×

සමරිසි භීතිකාවෙන් පෙළෙන ‘ටික්ටොක්!’

එය නූතන තාරුණ්‍යයේ හද බැඳි, නැගී එන තාරකා වෙත අතහිත දුන්, ජනප්‍රියත්වයේ අවිය වූ, සමරිසිභීතිකාවෙන් නලියන, ළමා අපයෝජනයේ තෝතැන්න වූ ටික්ටොක් නම් විය!


එය නූතන තාරුණ්‍යයේ හද බැඳි, නැගී එන තාරකා වෙත අතහිත දුන්, ජනප්‍රියත්වයේ අවිය වූ, සමරිසිභීතිකාවෙන් නලියන, ළමා අපයෝජනයේ තෝතැන්න වූ ටික්ටොක් නම් විය!

ස්මාර්ට් ජංගම දුරකතන වෙත එන ලෝකප්‍රකට යෙදුමක් වන “ටික්ටොක්” හි පාලන ඒකකය විසින් සමරිසිභාවය, සමරිසි අයිතිවාසිකම් හෝ සමරිසි යුවල් දැක්වෙන හෝ හැඟවෙන වීඩියෝ ක්ලිප ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

පුදුමය නම් මෙය සමරිසිභාවය නීතිවිරෝධී නොවන රටවල් වලට පවා බලපා තිබේ. 

විවිධත්වයට වින කරමින් ගරු කරන ටික්ටොක් මාර්ගෝපදේශ
මීට පෙර ටික්ටොක් විසින් ටියානන්මෙන් චතුරශ්‍රය, ටිබෙට් සහ ෆලුන් ගොං ඇතුළු චීනයට සංවේදී මාතෘකා පිළිබඳ තොරතුරු ඇතුලත් වීඩියෝපට නිකුත් කිරීම තහනම් කරන ලද වගන්ති ගණනාවක් සාමාන්‍ය මධ්‍යස්ථ මාර්ගෝපදේශන වලට ඇතුළත් කළ බවට “ද ගාඩියන්” වෙබ්අඩවිය විසින් අනාවරණය කර තිබූ අතර, ටික්ටොක් හිමිකාරීත්වය දරන බීජිංහි “බයිට් ඩෑන්ස්” සමාගම ඊට ප්‍රතිචාර වශයෙන් පවසන්නේ එම මධ්‍යස්ථ මාර්ගෝපදේශ පසුගිය මැයි මාසයේ දී ප්‍රතිස්ථාපනය කළ බවයි.

මීට අමතරව, ටික්ටොක් විසින් නිරුවත්භාවය, අඩනිරුවත් භාවය, සනීපාරක්ෂක තුවා පෙන්වීම වැනි තොරතුරු ඇතුලත් වීඩියෝ ක්ලිප බොහොමයක් වාරණයට ලක්වන අන්දමින් දැඩි මාර්ගෝපදේශන සම්පාදනය කොට ඇති අතර, ඒ ඒ රටවලට අවේණික වූ මාර්ගෝපදේශ තුළින් රටවල් තුළ මතභේදයට තුඩු දෙන කරුණු අන්තර්ගත වීඩියෝ ක්ලිප වාරණයට ලක්කිරීමට කටයුතු යොදා පවතී. උදාහරණයක් වශයෙන් කුර්දි බෙදුම්වාදයට අදාල සංවේදී කරුණු අන්තර්ගත ක්ලිප තුර්කියේ ටික්ටොක් යෙදුම භාවිතා කරන්නන් හට ප්‍රදර්ශණය කිරීම තහනම් වේ. එමෙන්ම තුර්කියේ ආරම්භක පියා වන මුස්තාපා කෙමාල් අතතුර්ක් තුමා, එරට ජනපති රෙසෙප් තයිප් එර්දොගාන් ආදී දේශපාලන නායකයන් විවේචනය වන පරිදි පළ වන වීඩියෝ ක්ලිප වාරණයට ලක්වේ.

කෙසේවෙතත්, තුර්කියේ නීතිමය සම්බාධක පනවා නොමැති දේ ද ටික්ටොක් යෙදුම තුළ වාරණයට ලක්වන බවට ද ගාඩියන් වෙබ් අඩවිය අනාවරණය කර ගෙන තිබේ. උදාහරණයක් වශයෙන් මත්පැන් අලෙවිය හෝ භාවිතා කිරීම තුර්කියේ නීතිවිරෝධී නොවූවද, ටික්ටොක් හි මත්පැන් ප්‍රචාරණය වන වීඩියෝ ක්ලිප ද වාරණයට ලක්වේ. එමෙන්ම තුර්කිය තුළ පටිගත කරන ඉස්ලාම් නොවන ආගමික නායකවරුන්ගේ පිළිම (ජේසුස් ක්‍රිස්තුතුමන්, කන්‍යමරියතුමිය) ඇතුලත් වීඩියෝ ක්ලිප ද වාරණයට ලක්වන බවට ද ගාඩියන් වෙබ්අඩවිය වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබේ.

ටික්ටොක් හි සමරිසිභීතිකාව
ටික්ටොක් යෙදුමේ මෙම ආන්දෝලනාත්මක ප්‍රතිපත්තින් වැඩිදුරටත් කතාබහට ලක්වන්නට පටන් ගන්නේ සමරිසිභාවය මුළුමනින්ම වාරණයට ලක්වන අන්දමේ මාර්ගෝපදේශ එහි ඇතුලත් බවට ද ගාඩියන් වෙබ්අඩවිය අනාවරණය කිරීමත් සමඟයි. එනම් මෙම ටික්ටොක් මාර්ගෝපදේශ වල සමරිසිභාවය, සමරිසි පෙම් දසුන්, සමරිසි අයිතිවාසිකම් හැඟවෙන දසුන් ආදී LGBTIQ ප්‍රජාවේ පැවැත්ම දැක්වෙන හෝ හැඟවෙන වීඩියෝ ක්ලිප වාරණයට ලක්කිරීමට වගන්ති අඩංගු වේ. 

වෙනකක් තබා ලෝකප්‍රකට සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී හෝ  LGBTIQ ප්‍රජාවට අයත් චිත්‍රපට, චිත්‍රපට චරිත, නළුනිලියන් ගේ රූප දැක්වෙන හෝ හැඟවෙන, LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය දැක්වෙන හෝ හැඟවෙන වීඩියෝ ක්ලිප ද ටික්ටොක් යෙදුමේ වාරණයට ලක්වේ. 

කුමක්ද මේ විහිළුව?

කෙසේවෙතත්, බයිට් ඩෑන්ස් සමාගමෙන් මේ පිළිබඳ කල විමසුමකදී ප්‍රකාශ කර ඇත්තේ මෙම වාරණයන් සිදුවන්නේ ඒ ඒ රටවල සම්ප්‍රදායික හෝ නෛතික පදනම් මත සංවේදී කරුණු සලකා බල ඒ ඒ රටට සීමාවන පරිදි පමණක් බවය. ටික්ටොක් යනු නිර්මාණශීලීත්වය, විවිධත්වය හා සමානාත්මතාවයට ගරු කරන ආයතනයක් බවද බයිට් ඩෑන්ස් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

එහෙත්, මෙම වාරණයන් රටේ සංස්කෘතික හෝ නීති රාමුන්ට අදාල නොවන රට වල පවා ක්‍රියාත්මක වන බවට ද ගාඩියන් වෙබ්අඩවිය හෙලිදරව් කර සිටියි. 

එයට ප්‍රතිචාර වශයෙන් ද එම සමාගම පවසා තිබුණේ ටික්ටොක් යෙදුම තුර්කිය ඇතුළු වෙනත් වෙළදපළ වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින් හැකි සෑම විටම මධ්‍යස්ත හා ස්වාධීන අන්දමින් ද, ඒ ඒ රටවල සංස්කෘතික හෝ නෛතික පසුබිම් වලට හානි නොපමුණුවන අන්දමින් ක්‍රියාකරවීමට තම සමාගම බැඳී සිටින බවත්, එම මාර්ගෝපදේශ සංශෝධන ක්‍රියා වලදී දෝෂ හට ගැනීමට ඉඩ ඇති බවත් ඒ තුළින් යම් ප්‍රජාවකට හානි පමුණුවන අන්දමින් කටයුතු කිරීම තම අරමුණ නොවන බවත් ය.

ටික්ටොක් තුළින් ළමා අපයෝජන ප්‍රවණතාවක්!
එහෙත් ද ගාඩියන් වෙබ්අඩවිය තවත් ආන්දෝලනාත්මක හෙලිදරව්වක් කර සිටියි. එනම්, යම් ප්‍රජාවකට හානිවන අන්දමින් කටයුතු නොකරන බවට සපථ කරන බයිට් ඩෑන්ස් සමාගම ටික්ටොක් යෙදුම හරහා LGBTIQ මානව හිමිකම් හැඟවෙන අන්තර්ගතය වාරණයට ලක්කරන අතරතුරම අසාමාන්‍ය ලෙස කුඩා දරුවන් ඇතුලත් ලිංගික හෝ සරාගී ලෙස ඇඳුම් පැළඳුම් හැඳ නර්තනයේ යෙදෙන වීඩියෝ ක්ලිප වලට මුල් තැනක් ලබා දී තිබීමයි. 

මෙහිදී හෙලිදරව් වී තිබෙන්නේ ටික්ටොක් මාර්ගෝපදේශ විසින් පාලන ඒකකය වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ වීඩියෝ ක්ලිප තුළ අන්තර්ගත පුද්ගලයන් ගේ වයස උපකල්පනය කළ නොහැකි නම් ඔවුන් “18 ට වැඩි” යැයි සැලකීමටත්, සමාගම් නිලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබෙන්නේ බාලවයස් දරුවන් ඇතුලත් වීඩියෝ ක්ලිප අප්ලෝඩ් වන්නේ නම් වහා වාරණයට ලක්කරන බවත් ය.

මේ අනුව පාලන ඒකකය ටික්ටොක් තුළ ඇතුලත් වන වීඩියෝ ක්ලිප තුළ කුඩා දරුවන් ලිංගික හෝ සරාගී අන්දමින් නිරූපණය වන විට වාරණයට ලක්කිරීමේ ක්‍රියාපටිපාටිය පැටළිලි සහගත වී පවතී. 

NSPCC හි අන්තර්ජාලය ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියේ ප්‍රධානී ඇන්ඩි බරෝස් ටික්ටොක් යෙදුමේ පවතින මෙම අවුල් සහගත ප්‍රවේශය විවේචනයට ලක්කරමින් පවසා සිටියේ මෙවන් අවිධිමත් මාර්ගෝපදේශ මගින් පෙන්නුම් කරන්නේ ළමා අපයෝජන නිරූපණවල බරපතලකම ග්‍රහණය කර ගැනීමට ටික්ටොක් යෙදුම ඉතා අසමත් වී ඇති බවයි.

ටික්ටොක් යෙදුමට කුඩා දරුවකු වැඩිහිටියකු ගෙන් වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි නම්, ඉන් දැනුවත් ව හෝ නොදැනුවත් ව මෙම යෙදුම ළමා අපයෝජන ප්‍රවණතාවට දායක වන බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එහෙත් එවන් අවිධිමත්භාවයක් තුළ සමරිසිභාවයට ප්‍රමුඛතාවයක් ලබා දෙමින් සමරිසි ප්‍රජා, හෝ LGBTIQ ප්‍රජා නියෝජනය අමුඅමුවේ වාරණයට ලක්කරන බයිට් ඩෑන්ස් සමාගම පවසන්නේ විවිධ රට වල සංස්කෘතික හා නෛතික පසුබිම් තුළ හැකි උපරිම අයුරින් මධ්‍යස්තව කටයුතු කරන බවටයි. ඉස්ලාම් දහම හැර ලොව පවතින වෙනත් ආගම් නිරූපණය වන ක්ලිප තුර්කිය වැනි මුස්ලිම් රටවල් තුළ වාරණය කළ යුත්තේ යැයි කිසිදු නීති පොතක සඳහන් වන්නේ නැත. එසේ නම් මේ බයිට් ඩෑන්ස් සමාගම තුළ මේ සිදුවන්නේ යම් අන්තවාදී බලවේගයක අතපෙවීම ද යන සාධාරණ සැකයද මතු නොවන්නේ නම් පුදුමයකි.

ආදරයෙන් ලොවක් එක් කිරීමට වෙර දරන අරගල කරන ප්‍රජාවක පැවැත්ම නිශේධනය වන අන්දමින් කටයුතු කිරීමට මුල්තැනක් ලබා දෙමින් නිරුවත්භාවය, අඩනිරුවත් භාවය, සනීපාරක්ෂක තුවා පෙන්වීම වැනි දසුන් හමුවේ ටික්ටොක් යෙදුම තුළ දැඩි මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ යැයි උදම් අනන බයිට් ඩෑන්ස් සමාගම කුඩා දරුවන් ලිංගික දසුන් වලට යොදා ගැනීමේ ක්ලිප දිනෙන් දින පළ වෙද්දී දෑස් පියාගෙන සිටියේ දැයි අප විමසීමට කැමැත්තෙමු.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි