×

‘‘අපිට හමුදා පාලනයක් ඕනේ‘‘ – සුඩාන ජනතාව දහස් ගණනික් මහ පාරේ

සුඩාන ජනතාව, හමුදා පාලනයක් ඉල්ලා සිටිමින් දහස් ගණනින් වීදි බැස සිටිති.


අග්‍රාමාත්‍ය අබ්දල්ලා හැම්දොක්ගේ ආණ්ඩුව විසුරුවා හැර ඒ වෙනුවට හමුදා ආණ්ඩුවක් පිහිටවිය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම වී තිබේ.

ඛාර්ටුම් නගරයේ රැස්වූ ඔවුන් කියා සිටින්නේ සංක්‍රාන්ති ආණ්ඩුවේ අගමැතිවරයා ගෙදර යන තෙක් තමන් විසිර නොයන බවයි.

හිටපු ජනපති ඕමාර් අල් බෂීර් යටතේ පැවති දශක දෙකක ඒකාධිපති පාලනය 2019 අප්‍රේල් මාසයේ අවසන් වූ පසුව තවමත් සුඩානයේ ස්ථාවර රාජ්‍යයක් බිහිව නැති අතර, පවතින්නේ බල සංක්‍රාන්තිය පාදක කර ගත් සංක්‍රාන්තීය ආණ්ඩුවකි. එම ඒකාධිපති ආණ්ඩුව බලයෙන් පහ කිරීමට මුල් වූයේ ද සුඩාන හමුදාවයි.

ඊයේ පැවති විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘නිදහස සහ වෙනස සඳහා බලවේගයන් (FFC) නමැති සිවිල් සන්ධානය මගිනි. හිටපු ඒකාධිපති පාලක ඕමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමට දායක වූ විරෝධතා සංවිධානය කළේ ද ඔවුන් විසිනි.

‘‘අපිට හමුදා ආණ්ඩුවක් ඕනේ. මේ ආණ්ඩුව අපට යුක්තිය හා සාධාරණත්වය ගෙන එන්නේ නැහැ..‘‘ යැයි විරෝධතාකරුවෝ පවසති.

වත්මන් අගමැති අබ්දල්ලා හැම්ඩොක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ආර්ථික විශේෂඥයෙකි. කෙසේ නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මුල් කරගෙන ඔහු හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ, සුඩාන ජනතාව ආර්ථික වශයෙන් අඩපණ කර තිබේ.

මේ වන විට සුඩානයේ උද්ධමනය 422%ක මට්ටමකට ළඟා වී තිබේ.

‘‘එක හමුදාවක් – එක රටක්‘‘
“one army, one people”

සැප්තැම්බර් 21 වැනිදා සුඩාන ආණ්ඩුව පවසා තිබුණේ තමන් හමුදා කුමන්ත්‍රණයක් ව්‍යාර්ථ කිරීමට සමත් වූ බවයි. කෙසේ නමුත් මෙවර, ජනතා නැගී සිටීම ද සමග මෙම ජනතා-හමුදා නැගී සිටීම බල පෙරළියක් දක්වා ද යා හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි