×

එදා මෙදාතුර ලෝකයේ ලොකුම කෝටිපතියා – මාලි රාජ්‍යයේ මැන්සා මුසා

ලෝකයේ ලොකුම කෝටිපතියා වන්නේ ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොෆ් බව ෆෝබ්ස් සඟරාවේ 2019 වසරේ කෝටිපතියන්ගේ ලැයිස්තුව පිරික්සා බැලූ විට පෙනේ. ඔහුගේ වත්මන් වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 131 කි. නමුත් මාලි රාජ්‍යයේ එදා විසූ මැන්සා ගැන ඔබ අසා තිබෙනවාද? එදා මෙදාතුර ලෝකයේ ලොකුම ධනවතා බවට පත්ව සිටියේ ඔහු ය. ඔහු සමග ජෙෆ් බෙසොෆ් හට හැරෙන්නටවත් බැරි ය.


An old drawing of Mansa Musa's caravan in the desert
මැන්සා මූසා – Mansa Musa එදා මක්කම බලා ගියේ මිනිසුන් 60,000 ක් සමග කැරවෑනයක ය. වහල්ලු 12,000 ක් ද ඔහු කැටුව ගියේය. GETTY IMAGES

මැන්සා මුසා, 14 වන සියවසේ බටහිර අප්‍රිකාවේ, එනම් වත්මන් මාලි රාජ්‍යයේ විසූ මහා පාලකයා ය. ඔහු සමකාලීන ලෝකයේ පමණක් නොව එදා මෙදාතුර ලෝකයේ ද විසූ ලොකුම ධනවතා විය.

ඔහුගේ ධනවත්කම මේ ලෝකයේ කිසිම අයෙකුට විස්තර කළ නොහැකි තරම් විශාල ය. 2012 වසරේදී ඇමරිකාවේ Celebrity Net Worth වෙබ් අඩවිය වාර්තා කළ අන්දමට ඔහුගේ වත්කම අද තිබුණා නම්, එය ඇමරිකානු ඩොලර් බිලියන 400 ඉක්මවනු ඇත. මේ අතර බොහෝ දෙනා කියන්නේ එය වචනයෙන් විස්තර කළ නොහැකි ධනවත් කමක් බවයි. ලෝකයේ දැනට සිටිනා ලොකුම ධනවතා වන ජෙෆ් බෙසොෆ් මෙන් තුන් ගුණයක් පමණ ඔහු පොහොසත් බව දළ වශයෙන් අපට කිව හැක.

පහත දැක්වෙන්නේ ඉතිහාසඥයන් විස්තර කරන අන්දමට එදා මෙදාතුර ලෝකයේ බිහි වූ ලොකුම ධනවතුන් 10 දෙනා ය.

Presentational grey line

The 10 richest men of all time – ලෝකයේ එදාමෙදාතුර ලොකුම පොහොසත්තු

  • මැන්සා මුසා  (1280-1337, මාලි අධිරාජ්‍යයා) අසමසම ධනයක හිමිකරු විය.
  • ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයා (63 BC-14 AD, රෝම අධිරාජ්‍යය) $4.6tn (£3.5tn)
  • සාහෝ සූ (1048-1085, චීනයේ ෂෙන්ඩොන් අදිරජ) ගණනය කළ නොහැකි ධනයක් ඔහුට විය.
  • ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ පළමු අක්බාර් රජු (1542-1605)
  • ඇන්ඩෘෘ කානගී  (1835-1919, ස්කොට් – ඇමරිකානු කාර්මික විශේෂඥයෙකි) $372bn
  • ජෝන් ඩී. රොකෆෙලර් (1839-1937) ඇමරිකානු ව්‍යාපාරික) $341bn
  • නිකොලායි ඇලෙක්සැන්ඩ්‍රවිච් රොමනොව් – අවසන් සාර් අධිරාජ්‍යයා (1868-1918, ) $300bn
  • මීර් ඔස්මාන් අලි ඛාන් ( 1886-1967, ඉන්දියානු රජෙකි. ) $230bn
  • ආක්‍රමණික විලියම් (1028-1087) $229.5bn
  • ලිබියානු පාලක මුවමර් ගඩාෆි (1942-2011, long-time ruler of Libya) $200bn

Source: Money.com, Celebrity Net Worth

මැන්සා මුසා හෙවත් ‘රුවන් අදිරජ‘

මැන්සා මුසා උපන්නේ 1280 වර්ෂයේ මාලි අධිරාජ්‍යෙය් රජ පවුලක ය. ඔහුගේ සහෝදර මැන්සා අබු බකර් මාලි අධිරාජ්‍යය 1312 වසර දක්වා පාලනය කළේය. අවසානයේ ඔහු රටෙන් පළා ගියේය.

14 වන සියවසේ සිරියානු ඉතිහාසඥ ෂබාබ් අල්-උමාරි ට අනුව මෙම අබු බකර් මැන්සා සහෝදරයා අත්ලාන්තික් සයුරේ සැඟවුණු නිධාන ගැන වහ වැටී සිටි අයෙකි. ඔහු නෞකා 2000 ක බලඇණියක් සහ මහා මිනිස් පිරිසක් සමග රට රටවල් ගවේෂණය සඳහා පිටත්ව ගිය බවත් නැවත නොආ බවත් ඉතිහාසයේ සඳහන් ය. ඇතැම් ඉතිහාසඥයන් ඔහු දකුණු ඇමරිකාව සොයාගත් බව කියතත්, ඒ බව තහවුරු කිරීමට සාක්ෂි නැත.

කෙසේ හෝ අවසානයේ මාලි අධිරාජ්‍යය හිමිවූයේ මැන්සා මුසා හට ය. ඔහුගේපාලනය යටතේ මාලි අධිරාජ්‍යය බෙහෙවින් ප්‍රසාරණය විය. ඔහු තිම්බක්තු ඇතුළු මහා නගර 24 ක් අධිරාජ්‍යයට ඈඳා ගත්තේය.

එදා මාලි අධිරාජ්‍යය සැතපුම් 2000 ක් දුරට විහිදුණේය. අත්ලන්තික් සාගරයේ පටන් නූතන නයිජර් රාජ්‍යය දක්වාම එහ විහිදී පැතිරී තිබුණේය. අද වන විට සෙනගාල්, මොරිටානියා, මාලි, බුර්කිනා ෆාසෝ, නයිජර්, ගැම්බියාව, ගිනි බිසව්, ගිනියාව සහ අයිවරි කෝස්ට් යනුවෙන් හඳුන්වන බටහිර අප්‍රිකානු රටවල් සියල්ලම එදා මැන්සා මුසාගේ මාලි අධිරාජ්‍යයේ කොටස් බවට පත්ව තිබුණේය.

Map of Mali empire

එම අධිරාජ්‍යය සශ්‍රීක වූයේ භූමි භාගය අතින් පමණක් නොවේ. රත්රන් සහ ලුණු වැනි ස්වභාවික සම්පත් ගණනාවකින් එය ආඩ්‍ය වී පැවතිණි.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සටහන්වලට අනුව පැරණි ලෝකයේ රත්තරන්වලින් හරි අඩක්ම තිබුණේ මාලි අධිරාජ්‍යයේ ය.

රටේ පැවති අණසක පරිදි, ඒ සියලුම සම්පත්වල හිමිකරු රජු ම විය.

රාජ නීතිය වූයේ එයයි.

මැන්සා මුසා මක්කමට ගිය හැටි

මැන්සා මුසා අධිරාජ්‍යයාගේ මක්කම ගමන ඉතිහාසයේ අති ප්‍රචලිත ය.

ඒ කාලයේ ඔහුගේ අධිරාජ්‍යය කොතරම් විශාල වුණත්, පිටස්තර ලෝකය මේ ගැන දැනගෙන සිටියේ ඉතා අඩුවෙනි. ලෝකයාට සිය අධිරාජ්‍යය ගැන කියා දෙන්නට හිතාගෙන මැන්සා මුසා, මහා පරිමාණ වන්දනා ගමනක් ගියේය. දැඩි මුස්ලිම් බැතිමතෙකු වූ ඔහු, ඒ සඳහා තෝරාගත්තේ මක්කමයි.

ඒ ගමනේදී මැන්සා මුසා, සහරා කාන්තාරය සහ ඊජිප්තුව පසු කළ යුතු විය.

Catalan atlas map
මුසාගේ මක්කම ගමන 1375 වසරේ අඳින ලද සිතියමක සටහන්ව ඇති ආකාරය. GETTY IMAGES

මැන්සා මුසා රජු මක්කම බලා පිටත් වුණේ පුරුෂයන් හැටදහසක් සමග කැරවෑනයක ය.

ඒ හැටදහසට අයත් වූ අය මෙසේ ය. සම්පූර්ණ රාජ සභාව, එහි නිලධාරීන්, සොල්දාදුවන්, විනෝදය සපයන්නන්, වෙළෙන්දන්, ඔටුවන් පදින්නන් සමග දොළොස් දහසක් වහලුන් මේ සමග පිටත් වූහ. ඒ අතරම අතරමගදී ආහාර පිණිස විශාල එළුවන් සහ බැටළුවන් පෙළක් ද ගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් ය.

වහලුන් පවා ඒ ගමනේදී ඇඳ සිටියේ හොඳම රත්තරන් සළු පිළි සහ ඉස්තරම්ම පර්සියානු සේද ය. එක පෙළකට ඔටුවන් සිය දෙනා බැගින් ගමන් කළ අතර, ඒ එක් එක් ඔටුවෙකු පිට සංශුද්ධ රත්තරන් රාත්තල් 100 බැගින් විය.

ඒ පෙරහැර ඈතට දිස්වන්නට ඇත්තේ, කාන්තාරය මැදින් නගරයක් ඇවිද යනවා වාගේ ය.

ඊජිප්තුවේ කයිරෝ නුවරදී මැන්සා මුසාට ලැබුණේ අතිමහත් පිළිගැනීමකි. මේ අප්‍රිකානු අදිරජගේ රත්තරන් වන්දනා ගමන නිසා මැදපරෙදිග රත්තරන් මිල බලා සිටියදී පහළ බැස්සේය! මක්කම බලා ගොස් ආපසු එන ගමනේදී ද ඔහු ආවේ කයිරෝ නුවර හරහා ය. එහිදී තමන් නිසා ආර්ථිකයට සිදුවී තිබෙන දෙය දැක මැන්සා මුසා, තමන් ලබාදුන් රත්තරන් ආපසු මිලදී ගත් බව ද ඉතිහාසයේ සඳහන් ය. එසේම මේ රතත්රන් බෙදාදීම ගැන ඔහුගේ සේනාවේ සිටි ගී කියන්නන් ඇතුළු විනෝදය සපයන්නන් උරණ වූ බවත්, ඔවුන් ආපසු එන ගමනේදී අදිරජ පිනවීම සඳහා ගීත ගායනා කිරීම ප්‍රතික්ෂේප කළ බවටත් සාක්ෂි තිබේ.

ලෝක සිතියමේ නම රඳවයි.

මහා රත්තරන් සම්භාරයක් මේ ගමනේදී මැන්සා මුසා නාස්ති කර තිබුණත්, එයින් විපුල ඵලයක් ද ලැබුණේය. ලෝකයෙන් භාගයක් මේ බටහිර අප්‍රිකානු අධිරාජ්‍යය ගැන කතා කරන්නට පටන් ගත්තේ මේ ගමනෙන් පසු ය. උදාහරණක් වශයෙන් ඉහත දැක්වෙන, 1375 වසරේදී අඳින ලද කැටලන් ඇට්ලස් සිතියමේ පවා මැන්සා මුසා ව දක්වන්නේ අතේ රත්තරන් කැටයක් තබාගෙන සිටින්නා ලෙස ය.

තිම්බක්තු නගරය වෙත ලොව පුරා ජනී ජනයා ඇදී එන්නට පටන් ගත්තේ මේ මක්කම ගමනෙන් පසුව ය. යුරෝපයේ සිටින වාසනාව සොයායන්නන් හට ද මේ ගමනෙන් පසු මාලි අධිරාජ්‍යය ගැන පළමු වරට අසන්නට ලැබුණේ ය. ඔවුහු ද වැළ නොකැඩී එහි එන්නට පටන් ගත්හ.

Djinguereber Mosque
මේ සුප්‍රසිද්ධ Djinguereber පල්ලිය ඉදිකරනු ලැබුවේ ද මැන්සා මුසා අදිරජගේ අන පරිදි 1327 වසරේදී ය. GETTY IMAGES

අධ්‍යාපනයට අංක 1

මැන්සා මුසා මක්කමෙන් ආවේ ඉස්ලාමීය උගතුන් ගණනාවක් ද කැටුව ය. ශුද්ධ වූ මහම්මද් තුමාගේ පරපුරෙන් පැවතගෙන එන්නන් ද ඒ අතර වූ බව කියැවේ. අබු එස් හක් එස් සහහේලි නමැති ප්‍රකට කවියා සහ ගෘහ නිර්මාණ ශිල්පියා ද ඒ අතර විය. සුප්‍රසිද්ධ ඩින්ගුරෙබර් මැටි පල්ලිය තැනෙන්නේ ඔහුගේ අදහසකට අනුව ය. අද ද එය මාලි රාජ්‍යයේ අනන්‍ය සලකුණක් වශයෙන් සැලකේ.

මේ සහහේලි කවියාට මැන්සා මුසා රජු රත්තරන් කිලෝ 200 කින් වැටුප් ගෙවූ බව ඉතිහාසයේ සඳහන් ය. එය අද කාලයේ නම් ඇමරිකානු ඩොලර් මිලියන 8කට අධික මුදලකි.

කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය රට තුළ ප්‍රවර්ධනය කිරීමට අමතරව ඔහු සාහිත්‍යය සඳහා ද, පාසල් ඉදිකිරීම සඳහා ද පල්ලි ඉදිකිරීම සඳහා ද නොමසුරුව ධනය යෙදෙව්වේය. තිම්බක්තු/ ටිම්බක්ටු නගරය ඉක්මනින්ම අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. ලොව පුරා දස දෙසින් එහි අධ්‍යාපනය සඳහා පිරිස් ඇදී ආහ.

බටහිර අප්‍රිකාවට අධ්‍යාපනය නමැති සංකල්පය හඳුන්වා දුන් රජු ලෙස සැලකෙන්නේ මේ මැන්සා මුසා නමැති අධිරාජ්‍යයාය.

1377 වසරේදී මැන්සා මුසා අධිරාජ්‍යයා වයස අවුරුදු 57 දී මිය ගියේය. අධිරාජ්‍යය ඔහුගේ පුතුන් අතට පත්විය. ඔවුහු එය ඒකකයක් ලෙස පාලනය කිරීමට අසමත් වූහ. අධිරාජ්‍යය කැබලිවලට කැඩී ගියේය.

ඉන්පසුව යුරෝපියානුවෝ මාලි අධිරාජ්‍යය ආක්‍රමණය කළහ. මැන්සා මුසාගේ අධිරාජ්‍යෙය් මළගම එසේ ලියැවිණි.

BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි