් ඔහු පෙර සේම හිඳීම ය. ඒ මදිවාට ඡායාරූප ශිල්පිනිය ආ බව දැනගත් විට ඔහු ඇය බලන්නට පැමිණ සුපුරුදු ලෙසම තෙතබරිත නාසයෙන් ඇගේ සපත්තු ඉව කර බැලුවාය. ලේ බිඳක් වත් නොවිණ. ආසාදනයක් ඇති බවක් ද පෙනෙන්නේ නැත.

‘‘ඒත් ඒ දිහා බලන්න හරි අමාරුයි..‘‘ කාවර් කියයි. ‘‘සාමාන්‍ය විදිහට එයා ඉන්න උත්සාහ ගන්නවා..‘‘

කැරට්ගේ හිසේ ඇමිණී ඇති හීය සරල ලෙස ගළවා දමන්නට බැරි ඇයිදැයි ඔබ අසන්නට පුළුවන. නමුත් එය මරණය ඉක්මන් කරන්නක් විය හැකිය. හිසේ ඇනී ඇති නිසා සිහි විසඥ කිරීම අවදානම් බව ප්‍රා දේශීය පශු නිලධාරීන්ගේ මතයයි. මේ අතර, හීය ඉවත් කිරීම නොකළ යුත්තක් බව සංරක්ෂණ නිලධාරීන්ගේ මෙන්ම ඊතල ගැන හොඳින් දන්නා මුව දඩයම්කරුවන්ගේ ද මතයයි. මන්ද යත්, ලේ වහනය නොවන්නේ හීය නිසා රුධිර නාල මුද්‍රා තැබී (සීල් වී) ඇති නිසා විය හැකිය. එය ඉවත් කළ විට රුධිර නාල විවෘත වී මාරක ආසාදනයක් ඇති විය හැකිය.

 

ඒ නිසා කැරට් වෙනුවෙන් මේ තාක් කාලයකට බලධාරීන්ට කරන්නට හැකි වුණේ ඊ තලය මදින් මද කපා ඉවත් කිරීම පමණි. දැඩි උත්සාහයකින් පසුව හිරි වට්ටවා ඊතලයේ ඉහළ කොටස පමණක් කපා දමන්නට හැකි විය.

මෙයට වසර හතරකට පෙර, කාවර් ජීවත් වන කැරට්ගේ වසම වන කෙනෝරා නගරයට අලුත් නීතියක් ආවේය. එයට අනුව එහි වෙසෙන්නන්ට දුණු හී යොදාගෙන මුවන් දඩයම් කරන්නට පුළුවන.

‘‘මේ වේදනාව ඉවර කරන්න මට ඊතලය අල්ලලා ඇදල දාන්න හිතෙනවා. නමුත් කැරට්ගේ ජීවිතය ගැන මට බයයි..‘‘ කාවර් එසේ කියයි. බලා සිටිය නොහැකි තැන කාවර් Carrot the Magic Deer යනුවෙන් ෆේස්බුක් පිටුවක් ආරම්භ කළාය. ඇය කැරට් ව මෙහිදී ‘මැජික් මුවෙකු‘ ලෙස හඳුන්වන්නේ මේ මාරක ඊතලයෙන් ඔහුගේ දිවි බේරී තිබීම නිසා ය. කැරට්ගේ ඡායාරූප සහ වීඩියෝ මේ පිටුවේ පළ වන අතර, ඒවා දහස් ගණනින් ප්‍රතිචාර ද ලබයි. කැරට් වෙනුවෙන් දහස් ගණන් ජනයා දැනටමත් දේශසීමා බාධක නොතකා ඒ වටා එක් වී සිටිති.

ලංකාවේ වනෝද්‍යානවල ද යන්තමින් වෙඩි කා බේරුණු මුවන්, බෙහෙත් තුවක්කුවලින් අනූ නවයෙන් දිවි බේරාගත් ඇත් පැටවුන්, හක්ක පටස් වැදුණු අලින්, තටු සිඳුණු කුරුල්ලන් යනාදී වශයෙන් ලැයිස්තු පිටින් කැරට් ලා සිටිය හැකිය. නමුත් තනි සතෙකු වෙනුවෙන් තබා එවැනි සතුන් සමස්තය වෙනුවෙන්වත් මෙවැනි සංවේදී ‘ගෝලීය‘ සමාජ ජාල කැම්පේන් අප නොදකින තරම් ය.

කැරට්ගේ කතාව අපට කියා දෙන්නේ කුමක්ද? සතුන් වෙනුවෙන් බෝධිපුජා පවත්වන්නට යැයි අපි නොකියමු. නමුත් බුදුන් ඇතුළු බොහෝ ආගම් ශාස්තෘන් වදාළ දයානුකම්පාව / සහකම්පනය අද පෙරදිගින් බටහිර වෙත විතැන් වී ඇති බවක් නොපෙනේද?

Photo: Lee-Anne Carver



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි