×

මළත් ඇවිදින සොම්බීවරු

අමෙරිකානු සහන සේවකයෙක් උගන්ඩා දරුවෙකුව සොම්බි (Zombie) තත්ත්වයට පත් කළේ ය යැයි පුවතක් මෙයට මද කලකට පෙර වාර්තා විය.


මේ සමඟම වූඩු ආගම (Voodoo) අප්‍රිකාවේ කොතරම් මුල් බැසගෙන තිබේද යන්න පිළිබඳ විවිධ මතවාද පළ විය. මේ එම වූඩු-සොම්බි අභිරහස පිළිබඳ සොයා යෑමකි.

දීප්තිමත් හිරුගෙන් ආලේකමත් වූ මෙලොවට ඔවුන් අයිති නැත. ඔවුන් පැමිණෙන්නේ තමන්ව මරා දැමූ අයගෙන් ලෙයින් පළිගැනීම සඳහා ය. නොඑසේ නම් ඒ ආත්මයේ තමන්ට අවසන් කිරීමට නොහැකි වූ කාර්යයක් නිම කිරීම සඳහා ය.

ඒ ඇස් තුළ ජීවයක් නැත. ජීවයක් තිබෙන්නේ කෙසේද? සොහොන් ගැබ්වලින් අවදිවූ නමුත් ඔවුන් මළවුන්ය. ඇවිදින මරණය හෙවත් ‘සොම්බි’ යන යෙදුම ඔවුන්ට භාවිත වේ.

සොම්බි කෙනෙක් මුහුණට මුහුණ මුණගැසුණහොත් එය කෙබඳු අත්දැකීමක් ද? එය බිහිසුණු ඇඟ ලොමුදැහැ ගැන්වෙන අත්දැකීමකි. වරක හයිටි පුරවැසියෙක් එය මෙසේ විස්තර කළේය. මම ඒක නැවතත් මතක් කරන්න කැමති නෑ.

ඔහුගෙ ඇස් මැරුණු කෙනෙකුගේ වගෙයි. අන්ධ නැතිවුණත් අන්ධයෙකුගෙ ඇස් දෙකක් වගෙයි. කිසිම දීප්තියක් නැහැ. මුහුණෙත් කිසිම හැඟීමක් පළවෙන්නෙත් නැහැ. ‘එය සත්‍යයකි. තවත් නම් මෙහෙමවත් ජීවත්වෙන්න බැහැ යැයි එම ඇස්වල ලියැවී තිබේ.

‘සොම්බි’ යන වචනය සමඟ ‘වූඩු’ යන යෙදුමද නිතර භාවිත වේ. සැබවින් ම වූඩු යනු ආගමකි. තවද එය මැජික් ක්‍රමයක් ද වේ. වූඩු ආගමේ තිඹිරිගෙය හයිටි රාජ්‍යයයි. හයිටි ජාතිකයන් වූඩු ආගම ප්‍රගුණ කරන්නේ සොම්බීවරුන් මිහිදන් කර තිබෙන සොහොන් බිම්වලදීය.

වූඩු ආගමේ මන්ත්‍රකරුවෝ යම් අයෙක් මිය ගොස් එක්තරා කාල සීමාවකදී ඔවුන්ව නැවත ජීවිතය කරා කැඳවීම සිදුකරති. මෙය ආත්මය, එම ශරීරය තුළට ම රිංගවා මෙලොවට කැඳවීමකි. මේ සඳහා හයිටිවරුන්ටම ආවේණික යන්ත්‍ර මන්ත්‍ර හා පක්ෂි බිලි පූජා ද ක්‍රියාත්මක කෙරේ.

විසිවැනි සියවසේ මුල්භාගය තරම් සොම්බ්වරු නිසා ලෝකය කැලඹූ යුගයක් නොමැති තරම් ය. හයිටි දේශය පවා මේ ඇවිදින මරණය නිසා සලිත වී ගියේ ය. වූඩු මැජික්කරුවන් විසින් මෙලොවට කැඳවනු ලැබූ මියගිය පුද්ගලයන්, ඒ මැජික්කරුවන්ගේ යම් කිසි ප්‍රමාද දෝෂයක් නිසා හෝ වෙනයම් අබිරහස් හේතුවක් නිසා ගම්මානවල සැරිසරන්නට පටන් ගැනීම එයට හේතුවයි.

තමන්ගේ ප්‍රියයන් සොම්බිවරුන් බවට පත්වී ගම්මාන පුරා ඇවිදයාම එක් අතකින් ඔවුන්ට දරාගත නොහැකි අත්දැකීමක් ද වූවාට සැක නැත. ඒනිසා තම සමීපතමයෙක් මියගිය විට ඔහුව මිහිදන් කළ ස්ථානය අසල දින ගණන් රැක සිටීමට ඥාතීහු වග බලා ගත්හ. මළ සිරුරේ සම්පූර්ණයෙන් ම මස් දිය වී යන තෙක් ම එසේ කෙරිණි. තවත් ක්‍රමයක් වූයේ මියගිය අයගේ හිසට වෙඩි තබා ඔවුන් වළෙන් නොනැඟිටින ලෙස තවත් වරක් මරා දැමීමයි.

සොම්බිවරු පිළිබඳ හොඳම අත්දැකීම හා උදාහරණය ලැබී තිබෙනුයේ ද 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයෙනි. එකල හයිටියේ අමෙරිකානු උක් සීනි සමාගමක් වූ ‘හැස්කෝ’ වාර්තාගත ලාබයක් ලබමින් සිටි කාලයයි. ආයතනය ලබන ලාබය වැඩිකර ගැනීම සඳහා අලුතෙන් ම කම්කරුවන් නව දෙනෙක් බඳවාගැනීමට එහි කළමනාකාරිත්වය තීරණය කළේ ය. ඔවුන්ව මෙහෙයවීම ටයි ජෝසප් නමැති මුලාදෑනියා හට ද ඔහුගේ බිරියට ද නියම වී තිබිණි.

Invisible Mirrors/Miwa Yo Envizib
හැස්කෝ සිදුවීමට අදාළ සොම්බී ඡායාරූපයක්| Invisible Mirrors/Miwa Yo Envizib

මේ කම්කරුවන් නව දෙනාගේ මුහුණුවල රැඳී තිබුණේ සුවිශේෂී පෙනුමකි. ඒ මුහුණු මැළවී විකෘති වී තිබිණි. ඔවුන් හැඳ සිටියේ ද වැරහැලි ඇඳුම්ය. මුහුණුවල තිබූ හාමත් පෙනුම, දුප්පත්කම නිසාම ලැබුණකැයි ටයි ජෝසප් සිතුවේ ය.

ඔවුන් පැමිණ සිටියේ හයිටි දේශසීමාව අසල ඉතාම නොදියුණු ගම්මානයකිනි. එවකට හයිටි යටත් විජිතයේ නිල භාෂාව වූ ප්‍රංශ බස තබා දේශීය හයිටි භාෂාව ද කතා කරගත නොහැකිව ඔවුන් පසුවූයේ ලැජ්ජාවෙනි. එහෙත් ඔවුන්ට බර වැඩවල යෙදීමට විශේෂ හැකියාවක් තිබෙන බව ද කළමනාකාරවරයා ටයි ජෝසප් හට දැනුම් දුන්නේ ය.

ඒ අනුව ඔවුන්ට තෝරාදුන්නේ උක්යායේ අසීරුම වැඩ කොටසක් තිබූ ප්‍රදේශයකි. ඔවුන්ට වැටුප නියමිත කාර්යය අවසානයේ ජෝසප් අතට දීමට නියමිත වූ අතර එය ඔහු ඔවුන් අතර බෙදා දෙනු ඇත.

ප්‍රථම දිනය නිමාවිය. ඔවුන් කර තිබූ වැඩතොගය දැක ජෝසප් මෙන් ම සමාගමේ කළමනාකාරවරයා ද විස්මයෙන් ගල් ගැසුණහ. මිනිසුන් සිය දෙනෙකුටවත් එක් දිනකදී කපා නිමකළ නොහැකි තරම් විශාල ප්‍රදේශයක උක්යායක් ඔවුන් විසින් කපා තිබිණි. දිවා ආහාරය ගැනීමට පවා ඔවුන් නතර වූයේ නැත. විවේක ගත්තේ ද නැත. සවස් කාලයේ දී මිලට් පොරිවලින් සැදූ කැඳ පමණක් ආහාරයට ගත්හ.

පසුදින ද මේ වැඩකිරීමේ කාර්යක්ෂමතාවයේ වෙනසක් දක්නට ලැබුණේ නැත. ගිනිගහන මද්දහනේ නිරාහාරව සිටිමින් ඔවුහු වෙහෙස වී වැඩකළහ. එදින සවස, මේ වැඩකිරීම ගැන අතිශය සතුටට පත්ව සිටි සමාගමේ කළමනාකාරවරයා මෙම කම්කරුවන් නවදෙනාට සෙසු අයට වඩා විශේෂ සැලකිල්ලක් දැක්වීමට තීරණය කළේ ය.

ඔහු අසල්වැසි ගමක උත්සවයක් නැරඹීමට ඔවුන්ව කැඳවාගෙන ගියේ ය. එහෙත් උත්සවය, රසවිඳින බවක් නම් ඔවුන්ගෙන් දිස්වුණේ් නැත. ඔවුන් කුසගින්නේ සිටින්නේ යැයි සැකකළ කළමනාකාරවරයා දුඹුරු විස්කෝතු පැකට්ටුවක් ඔවුන්ට ගෙනැවිත් දුන්නේ ය. එවිට සිදුවුණේ පුදුමාකාර දෙයකි.

ඔවුහු ඒ විස්කෝතු විකීමට උත්සාහ කර ඉන්පසු මහ හඬින් වැළපීමට පටන්ගත්තේ ය. ඉන්පසු විදුලි වේගයෙන් හැරී දිව යාමට පටන්ගත්හ. ඔවුන් දිව ගියේ සීනි කම්හල වෙත ද නොවේ. තමන් පැමිණ තිබූ ගම්මානය වෙතටය.

ඒ නව දෙනාගේ කණ්ඩායම ගම්මානයට සම්ප්‍රාප්තිවන විට ගම්මු භීතියෙන් ඇළලී ගියහ. ඔවුන් දුටුවේ තමන් මීට දින කිහිපයකට පෙර මියගොස් භූමදාන කර තිබූ නව දෙනෙක් නැවත තමන් ඉදිරිපිටට පැමිණ තිබෙන බවයි.

එම භීතිය ඉවසාගැනීමට සොම්බිවරුන් සුදානමින් සිටයේ නැත. ඔවුහු නැවතවරක් පළායාම ඇරඹූහ. මෙවර ඒ ගමන නතර වූයේ ගම්මානයේ සොහොන් පිට්ටනියෙනි. කඩිනමින් ඒ වෙත දිවගිය ඔවුහු තම තමන්ගේ මිනිය වළදමා තිබූ ගොඩැල්ල තෝරාගෙන එම හිස්වූ වළවල් තුළට පැන නිසල වූහ.

වූඩු සහ සොම්බිවරුන් මිත්‍යාවක් ද? බටහිර ලෝකය නොකඩවා ඒ පිළිබඳ ප්‍රශ්න කරයි. හාවඩ් විශ්වවිද්‍යාලයේ ගුප්ත විද්‍යාවන් පිළිබඳ පර්යේෂකයෙකු වූ ආචාර්ය ඊ ඩේවිස් හයිටි දේශයේ නැවතී සිට මේ පිළිබඳ පර්යේෂණ කළේ ය. පසුව ඔහු ප්‍රකාශ කළේ වූඩු මිත්‍යාවක් නොවන බවයි. ඇවිදින මළ සිරුරු හයිටියේ ගම්බද ප්‍රදේශ කිහිපයක සැරිසරා තිබෙන බව ද ඔහු පසුව ප්‍රකාශ කළේය.

ඔහු ඒ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ද ඉදිරිපත් කළේ ය. එයට අනුව සොම්බිවරුන් ප්‍රථමවරට මියගොස් තිබුණේ බොහෝවිට බියුගෝ මැරිනස් නමැති ගෙම්බාගේ සමෙහි විෂ ශරීරගතවීම නිසා හෝ පෆර් ෆිෂ් (puffer fish) නමැති මත්ෂ්‍යයාගේ විෂ ශරීරගතවීම නිසා ය.

මෙහි දී ඔවුන් සත්‍ය ලෙසම මරණයට පත්නොවන බවත් එය සායනික නිද්‍රාවක් පමණක් බවටත් ආචාර්ය ඩේවිස් මතයක් ඉදිරිපත් කළේය. ඉන්පසු වූඩු මැජික්කරුවන් කරන්නේ එම විෂ වර්ගය පහ වී යන රහස් ද්‍රව්‍යයක් මළ සිරුරුවලට එන්නත් කිරීම බව ද ඔහු කීවේ ය. එම රහස් ද්‍රව්‍යය නිසා මිනීවළෙන් දින කිහිපයක් සඳහා පමණක් අවදිවීමට ඔවුන්ට හැකියාව ලැබේ.

එහෙත් නොවිසඳුණු ප්‍රශ්න රාශියකි. සොම්බි තත්ත්වයට පත් වූ අයට අධිමානුෂික කායශක්තියක් ලැබෙන්නේ කෙසේද? තමන් පැමිණිගම, තමන්ට සොම්බි මිනීවල ඔවුන් දැනගත්තේ කෙසේද? මේ සියලු සැකසංකා මධ්‍යයේ සොම්බි සහ වූඩු ආගම නයිජීරියාව, උගන්ඩාව, හයිටි දේශය ආදී බොහෝ අප්‍රිකානු රටවල අදටද ජීවමානය.

පහත දැක්වෙන්නේ සොම්බී පිළිබඳ තවත් ඔබ නොදන්නා කරුණුවල කෙටි සටහනකි.


‘සොම්බී’ හෙවත් ‘ජීවමාන මරණය’ යන්න මුලින් ම 1960-70 දශකවල ලෝක ප්‍රසිද්ධ වූයේ හයිටියේ වූඩූ ආගමේ යකැදුරන් විසින් උක්වතුවල බර වැඩ සඳහා මරණයෙන් අවදි කරවා ගෙන්වා ගනු ලබන මළගිය ආත්ම වශයෙනි. කෙසේ නමුත් මෑත කාලයේ සොම්බීවරුන් සංස්කෘතික අංගයක් ලෙස ලොව ප්‍රකට වී තිබේ. මළවුන්ගේ පෙරහර වශයෙන් ද බොහෝ යුරෝපා හා අමෙරිකානු රටවල සොම්බී පෙරහැර පැවැත්වේ. කෙසේ නමුත් පහත සඳහන් වන්නේ ඒවා ට පරිබාහිර සොම්බී සිද්ධි කිහිපයක් පිළිබඳ කෙටි විස්තරයකි.

Business - CNN.com
සොම්බී ගන්| Business – CNN.com

රුසියානු නායක ව්ලැද්මීර් පුටින් 2012 වසරේ දී පැවසුවේ රුසියාව විසින් මිනිස් මොළයට බලපෑම් කළ හැකි ක්ෂුද්‍ර තරංග නිකුත් කරන ගිනිඅවියක් පිළිබඳ පර්යේෂණ පවත්වන බවයි. ඒ ගිනි අවිය ඔහු හැඳීන්වූයේ ‘සොම්බී ගන්’ ලෙසිනි. මොළය හා සුෂුම්නාව කෙළින් ම අඩපණ කිරීමේ හැකියාව එයට විය.

TribLIVE
NIGHT OF THE LIVING DEAD, 1968.

චිත්‍රපට අධ්‍යක්ෂක ලූසියෝ ෆුල්සි වරක් සිය චිත්‍රපටයේ සොම්බීලා ලෙස බේබදු පුද්ගලයන් කණ්ඩායමක් යොදවා ගත්තේ ය. ඒ සඳහා ඔහු ඔවුන්ට බාල මත්පැන් පෙව්වේ ය. මේ අතර තවත් ප්‍රකට සොම්බී චිත්‍රපටයක් වූ ‘‘නයිට් ඔෆ් ද ලිවින් ඩෙඩ්’ චිත්‍රපටයේ දී සොම්බීලා ලෙස රගපෑ පුද්ගලයෝ එම දසුන්වලට තාත්විකත්වය ලබාදීම පිණීස සතුන්ගේ අතුණු බහන් කෑමට ගත්හ.

හයිටි රාජ්‍යයේ හමුදා පාලක ෆ්රැන්කොයිස් ඩුවලියර් විසින් පතුරුවා හැරි දූෂමාන ආරංචියක් වූයේ ඔහුගේ හමුදාව, මනා පුහුණුවක් ලද මළකඳන් හෙවත් මළවුන් හමුදාවක් බව ය. ඔවුන් මිනිසුන් ව පණ පිටින් පිළිස්සූ බව ප්‍රකට ය.

2005 වසරේ දී රුසියානු විද්‍යාඥයන් පිරිසක් පැය තුනකට පෙර මියගිය සුනඛයන්ට නැවත පණ ඉපදවීමට සමත් වූ බව කියැවිණි. උන් ව හැඳීන්වූයේ ‘සොම්බී සුනඛයන්’ ලෙසිනි.

හිස ගසා දැමීමෙන් පසු මාස 18ක් තිස්සේ ජීවත් වූ කුකුළෙක් පිළිබඳ වරක් ඊශ්‍රායලෙයන් වාර්තා විය. කුකුළා මිය නො ගිය බව දුටු උගේ හිමිකරුවා ඉතිරි මුළු කාලය ම උගුරට දැමූ බටයක් මඟින් ඌට කෑම බීම ලබාදුන්නේ ය.

සොම්බීලා අදහන අයගේ විශ්වාසය වන්නේ ලෝකයේ සෑම ජීවත්වන පන්දහසක් දෙනාට එක් අයෙක් බැගින් සොම්බීලා වෙසෙන බව ය.

2012 වසරේ දී ප්‍රකාශයට පත්වූ එක් පර්යේෂණයකින් සාකච්ඡා වූයේ වසංගත රෝගයක් ඇතිවීමෙන් පසු මිනිසුන් සොම්බීලා බවට පත්වන්නට කොපමණ කාලයක් ගතවේ ද යන්නයි. මේ අනුව ලක්ෂ 5 ක ජනතාවක් වසන නගරයක් දින 3ක් තිස්සේ වසංගතයකට ගොදුරු ව පැවතියහොත් දින 3ක් තුළ මළවුන්ගේ ප්‍රමාණය ජීවත්වූවන්ගේ ප්‍රමාණය ඉක්මවා යනු ඇත.

මළ මිනිසුන්ගේ සෛල ආශ්‍රයෙන් ‘සොම්බී සෛල’ සාදාගැනීමේ උත්සාහයක් 2013 වසරේ දී ලෝකයේ සිදුවි ය. එහිදී හෙළි වූ තවත් කරුණක් වූයේ සිලිකා සෛල ආවරණයක් යෙදීම මඟින් සාමාන්‍ය මිනිස් සෛල මරණයට පත්වන පීඩනයේ දී එම සෛල තවදුරටත් ජීවත් වන බවයි.

1980 දී හයිටිය භීතියෙන් ඇලළී ගියේ ක්ලෙයාවියස් නාසිස් නමැත්තා මළවුන්ගෙන් නැගිට පැමිණීම නිසා ය. ඔහු එයට වසර 18 කට පෙර මිය ගිය අයෙකි.

ප්‍රධාන ඡායාරූපය – Forbes



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි