×

කැපුවේ කොණ්ඩයයි පනමක් උපයන්න, කළ වරද කිම ‘දෙවියන් ද’ උරණ වන්න?

ඇමරිකාවේ LGBT+ ප්‍රජා ඉලක්ක කොට ගත් වෛරී ඝාතන කෙරේ දේශපාලන අධිකාරියේ දැඩි අවධානය යොමුවීම ආරම්භ වූයේ මැතිව් ෂෙපර්ඩ් ඝාතනයත් සමඟය. ඒ 1998 ඔක්තෝබර් මස දී ය. 21 හැවිරිදි මැතිව්ගේ ඝාතනයට පාදක වූ එකම හේතුව වූයේ ඔහු සමරිසි පුද්ගලයකු වීමයි.


මෙම ඛේදජනක පුවත වාර්තා වන්නේ එක්සත් ජනපදයෙනි.

ටෙක්සාස් ප්‍රාන්තයේ බාබර්සාප්පුවක සේවය කළ හෙල් ජේ ඔ’රෙගන් නම් යුවතිය කිසිවිටකත් මේ ගත කරන්නේ තම අවසන් මිනිත්තු කිහිපය යැයි නොසිතන්නට ඇත.

ටෙක්සාස් හි සන් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ තම බාබර්සාප්පුවේ සේවයේ නියුතු වෙමින් සිටිය දී මරුවා ඈ වෙත පැමිණෙන්නේ නිමේෂයකිනි.

බාබර්සාප්පුව වෙත කඩා වැදුණු පුද්ගලයකු දිගින් දිගටම තියුණු ආයුධයක් ඔ’රෙගන් ගේ දේහය විනිවිද යවමින් ඈ නිසල කළ අයුරු අසල සීසීටීවී කැමරා වල සටහන් වී තිබිණි.

මෙසේ ඔ’රෙගන් ඝාතනය කිරීමට හේතුවූයේ ඇයි?

හෙල් ජේ ඔ’රෙගන් යනු සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකි. ඔ’රෙගන් ගේ ඝාතකයා ඇගේ දිවි උදුරා ගැනීමට මොහොතකට පෙර පවසා තිබෙන්නේ තමා එවන ලද්දේ දෙවියන් වහන්සේ විසින් බවයි. (‘God sent me here to kill you’)

ඔ’රෙගන් යනු 2020 වර්ෂය තුළ එක්සත් ජනපදයේ වෛරී ඝාතනයකට (Hate Crime) ලක්වූ 11 වන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයායි.

සන් ඇන්ටොනියෝ නගරයේ ඩීසල් බාබර්ෂොප් නම් බාබර්සාප්පුවේ සේවයේ නියුතු ඔ’රෙගන් මිය යන විට 20 වන වියෙහි පසුවූවා ය. දෙවියන් ගේ දූතයකු විසින් ඈගේ ජීවිතයේ සුන්දරතම අවධිය මෙසේ උදුරා ගන්නා ලදී.

හෙල් ජේ ඔ’රෙගන්

මෙම ඝාතනය සිදුව තිබෙන්නේ ඉකුත් මැයි මස 06 වන දිනය. එදින ඔ’රෙගන් සහ තවත් සේවකයින් දෙදෙනෙකු බාබර්සාප්පුවේ සිට ඇති අතර, සාප්පුව වසා දමා තිබිණි. බාබර්සාප්පුව විවෘත කිරීමත් සමඟ මෙම ඛේදජනක සිදුවීම හට ගෙන ඇත.

සාප්පු හිමිකරු පවසා සිටි පරිදි, එදින යම් පුද්ගලයකු පැමිණ තමාට කොණ්ඩය කපා ගැනීමට අවශ්‍ය බව පවසා ඇති අතර, ඉන් අනතුරුව සාප්පුවේ වැඩකළ සේවකයින් වෙත යොමු කර ඇත.

ඉන් මත්තට, මෙම පුද්ගලයා ගිනි අවියක් හා පිහියක් ඉවතට ගෙන සාප්පුව තුළ සිටි සියළු දෙනා වෙත තර්ජනය කොට සියළු දෙනා හට සාප්පුවේ පසුපස ප්‍රදේශයට ගමන් කරන ලෙස අණදී ඇත.

.

උඹව මරන්න දෙවියොයි මාව එව්වේ!

ඔ’රෙගන් ගේ නිසල දේහය වෙත මෙන්ම තවත් එක් සේවකයකු ගේ දේහය වෙත වරින් වර පිහිපහර එල්ල කරන අයුරු සීසීටීවී කැමරාවේ සටහන් වී තිබිණි.

කෙසේවෙතත්, ඝාතකයා විසින් අසරණ ඔ’රෙගන් ගේ ජීවිතය බිලි ගත් අතර, අනෙත් සේවකයින් දෙදෙනා දිවි ගලවා ගෙන පලා යාමට සමත් ව ඇත.

මේ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් අදාළ බාබර්සාප්පුව පවසා තිබුණේ ඝාතකයාට ඉල්ලා සිටි සෑම දෙයක් ම – මුදල්, උපකරණ හෝ වෙනත් – ලබා දීමට කටයුතු කළ මුත් ඔහු සාප්පුවෙන් ඉවත්ව නොගිය බවත්, මෙම මරණය හුදෙක් මුදල් ලබා ගැනීමේ අරමුණින් සිදු නොකළ බවත් ය.

“උඹලා මොනවද කරපු වැරදි? උඹලා මොනවද කරපු වැරදි? උඹලාව මරන්න දෙවියන් වහන්සේ මාව එව්වේ උඹලා වැරද්දක් කරපු නිසා.. උඹලා මොනවද කරපු වැරදි?”

ඒ ඝාතකයා වියරුවෙන් මෙන් පවසා ඇති වදන් ය.

ඔ’රෙගන් ගේ ඝාතනය ඇගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යාතව ඉලක්ක කරගනිමින් සිදුවූවක් ද?

මේ පිළිබඳ විවාද මතුවෙමින් පවතී. ඇතැම් පාර්ශව පවසන්නේ LGBT+ ප්‍රජාව ඉලක්ක කර ගත් වෛරී ඝාතනයක් ලෙස මෙය අර්ථ දැක්විය හැකි බවයි.

කෙසේ වෙතත්, බාබර් සාප්පු හිමියා අදාළ සිදුවීම විස්තර කළ පරිදි, මෙම ඝාතකයා තර්ජනය කොට තිබෙන්නේ සමස්ත කාර්යමණ්ඩලයට ම වන අතර, ඔ’රෙගන් සහ තවත් එක් සේවකයකු හට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් ඔ’රෙගන් පමණක් ජීවිතක්ෂයට පත් ව ඇත.

සැකකරු 42 හැවිරිදි පුද්ගලයකු වන අතර, මේ වන විට සන් ඇන්ටොනියෝ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

.

ඇමරිකාවේ LGBT+ වෛරී ඝාතන

පුද්ගලයකු ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව ඉලක්ක කර ගනිමින් වෛරී ඝාතන සිදුකිරීම එක්සත් ජනපදයේ සුලභ සිදුවීමකි. හුදෙක් ආගමික අන්තවාදී විශ්වාස මත පදනම් ව සංවිධානාත්මකව මෙවන් අපරාධ සිදුවන අතර, තනි සිදුවීම් වශයෙන් ද හට ගනු ලබයි.

ඇමරිකාවේ LGBT+ ප්‍රජා ඉලක්ක කොට ගත් වෛරී ඝාතන කෙරේ දේශපාලන අධිකාරියේ දැඩි අවධානය යොමුවීම ආරම්භ වූයේ මැතිව් ෂෙපර්ඩ් ඝාතනයත් සමඟය. ඒ 1998 ඔක්තෝබර් මස දී ය. 21 හැවිරිදි මැතිව් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වූ අතර, ඔහු ගේ ඝාතනයට පාදක වූ එකම හේතුව වූයේ ඔහු සමරිසි පුද්ගලයකු වීමයි.

මෙම වසරේ ජාත්‍යන්තර සංක්‍රාන්ති සමාජභාවී කළ එළි දිනය (International Transgender Day of Visibility) පැවති මාර්තු 31 වන දින ඔ’රෙගන් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් පවසා සිටියේ මෙවැන්නකි.

“මාගේ සංක්‍රාන්තියට පෙර ගත් ඡායාරූප සහ වර්තමාන ඡායාරූප සන්සන්දනය කර බලනා විට මා හට දැනෙන්නේ ඉමහත් සතුටකි. පෙර සිටියාට වඩා හොඳ තැනක මා අද සිටියි. මා මටම ආදරය කිරීමට පටන් ගෙන තිබේ. මා හට උපකාර කළ, හා උපකාර නොකළ එහෙත් කෙදිනක හෝ මා වෙත පැමිණෙන සැමට ස්තූතියි. මම මා ගැන සතුටින් හා අභිමානයෙන්.”

ඔ’රෙගන් ගේ මිතුරකු වූ ලූක් ටයිලර් ඔ’රෙගන් පිළිබඳ සඳහන් කරමින් පවසා සිටියේ ඔ’රෙගන් යනු සැම විටම සිනා සෙමින් සිටි, කා අතරත් ප්‍රිය කළ, සැමට උදව් උපකාර කළ කාරුණික පුද්ගලයකු බවයි. කිසි දිනක අමනාප සහගත මුහුණක් ඈ තුළින් දැක නැති බව ද ටයිලර් පවසා සිටියේය.

“සංක්‍රාන්ති පුද්ගලයකු වීම බෙහෙවින් අමාරුයි. ජීවිතය ද අමාරුයි. එහෙත්, ඈ සෑම දිනක් ම ගත කළේ ඈගේ හොඳම දිනය වගේ.”

ටෙක්සාස් ප්‍රාන්තයේ ට්‍රාන්ස්ජෙන්ඩර් එඩියුකේෂන් සෙන්ටර් නම් අධ්‍යාපන ආයතනය පවසා සිටි පරිදි, ඔ’රෙගන් ගේ ඝාතනය ඇතුළු බොහෝ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඉලක්ක කර ගත් ඝාතනයන් බොහොමයක් සිදුවන ප්‍රාන්තයක් ලෙස එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය හැඳින්විය හැක.

ගතවූ පස් වසර තුළ වැඩිම LGBT+ ප්‍රජා ඉලක්ක කොට ගත් වෛරී ඝාතන සිදුවී තිබෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ බවද එම ආයතනය සඳහන් කළේය.

ඇමරිකාවේ හියුමන් රයිට්ස් කැම්පේන් හි ට්‍රාන්ස්ජෙන්ඩර් ජස්ටිස් ඉනිටියේෂන් හි ටෝරි කූපර් මෙසේ පැවසීය.

“සංක්‍රාන්ති සමාජභාවී ඇමරිකානුවන් ප්‍රචණ්ඩකාරී ලෙස ඝාතනයට ලක්වීම් පසුගිය සති කිහිපය පුරාම අප දුටුවා.. මෙය ඕනෑම පුද්ගලයකුට කම්පනයක් හා භීතියක් ගෙන දෙන සිදුවීමක්.

අප අපගෙන් ප්‍රශ්ණ කළ යුතුයි. පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මරණ වරෙන්තුවක් නොවන ලෝකයක් ඇති කරලීමට නම් අප කළ යුත්තේ කුමක්ද?”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි