×

ට්‍රම්ප් ඕලැන්ඩෝ රැළියේදී බොරු ගොඩක් කියයි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕලැන්ඩෝ ජනපදයේ පැවති ජන රැළියේදී මිනිත්තු 76 ක් තිස්සේ ජනතාව ඇමතුවේය. අවම වශයෙන් බොරු 15 ක් කීවේය.


දෙවන වතාවටත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වීමට සිහින දකින ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් අති දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

පහත දැක්වෙන්නේ ට්‍රම්ප් විසින් සුපුරුදු පරිදි මහත් ආත්ම විශ්වාසයෙන් යුතුව පසුගියදා ඕලැන්ඩෝ හිදී පැවති රැළියකදී කී එම ව්‍යාජ ප්‍රකාශ 15 හි ඇත්ත සහ නැත්ත පිළිබඳ සීඑන්එන් පුවත් සේවය විසින් තබා තිබූ සටහනයි.

බලශක්තිය

කී කතාව – පසුගිය ඇමරිකානු පාලනයේ පවැති කෘෘර සහ හෘදයක් නොමැති ඇමරිකානු බලශක්ති ප්‍රතිපත්තිය තමන් වෙනස් කළ බව ට්‍රම්ප් කීවේය. ඇමරිකාව ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු නිෂ්පාදනය කරන රටවල් අතරින් අංක 1 බව ද කීවේය. ‘‘එක විදිහකට අපි තමයි, ලෝකයේ අංක එකේ බලශක්ති නිෂ්පාදකයා…!“

ඇත්ත කතාව – ඇමරිකාව ලෝකයේ අංක 1 බලශක්ති නිෂ්පාදකයා ව සිටියේ 2012 වසරේ පටන් ට්‍රම්ප් ජනපති වන තෙක් කාලය දක්වා (2016) පමණි. ඇමරිකා එක්සත් ජනපදයේ මේ පිළිබඳ නිල වාර්තාවලට අනුව 2016 වසරේදී තත්වය මෙසේ ය.

‘‘2012 වසරේදී ඇමරිකානු පෙට්‍රෝලියම් සහ ස්වභාවික වායු නිෂ්පාදනය මුලින්ම රුසියාව පරදවා ඉහළ ගියේය. 2011 වසරේ පටන් ස්වභාවික වායු නිපදවන අංක 1 ඇමරිකාව වු අතර, 2013 වසරේ පටන් පෙට්‍රෝලියම් හයිඩ්‍රොකාබන නිපදවන අංක 1 රට බවට ඇමරිකාව පත් විය. මෙම
EIA හෙවත් Energy Information Administration වාර්තාවට අනුව ට්‍රම්ප්ගේ කාලයේ, එනම් 2016 වසරෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය අංක 1 බවට පත්ව තිබෙන්නේ බොර තෙල් නිෂ්පාදනය අතින් පමණි. එහිදී 2018 වසරේදී ඇමරිකාව සෞදි අරාබිය සහ රුසියාව පැරදවීය.

රුසියාව

කී කතාව – රුසියානු සබඳතා පිළිබඳ පවත්වන පරීක්ෂණය ‘නීති විරෝධී සහ එය මුදල් නාස්තියක්‘ බව ට්‍රම්ප් පැවසුවේය. ‘‘ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් මේකට වියදම් කරනවා..‘‘ යැයි ද ට්‍රම්ප් චෝදනා කළේය.

ඇත්ත කතාව – රුසියානු පරීක්ෂණය නීති විරෝධී බවට කිසිදු සාක්ෂියක් නැත. ට්‍රම්ප් මීට පෙර ද එසේ කියා ඇති අතර, මෙහිදී ඔහු අදහස් කරන්නේ ‘‘කිසිම අපරාධයක් සිදු වී නැති නිසා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීම නීතිවිරෝධී බව‘‘යි.

මේ සඳහා වියදම ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් බවට කිසිදු සාක්ෂියක් නැත. හෙළි වී ඇති කරුණු අනුව 2017 මැයි මාසයේ මුලර් කොමිසම පත් කිරීමේ පටන් 2018 සැප්තැම්බර් අතර කාලය තුළ එහි වියදම් සඳහා ඇ.ඩො. මිලියන 12 ක් වෙන් කර තිබූ අතර, අධිකරණ දෙපාර්තමේන්තුවේ වියදම ඇ.ඩො. 13 කි. කෙසේ නමුත් මේ අනුව මෙම වියදම ඇ.ඩො. 25 කට වඩා වැඩි නොවේ.

නමුත් ට්‍රම්ප්ගේ කැම්පේන් කළමනාකරු වු පෝල් මැනෆෝට්ගේ වත්කම් රාජසන්තක කිරීම මගින් ඇ.ඩො. මිලියන 11ක් ඇමරිකානු රජයට ලැබීමට නියමිත ය.

දේශසීමා තාප්පය

කී කතාව – ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ද මීට පෙර දේශසීමා තාප්පයක් ඉදිකිරීමට යෝජනා සම්මත කළ බව ට්‍රම්ප් කීවේය. ‘‘ඒකට අවුරුදු 4කට 6 කට කලින් ඔවුන් ඡන්දයත් දුන්නා. නමුත් මම ජනාධිපති වුණාට පස්සෙ තාප්පෙ එපා, තාප්පෙ එපා කියනවා..“

ඇත්ත කතාව – 2006 වසරේදී වත්මන් කතානායිකාව නැන්සි පෙලොසි හැර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සැතපුම් 700 ක් දිග තාප්පයක් ඉදිකිිරීම සඳහා ඡන්දය පළ කළේය.
Secure Fence Act යනුවෙන් එය හැඳින්විණි. එහිදී නීත්‍යානුකූල ලේඛන රහිත සංක්‍රමණිකයන් හට (undocumented immigrants) ඇමරිකාව තුළ පුරවැසිභාවය ලබාගත හැකි ක්‍රමයක් ද යෝජනා වී තිබිණි. නමුත් ට්‍රම්ප් එයට දස වසරකට පසු මහා තාප්පයක් ඉදිකිරිමට යෝජනා කරන විට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එයට එකඟ වුණේ නැත. තවද ඩිමොක්‍රටික්ස්ලාගේ සැතපුම් 700 තාප්පය ගැන ට්‍රම්ප් පැවසුවේ ‘‘ඒ තරම් පොඩි තාප්පයක්‘‘ ( “such a little wall” සහ “such a nothing wall,” ) යන යෙදුම්වලිනි.

පරිසරය

කී කතාව – තමන්ගේ පාලනය යටතේ පරිසරය සුරැකීම දියුණුවූ බව ට්‍රම්ප් කීවේය. ‘‘අපේ වායුගෝලය සහ ජලය මේ දක්වා තිබෙන පිරිසිදුම තත්වයේ තිබෙනවා“

ඇත්ත කතාවAmerican Lung Association හි නිල වාර්තාවලට අනුව ඇමරිකානු වායුගෝලය ක්‍රමයෙන් දූෂණයට ලක් වෙමින් ඇත. ඇමරිකාවේ නගර 8 ක වායු දූෂණය ඉතා ඉහළ ය. එසේම ට්‍රම්ප්, පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත් කර ගැනීම මගින් ලෝකයට දී ඇති පණිවුඩය වන්නේ ඇමරිකාවට පරිසරය ගැන සිතීමට අවශ්‍ය නැති බවයි.

ක්ලින්ටන්ගේ ඊ මේල්

කී කතාව – සිය ප්‍රතිවාදිනිය වු හිලරි ක්ලින්ටන් පුද්ලික ඊ මේල් සර්වරය භාවිතා කිරීම ගැන ට්‍රම්ප් සුපුරුදු පරිදි බොහෝ දේ කීවේය. ‘‘තිස්තුන් දාහක් පුද්ගලික ඊ මේල් ඩිලීට් කරලා.. ඒකට විශාල වියදමක් ගිහින් තියෙනවා.“

ඇත්ත කතාව – හිලරි ක්ලින්ටන් විසින් මෙම ඊ මේල් මකා දැමීම සිදු කර තිබෙන්නේ BleachBit නමැති නොමිලේ සේවය ලබාගත හැකි මෘදුකාංගයක් භාවිතා කිරීමෙනි. මේ බව ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය විසින් හෙළි කරගෙන තිබේ.

චීනය

කී කතාව – ‘‘එක්කො අපි චීනය එක්ක සාධාරණ ඩීල් එකක් කරනවා. නැතිනම් කිසිම ඩීල් එකක් නොකර ඉන්නවා. චීන සමාගම් බිලියන ගණන් බදු පැහැර හරිමින් සිටිනවා. ව්‍යාජ පුවත්වලින් කියන්නෙ නම් ඔබ බදු ගෙවන බවයි. නමුත් චීනය ඩොලරය අවප්‍රමාණ කරනවා.‘‘

ඇත්ත කතාව – ට්‍රම්ප්ගේ ඉහළ බදු ප්‍රතිපත්තිය සැබවින්ම බලපෑම් කරන්නේ චීනයට පමණක් නොවේ. ඇමරිකානු ව්‍යාපාරිකයන්ට ද එය බෙහෙවින් බලපා තිබේ. ආනයනය කරන චීන භාණ්ඩවලට ඉහළ බදු පැනවීම ඇමරිකානු ව්‍යාපාරිකයන්ට ද මහත් හිසරදයකි. ඇමරිකා එක්සත් ජනපදයේ ගෘහස්ථ පරිභෝජකයන්ගේ ආදායම 2018 වසර අග භාගය වන විට මසකට ඩොලර් බිලියන 1.4 කින් පහළ බැස ඇති බව පසුගිය මාර්තු මාසයේ ප්‍රින්සෙන්ටන් සරසවිය විසින් එළිදැක්වූ පර්යේෂණ වාර්තාවක සඳහන් විය.

ඩොලර් බිලියන 500 ක වෙළඳ හිඟයක් චීනය සමග?

කී කතාව – ‘‘අපිට මේ වැඩෙන් ඩොලර් බිලියන 500 ක් අවුරුද්දකට පාඩු වෙනවා. අපි චීනය නැවත ගොඩ නැංවුවා. ඩොලර් මිලියන 500 ක් නෙවෙයි, බිලියන 500 ක්.. තේරුණාද…? හරියටම කිව්වොත් ඩොලර් බිලියන 507ක්“

ඇත්ත කතාව – ට්‍රම්ප්ගේ මේ සංඛ්‍යාවන් දෙකම වැරදි ය. ඇමරිකා එක්සත් ජනපදයට චීනය සමග ඩොලර් බිලියන 500 ක වෙළඳ හිඟයක් කිසිදා තිබුණේ නැත. 2018 වසරේදී වෙළඳ හිඟය ඇ.ඩො. බිලියන 380 ක් වූ අතර, 2017 වසරේදී එය ඇ.ඩො. බිලියන 337 ක් විය. ට්‍රම්ප් මේ කතාවේදී කාල වකවානු සඳහන් නොකරයි. නමුත් මීට පෙර කතාවලදී ද සිය වතාවකට වඩා ඔහු මේ ඩොලර් බිලියන 500 මන්තරය මතුරා තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය චීන භාණ්ඩවලට බදු අය කරන්නේ සියවස් දෙකකටත් පැරණි ඉතිහාසයක පටන් ය. ඇමරිකානු මහා භාණ්ඩගාරය 2014 වසරේදී චීනයට බදු ගැසීම මගින් ඇ.ඩො. බිලියන 14 ක් උපයා ගත්තේය.

විරැකියාව

කී කතාව – ‘‘ඇමරිකානු අප්‍රිකානු ප්‍රජාව දිහා බැලුවොත්, අපි කොයි තරම් නම් දියුණු වෙලා තියෙනවද..? ඉතිහාසයේ අපේ රටෙන් වාර්තා වන අඩුම විරැකියා ප්‍රතිශතය දැන් තියෙනවා..“

ඇත්ත කතාව – ඇමරිකා එක්සත් ජනපදය ‘අප්‍රිකානු – ඇමරිකානු විරැකියාව‘ යන යෙදුම භාවිතා කරන්නට පටන් ගත්තේ 1970 දශකයේ පටන් ය. ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ ඉතිහාසයේ අඩුම විරැකියා ප්‍රතිශතය වාර්තා වූ බව සත්‍යයකි. 2019 මැයි මාසයේදී මෙම ප්‍රතිශතය 6.2% ක් වූ අතර, එය ගතවූ වර්ෂයට වඩා 5.9%ක අඩු වීමක් විය. කෙසේ නමුත් මේ දියුණුවෙන් වැඩි කොටස සිදු ව තිබෙන්නේ ට්‍රම්ප්ගේ දක්ෂ කමක් නිසා නොව, පෙර පැවති ඔබාමා පාලනයේ දූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් බව විචාරකයෝ කියති. ඔබාමා ධුරයට පත් වූ 2009 ජනවාරි මාසයේ විරැකියා ප්‍රති්ශතය 12.7% ක් වූ අතර, එය 2016 දෙසැම්බරයේදී 7.9%ක් දක්වා අඩු වී තිබිණි. සැබවින්ම ට්‍රම්ප්ගේ සමයේ සිදුවී තිබෙන්නේ එය 7.9% සිට 6.2% දක්වා තවදුරටත් අඩු වීමයි.

වාණිජ්‍ය

කී කතාව – වෙළඳාම සහ ඇමරිකානු මෝටර් රථ කර්මාන්තය පිළිබඳ ව ද ට්‍රම්ප් බොරු කීවේය. ‘‘මා ධුරයට එන විට ඇමරිකාව ඇති කර ගත් නරකම වෙළඳ ගිවිසුමක් වන ‘ට්‍රාන්ස් පැසිෆික් හවුල‘‘ පැවතුණා. දැන් ඒ ප්‍රශ්නය නැහැ. ඔහායෝ, පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, ෆ්ලොරිඩා යන ජනපදවල අලුත් මෝටර් රථ කම්හල් ගණනාවක් ඇති වෙලා. දශකයකින් ඒවා මෝටර් රථ හදලා නෑ. නමුත් ඉදිරියේදී සියල්ල හරි යාවි.,“

ඇත්ත කතාව – 2015 වසරේදී වොල්වෝ සමාගම දකුණු කැරොලිනා ජනපදයේ ඩොලර් මිලියන 500 කින් නව මෝටර් රථ කම්හලක් ඉදි කළේය. මර්සිඩීස් බෙන්ස් සමාගම ද ඊට පසු වර්ෂයේ ඩොලර් මිලියන 500 ක වියදමකින් වෑන් කර්මාන්ත ශාලාවක් ඉදිකළේය. නමුත් ෆ්ලොරිඩා සහ පෙන්සිල්වේනියා ජනපදවල මෝටර් රථ කර්මාන්තශාලා නොමැත. එසේ ඉදි කරන බව පවසා ද නැත.

නිෂ්පාදන අංශයේ රැකියා

කී කතාව – ‘‘8 අවුරුද්දකට කලින් මම ජනාධිපති වෙනකොට අපට මාසයකට නිෂ්පාදන අංශයේ රැකියා 2000 බැගින් අහිමි වෙමින් තිබුණා. මා ධුරයට පත් වුණාට පසුව නිෂ්පාදන අංශයේ රැකියා 16000 බැගින් එකතු වුණා. මේක අහම්බයක් නොවෙයි..‘‘

ඇත්ත කතාව – ට්‍රම්ප් මෙහිදී ඉදිරිපත් කළ සංඛ්‍යාෙල්ඛණ සත්‍ය ඒවා ය. 2009 ජනවාරි මාසයේ සිට 2016 දෙසැම්බර් දක්වවා ඔබාමා ධුර කාලය තුළ නිෂ්පාදන අංශයේ රැකියා මසකට 12561 බැගින් අහිමි වෙමින් තිබිණි. නමුත් ඔබාමාගේ පාලන සමය තුළ මෙසේ සිදුවූයේ උද්ධමනයේ බලපෑම හේතුවෙනි.

පර්යේෂණාත්මක ඖෂධ

කී කතාව – ‘‘අවුරුදු 45 ක් තිස්සෙ අපි කළ යුතුව තිබුණු දෙයක් මම කළා කියලා බොහොම සන්තෝසෙන් කියනවා. ඒකට අපිට හැම කෙනෙක්ම උදව් කළා. ඒකට කියන්නෙ ‘උත්සාහ කිරීමේ අයිතිය‘ – Right to Try කියලයි. අපිට ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාගාර තිබෙනවා. අපේ මිනිස්සු හිටියෙ හොඳටම අසාධ්‍ය වෙලා. සල්ලි තියෙන හෝ සල්ලි තිබුණු මිනිස්සු ආසියාවට ප්‍රතිකාරවලට ගියා. මොකද ඇමරිකානු ඖෂධ පාලන අධිකාරිය උත්සාහ කිරීමේ අයිතියට ඉඩ දුන්නෙ නෑ. නමුත් දැන් තත්වෙ වෙනස්.“

ඇත්ත කතාව – අසාධ්‍ය ලෙස අසනීප වී ඇති මරණාසන්න මිනිසුන් හට, දැනට අනුමත කර නැති පර්යේෂණාත්මක ඖෂධ ලබාදීම සඳහා වූ පනත් කෙටුම්පතකට ට්‍රම්ප් 2018 වසරේදී අත්සන් කළේය. නමුත් ඇමරිකානු ඖෂධ පාලනාධිකාරිය (FDA) මෙතෙක් අසාධ්‍ය තත්වයේ පසුවූ රෝගීන්ට පර්යේෂණ ඔසු ලබාදීම සිදු නොකළාය යන්න මුසාවකි. 2017 වසරේදී කොංග්‍රසය හමුවට පැමිණි උපදේශකයන් පෙන්වා දුන්නේ ඇ.ඖ. පාලනාධිකාරිය එවැනි රෝගීන්ගෙන් ලැබෙන ඉල්ලීම්වලින් 99%ක්ම ඒ වන විටත් ඉටු කරමින් සිටි බව ය.

සෞඛ්‍යාරක්ෂණය

කී කතාව – ඔබාමා කෙයා සෞඛ්‍ය රක්ෂණය ට්‍රම්ප් සැමදා විවේචනය කරයි. ‘‘මේක තමයි එකම රට, ඔබට සෞඛ්‍ය රක්ෂණය ට දඬුවම් මුදල් ගෙවන්න අවශ්‍ය නැති. දැන් කිසිම කෙනෙක් ගෙවන්න අවශ්‍ය නෑ.“

ඇත්ත කතාව – අනිවාර්ය සෞඛ්‍ය රක්ෂණයක් ලබා නොගන්නා ජනතාවට මූල්‍යමය දඩයක් ගෙවිය යුතු එකම රට ඇමරිකා එක්සත් ජනපදය නොවේ. නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක මෙය සිදු වේ.

ප්‍රධාන ඡායාරූපය – CNN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි