×

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන බිය පළ වෙද්දී රටවල් ගණනාවක් ගමන් තහනම් පනවයි

බ්‍රිතාන්‍යයේ දැන් හිස ඔසවමින් තිබෙන නව කෝවිඩ් ප්‍රභේදය (new variant of coronavirus) පිළිබඳ බිය දිනෙන් දින උත්සන්න වෙමින් තිබේ.


මෙය විශේෂයෙන් මාරාන්තික නොවන බවට මතයක් තිබුණත්, තුන්වැනි රැල්ලක් ඇතිවීමට එය ප්‍රමාණවත් බව ට සැලකේ.

කොරෝනා වෛරස් නව ප්‍රභේදයේ ලක්ෂණ

එය වෛරසයේ අනෙකුත් අනුවාදයන් හෙවත් ආකාරයන් වේගයෙන් ප්‍රතිස්ථාපනය කරමින් ජන සමාජයේ තහවුරු වන බව පෙනේ.

එය අප මුලින් දැන සිටි නව කොරෝනා වෛරසය තුළ ජාන විකෘති ඇති කිරීමට සමත් වේ.

මෙම ජාන විකෘතිවල ප්‍රතිඵලයක් ලෙසට එයට පහසුවෙන් මිනිස් ශරීරය ආසාදනයට ලක් කිරීමට හැකියාව ඇත.

ඒ අනුව ඉතා පහසුවෙන් සහ ඉතා වේගයෙන් මෙය පැතිර යාමේ අති දැවැන්ත අවදානමක් පවතියි.

බ්‍රිතාන්‍යයේ බොහෝ කොටස් මේ වන විට Tier 4 සීමාකරණයන්ට යටත් කර තිබෙන්නේ ද මෙහි බරපතළ බව සැලකිල්ලට ගනිමිනි. මේ සම්බන්ධයෙන් හදිසියේ Tier 4 පැනවීම ගැන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහත් විවේචනයන්ට ලක්ව තිබෙන්නේ ‘ලන්ඩනයට නත්තල අහිමි කළා‘ යන චෝදනාව ද සමගිනි. නමුත් නව කොරෝනා වෛරසයේ විකෘති ප්‍ර භේදය පිළිබඳ කරුණු ප්‍රචලිත වීමත් සමග ඔහුගේ තීරණය නිවැරදි එකක් බව ද ඇතැම් විචාරකයෝ පවසති.

මුලින්ම සැප්තැම්බරයේ සොයාගත් මෙම නව ප්‍රභේදය නොවැම්බරය වන විට ලන්ඩනයෙන් හමුවන කොරෝනා වෛරස් රෝගීන්ගෙන් 1/4කටම වගකියා ඇති බව ද හෙළි වේ. දෙසැම්බර් මැද භාගය වන විට එය 2/3 දක්වා වර්ධනය විය.

මීට පෙරත් මෙසේ සිදු වී තිබේද?

ඔව්.

චීනයේ වුහාන් නගරයෙන් මීට වසරකට පෙර මෙම වෛරසය ගැන අනාවරණය වූ විට, ලෝකයේ සතර දෙසින් මතුවූයේ එම වෛරසයේ එකම ආකාරය නොවේ.

2020 පෙබරවාරි මාසයේදී ජර්මනියෙන් එහි විකෘතියක් වූ D614G mutation සොයා ගැනිණි. පසුව මුළු ලෝකය පුරාම එය වේගයෙන් ව්‍යාප්ත විය.

යුරෝපය පුරා පැතිර ගියේ කොරෝනා වෛරසයේ A222V ප්‍රභේදයයි. ස්පාඤ්ඤයේ ගිම්හාන නිවාඩුව ගත කළ බොහෝ දෙනෙක් මෙය ආසාදනයට ලක් වූහ.

මේ වන විට ලෝකය පුරා වුහාන් වෛරසයේ විකෘති 17 ක් සොයාගෙන ඇත. N501Y, H69/V70 deletion යනාදිය ඒ අතර වේ.

කොරෝනා වෛරසයේ තිබෙන විශේෂම ලක්ෂණයක් බවට මේ අනුව විකෘති ඇති කිරීමට තිබෙන හැකියාව කැපී පෙනේ.

ඊයේ දිනයේදී කෝවිඩ් පොසිටිව් ආසාදිතයන් 13,000 කට වඩා එක්සත් රාජධානියෙන් සොයා ගැනිණි.

බ්‍රිතාන්‍යයට දස දෙසින් ගමන් තහනම්

යුරෝපයේ රටවල් ගණනාවක්ම බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් මේ වන විට ගමන් තහනම් (travel bans) පනවා ඇත.

අයර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය සහ නෙදර්ලන්තය දැනට ඒ අතර වේ. අද දිනයේ යුරෝපා සංගමය එක් වී මෙම තහනම අවම හානියකින් ව්‍යාප්ත කිරීම ගැන ද කතාබස් කෙරෙනු ඇත.

නෙදර්ලන්තය දැනුම් දී තිබෙන්නේ 2021 ජනවාරි 1 වැනිදා දක්වා අවම වශයෙන් මේ තහනම බලපැවැත්වෙන බව යි. ප්‍රංශය ගුවන් ගමන් පමණක් නොව භාණ්ඩ ප්‍රවාහනය ද තාවකාලිකව නවතා දමා ඇත. යූරෝටනලය ද ජල මාර්ගය හරහා සිදුකෙරෙන සියලු ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ අතර කැනඩාව ද එක්සත් රාජධානියෙන් පැමිණෙන ගුවන් ගමන් අද දින සිට අවලංගු කරයි.

නත්තල වෙනුවෙන් ලන්ඩනය, කෙන්ට් ඇතුළු ප්‍රධාන නගර ගණනාවකට ගෙන එමින් තිබූ භාණ්ඩ, එක්සත් රාජධානියේ මාවත්වල සිර වී තිබේ.

Main photo: Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි