ජලීල් නමැති එම පියා, මන්ගලාරු හි පදිංචිකරුවෙකු වූ අතර, උද්ඝෝෂණ ඇවිලී යන විට ඔහු සිටියේ සිය නිවස අද්දර මිස උද්ඝෝෂණකරුවන් අතරවත් නොවේ.
මොහොතකින් උණ්ඩයක් ඔහුගේ වම් ඇස පසාරු කරගෙන ගිය අතර, ඔහු මැරී වැටුණේය.
මන්ගලාරු හි පැතිර යන දැඩි උද්ඝෝෂණ හේතුවෙන් පාසල් ගොස් එමින් සිටි සිය දියණියට අනතුරක් වේ යැයි බියෙන් එම පියා මගට ගොස් පාසල් වෑන් රථයෙන් ඇයව බස්සවාගෙන ගෙදරට ඇරලුවා පමණි.
ඔහු, දෛනික කුලියට වැඩ කරන කම්කරුවෙකි. මුස්ලිම් ජාතිකයෙකි. වයස අවුරුදු 14 ක ෂිෆානි දියණිය ද, අවුරුදු 10ක සබීල් පුතුටද බිරිඳට ද තිබූ එකම හයිය වූයේ ඔහු ය.
දැන්, 42 හැවිරිදි ජලීල්ගේ දියණිය කතා කර තිබේ. ඒ කතාව ලෝකය ගිනි වද්දමින් පැතිර යයි. ඉන්දියාව මේ කතාවෙන් අමුතුවෙන් ඇවිළෙන එකක් නැත්තේ, මෙවැනි කතා රැසක් සංශෝධිත පුරවැසි පනත (CAA) ට එරෙහිව ඇති වු උද්ඝෝෂණ සහ භීෂණය අතරතුරදී කරළියට පැමිණ ඇති නිසා ය.
පොලිසිය පැවසුවේ 7000 සිට 9000 දක්වා කලහකාරීන් පිරිසක් කේරලයේ මන්ගලාරු නුවර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට පටන් ගත් නිසා වෙඩි තැබූ බව ය. නමුත් එම ස්ථානයේ විරෝධතාකරුවන් ලෙස මිනිසුන් 50-100 අතර ප්‍රමාණයකට වඩා සිටියේ නැතැයි ජලීල්ගේ පවුලේ අය කියති.
මෝදිගේ ආණ්ඩුව මේ ඉලක්කම් සෙල්ලම කරන්නේ තමන්ගේම රටේ පුරවැසියන්ගේ ජීවිත සමග ය.
ඉන්දියාවම ගිනි වද්දවා ඇති, මුස්ලිම් – හින්දු බෙදීමක් ඇති කළ මෝදිගේ භයානක හින්දුත්ව ජාතිවාදය, භාරතය ගිනි තබන අලුත්ම හනුමා බවට පත්ව තිබේ.