×

වැලන්ටයින් කථා වස්තුව

‘වැලන්ටයින් දිනය‘ යනුවෙන් සමරනු ලබන්නේ ශාන්ත වැලන්ටිනස් සාමිවරයාගේ අනුස්මරණ දිනයයි.


“පෙබරවාරි 14” ආදරවන්තයන්ගේ දිනය ලෙස ඔබ හඳුනාගෙන සිටියත් එය සැබැවින්ම සමරනු ලබන්නේ ආදරය වෙනුවෙන් ජීවිතය කැපකළ රෝමානු කතෝලික පූජකවරයෙකු සිහිපත් කිරීම උදෙසාය.

මේ කතාව කෙතරම් පරණදයත් අපව 3 වන සියවස දක්වා ඈතකට රැගෙන යයි.

එකල රෝමය පාලනය කලේ දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාය. රෝමානු වැසියන්ගෙන් විශාල ප්‍රමාණයක් ක්‍රිස්තියානි නිකායට හැරෙමින් තිබුණහ. අධිරාජ්‍යයා දැඩි මිත්‍යාදෘෂ්ටිකයෙක් වූ බැවින් රෝම සොල්දාදුවන්හට ක්‍රිස්තියානි කාන්තාවන් සමඟ විවාහ වීම තහනම් කරන ලදී. තවද ඔහූගේ හමුදාවෙ සියලුම සෙබළුන් අවිවාහකව සිටිය යුතුයැයි අසාධාරණ නීතියක්ද පනවා තිබුණි. එහෙම නීතියක් පනවන්න හේතුව ලෙස ඔහූ කියා සිටියේ, විවාහක සෙබළුන්ට වඩා අවිවාහක සෙබළුන් කාය ශක්තියෙන් හා ක්‍රියාශීලිත්වයෙන් වැඩි’යි කියා විශ්වාස කිරීමයි.

ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ගැනත් ඔහූගේ දිවි පිදීමේ රහස මානව දයාව බවත් දේශනා කරමින් රෝමයේ ටර්නි නුවර දැහැමින් සෙමින් වැඩ විසූ රදගුරු වූ “වැලන්ටිනස්” නම් වූ කතෝලික පූජකවරයාට මේ අසාධාරණ නීතිය සැල විය. රජූගේ අණ නොතකා රහසිගතව රෝම සෙබළුන්ව විවාහ කරවන්නට ඔහූ ඉටාගත්තේය. ඒ අනුව ඔහූ සියලුම විවාහ සිදු කරවූයේ රෝමය තුළ වූ අප්‍රසිද්ධ පල්ලි තුළය. පූජකවරයාගේ වීරත්වය හා කීර්තිය රෝම නුවර පුරාම පැතිරෙන්නට වූයෙන් එම ආරංචිය ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කණට වැටෙන්නට මහා කාලයක් ගත නොවීය.

ක්ලෝඩියස්ට එරෙහිව ඔහූගේ අණට පිටුපාමින් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් වැලන්ටිනස් සාමිවරයාව අත්අඩංගුවට පත් විය. එසේ සිරගත කොට සිටි අතරතුර පවා සිරකරුවන්ගේ රෝග සහ වේදනා සුවපත් කිරීමට තරම් අධ්‍යාත්මිකව ප්‍රගුණ කල යම් ශක්තියක් ඔහූට හිමිව තිබිණ. ක්ලෝඩියස් විසින් නිකරුනේ බන්ධනාගාරගත කළ ක්‍රිස්තියානි ආගමිකයන්ට පැනයාමටද වැලන්ටයින් සාමිතුමා උපකාරී වී තිබෙන බව අදටත් ගෞරවනීයව මතක් කළ යුතුය.

එසේම බන්ධනාගාරය භාර ජේලර්වරයාට සිටියේ අන්ධ දියණියකි. ඇයගේ දෑස් සුවපත් කොට පෙනීම ලබාදීමට වැලන්ටයින් සාමිවරයා සමත් වුණේය. නමුත් ඔහූට හිමි මරණ දඩුවම අහෝසි නොවූයේ අධිරාජ්‍යයාගේ බලපෑම තදින්ම වූ නිසාය. මරණ දඩුවම ක්‍රියාත්මක වන දිනය ළංවෙත්ම රෝම කිතුණුවන්ගෙන් සාමිතුමාට ලියුම් සහ රතුරෝස ලැබෙන්නට විය. ඒ තුළින් ඔවුන් සාමිවරයාට දක්වන ප්‍රේමය සහ ගෞරවය පෙන්නුම් කලේය. බන්ධනාගාර සෙබළුන් සමඟ තිබූ මිත්‍රත්වය නිසා ඒ සියලු ලිපි සාමිවරයාට ලැබුණි. සියල්ල එසේ සිදුවූ නමුත් අවසානයේ ලෝකයට කඳුළක් එක් කරමින් වර්ෂ 269 පෙබරවාරි 14 දින වැලන්ටයින් සාමිවරයාව මරාදැමිණ. එවකට ඔහූගේ වයස හතළිස් තුනකි.

තවත් රෝම ජනප්‍රවාදයකට අනුව සිරගත කාලය තුළදී සාමිවරයා සහ ජේලර් දියණිය අතර ප්‍රේමයක් හටගත් බවත් සාමිවරයා ඇයට ලියූ ලිපියක් හසුවීම නිසා ජේලර් විසින් පසු දින මරා දැමුණු බවත් සදහන් වේ. එම ලිපියේ ආමන්ත්‍රණය යෙදී තිබුණේ “from your valentine” කියාය. ඒ වදන් පෙල අදටත් අපි අතර නොමැරී ජීවත් වෙන හැටිත් හරි පුදුමයි නේද?

කෙසේ වෙතත් වැලන්ටයින් සාමිවරයා මරාදමා වසර දෙසිය ගානක් යනතුරු ඔහූව දේවත්වයේලා සැලකූයේ නැත. වැලන්ටයින් සාමිගේයැයි විශ්වාස කෙරෙන හිස් කබලක් සොයාගැනීමෙන් අනතුරුව එය රෝමයේ සැන් වැලෙන්ටිනෝ දේවස්ථානයේ තැන්පත් කරන ලදී. පෙබරවාරි 14 වැලන්ටයින් සාමිවරයාගේ අනුස්මරණ දිනය ලෙස නම් කරන ලද්දේ ඉන් අනතුරුවය. තවද ක්ලෝඩියස් ආදීන් විසින් වැපිරූ නරක ආදර්ශයන් කතෝලික පල්ලි විසින් නැති කර ක්‍රිස්තියානි ධර්මය ස්ථාපිත කරන්නට කටයුතු කලේ මේ කාලයේය.

වසන්ත උදාව සංකේතවත් කරමින් එම කාලයේ සෑම වසරකම පෙබරවාරි මාසයේදී “ලුපකාලියා” නමින් මිථ්‍යාදෘෂ්ටික සැණකෙළියක් පැවැත්වූ අතර එහි එක් අංගයක් ලෙස තරුණියන්ගේ නම් ලියූ කුසපත් තරුණයන් විසින් තෝරාගැනීම සිදු කරයි. ඉන් පසු තෝරාගත් තරුණිය සමංග සැණකෙලිය පුරාවටම පෙම්වතුන් සේ හැසිරිය යුතුය. සැණකෙළිය අවසානයේ එම යුවල් අතරින් කිහිපයක් විවාහ විය. පසුකාලීනව කතෝලික සභාව විසින් ක්‍රිස්තියානි උත්සවයක් බවට පත් කිරීමට තීරණය කලේය. ඒ අනුව වර්ෂ 496දී ග්ලාසියුස් පාප් වහන්සේ විසින් ලුපකාලියා උත්සවය අවලංගු කර ඒ වෙනුවට සෑම පෙබරවාරි 14 දාම වැලන්ටයින් දිනය ලෙස නම් කරමින් ආදරය සමරන්නැයි ප්‍රකාශ කලේය.

MedievalEuropeOnline
ඉංග්‍රීසි බසින් ලියැවුණු ලොව ප්‍රථම වැලන්ටයින් සුබපැතුම් පත ( 1477දී) | MedievalEuropeOnline

නූතනයේ අවස්ථා (events) කළමනාකරණයේ ප්‍රසාරණයත් සමඟ වැලන්ටයින් ද වාණිජකරණය වී ඇත. එතුළින් නව ව්‍යාපාරික අවස්ථා බිහි කර ඇත. මේ වන විට ලොව පුරා බොහෝ පුද්ගලයන් මෙම දිනය මහත් ඕනෑකමකින් සමරන බව අප දනී. අදටත් රතුරෝස හා සුබපැතුම් පත් පෙරමුණක් ගෙන ඇත්තේ ඒ නිසාය. මීට අමතරව තම ආදරණීයයන්ට චොකලට් හා විශේෂ ත්‍යාග පිරිනමමින්ද සිය ආදරය ප්‍රකාශ කරති.

මේ නිසාම අද වැනි දවසක යම් තරුණයෙක් තරුණියකට රතුරෝස මලක් පිරිනමන්නේනම් එය ආදරය ප්‍රකාශකිරීමක් ලෙස අර්ථගැන්විය හැක. තවමත් ආදරේ කියාගන්නට නොහැකි වූ ආදරවන්තයින් සිටීනම්, රතුරෝස මලකින් තම සිතැඟි ආදරවන්‍තයා හෝ වන්තියට පවසන්න. කිසිම සැකයක් නෑ. ඒ ආදරේ දැනේවි සත්තයි..

| චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි