×

The X Files කතාමාලවට වසර 27යි!

තරුණ හා වැඩිහිටියන් අතර එක හා සමානව ජනාදරයට පාත්‍ර වූ The X Files නම් රූපවාහිනී කතා මාලාවේ මංගල එපිසෝඩය තිරගත වී අදට වසර 27ක් සපිරේ.


තරුණ හා වැඩිහිටියන් අතර එක හා සමානව ජනාදරයට පාත්‍ර වූ The X Files නම් රූපවාහිනී කතා මාලාවේ මංගල එපිසෝඩය තිරගත වී අදට වසර 27ක් සපිරේ.

1993 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින ඇමරිකාවේ ක්වන්ටිකෝවේ Federal Bureau of Investigation ඇකඩමියෙන් පුහුණුව ලබා වොෂිංටනයේ Federal Bureau of Investigation (FBI) ප්‍රධාන කාර්යාලයේ සේවයට පැමිණෙන වෛද්‍ය උපාධියක් අතැති ඩේනා කැතරින් ස්කලී නම් තරුණ යුවතිය එම ආයතනයේ ප්‍රධානීන් විසින් අනුයුක්ත කරන්නේ විශේෂ පරීක්ෂක ෆොක්ස් මෝල්ඩර් වෙතයි.

බැලූ බැල්මට මෝල්ඩර් ගේ පරීක්ෂණ සඳහා සහාය පරීක්ෂිකාවක් මෙන්ම, ඔහු ගේ විමර්ශන කටයුතු තුළ විද්‍යාත්මක පසුබිම සකස් කොට ක්ෂේත්‍ර වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ස්කලී අනුයුක්ත කළ බවක් පෙනුනද, ස්කලී මෝල්ඩර් වෙත යොමුකිරීම හරහා FBI ආයතනයේ සැබෑ අරමුණ වන්නේ මෝල්ඩර් ගේ ක්‍රියාකලාපය ඇමරිකානු රජයේ රහසිගත මෙහෙයුම් වලට සිදුකරන බාධාව මැඩපැවැත්වීමටයි.

මෝල්ඩර් FBI ආයතනයේ අතිදක්ෂ පරීක්ෂකයකු වූවද, ඔහුගේ අවංකභාවය හා කැපවීම හරහා ඇමරිකානු රජයේ දූෂිත හා අමානුශික සැලසුම් හෙලිදරව් කිරීමේ අවදානම මැඩපවත්වා ප්‍රොටොකෝලය තුළ ඔහු රඳවා තැබීම FBI ආයතනයේ අරමුණයි. වෛද්‍යවරියක වූ ස්කලී මෙනවිය මෝල්ඩර් වෙත යොමුකිරීමේ රජයේ සැබෑ අභිලාෂය එයයි.

කුමක්ද ඇමරිකානු රජයේ මේ දූෂිත හා අමානුශික සැලැස්ම?

එනම්, පිටසක්වල ජීවීන් පෘථිවිය සමඟ සිදුකරන ගනුදෙනු හා රහසිගතව සම්බන්ධ වීමත්, 2012 දෙසැම්බර් 21 (ලෝක විනාශය සිදුවන්නේ යැයි මායන්වරුන් විසින් අනතුරු ඇඟවූ දිනය) දින පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමත් ය.

පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම හා ආගමනය පිළිබඳ හොලිවුඩයේ විවිධ කතාන්දර බිහිවී තිබුණද, රූපවාහිනී ටෙලිනාට්‍ය කලාව මෙන්ම සිනමාද පෙර නොවූ විරූ අතකට යොමුකරන ලද්දේ The X Files කතා මාලාව විසිනි. 1993 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින ආරම්භ වූ The X Files කතා මාලාව පරිච්ඡේද 9 ක් හා එපිසෝඩ 202 ලෙස 2002 මැයි 19 වන දින අවසාන වන අතර, 2016 ජනවාරි 24 වන දින එපිසෝඩ 6 ක දසවන පරිච්ඡේදයක් දිග හැරෙන්නේ දශකයකට අධික නිහැඬියාවකින් අනතුරුවයි.

The X Files හි 11 වන පරිච්ඡේදය එපිසෝඩ 10 ක වෙළුමක් ලෙස 2018 ජනවාරි 03 වන දින එළි දැක්වුණු අතර, මෙම 27 වසර පුරා චිත්‍රපට දෙකක් ද එළි දැක්වීමට කටයුතු කරන ලදී.

පිටසක්වල ජීවීන් ලොව ආක්‍රමණය කරන්නේ යැයි ද, 1945 පටන් ඔවුන් සමඟ ඇමරිකානු රජය ගනුදෙනු කරන්නේ යැයි ද ගෙතී ඇති කටකතා ඇසුරින් ද, ඇමරිකාවේ විවිධ අවස්ථාවන් හීදී පිටසක්වල යානා ගුවනේ දිස්වූයේ යැයි හා විවිධ පුද්ගලයින් පිටසක්වල පරීක්ෂා සඳහා පැහැරගෙන ගියේ යැයි පවතින කටකතා ඇසුරින් නිමවූ The X Files කතා මාලාව පරම්පරා දෙකක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වන ලදී.

මීට 27 වසරකට පෙර ඩේනා ස්කලී නම් තරුණ වෛද්‍යවරිය ෆොක්ස් මෝල්ඩර් නම් FBI පරීක්ෂකවරයා වෙත යොමු කිරීමේ සිට මෝල්ඩර් හා ස්කලී අතර ගොඩනැඟෙන මිත්‍රතත්වය හා රසායනය හොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය සංකේතයකි.

පැහැදිලිකළ නොහැකි සංසිද්ධි (Unexplained phenomena) සහ අත්භූත සිදුවීම් (paranormal activity) ගවේෂණය කිරීම මෝල්ඩර් සතු කාර්යභාරය වන අතර, ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පසුබිම සකස් කිරීම ස්කලී ගේ කාර්යභාරයයි. ඒ ඇසුරින් නිර්මාණය වන ගැටළුවට විසඳුම් නොමැති වූ වාර්තා X කාණ්ඩයේ තැන්පත් කරන බැවින් එවන් වාර්තා X Files ලෙස සටහන් වේ.

ෆොක්ස් මෝල්ඩර් ගේ චරිතයට පණ පොවන්නේ සුපිරි හොලිවුඩ් නළු ඩේවිඩ් ඩිකව්නි වන අතර, ඩේනා ස්කලී ගේ චරිතයට පණ පොවන්නේ සුපිරි හොලිවුඩ් නිළි ගිලියන් ඇන්ඩර්සන් ය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි