×

ට්‍රම්ප් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට සූදානම්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ. ඉදිරි පැය කිහිපය අතිශය තීරණාත්මක ය.


අද දින රෝස් ගාඩ්න් හිදී සංක්‍රමණිකයන් පිළිබඳ කතා කරමින් ඔහු පැවසුවේ, තමන් රට තුළ හදිසි තත්වය ප්‍රකාශයට පත් කර මෙක්සිකානු දේශසීමාව හරහා තාප්පය ඉදිකිරීමට සූදානම් බවයි.

එසේම ට්‍රම්ප් මෙම ප්‍රකාශය කරන්නේ, පසුගිය දෙසැම්බරයේ පටන් දික්ගැස්සෙමින් යන මධ්‍යම ආණ්ඩුව අක්‍රිය වීමට ආදළ වැදගත් සන්ධිස්ථානයක් උදාවීමට පැය කිහිපයක් තිබියදී ය.

ලංකාවේ වේලාවෙන් 16 වැනිදා උදෑසන 10.30 පමණ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් අයවැය සඳහා සිය අත්සන යෙදිය යුතුය. අතුරු අයවැයක් හරහා ආණ්ඩුව පවත්වාගෙන ගිය කාලය එතැන් පටන් අවසන් වේ.

මේ වන විට CNN වැනි පුවත් සේවාවන් විසින් ඇමරිකාවේ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳ සජීවී යාවත්කාලීනවීම් (ලයිව් අප්ඩේට්ස්) ලබාදෙමින් සිටියි.

ඇමරිකානු ආණ්ඩුවේ සිදුව තිබෙන මෙම ආංශික අඩපණ වීම හේතුවෙන් පසුගිය සමය පුරාම විවිධ දුෂ්කරතා පිළිබඳ වාර්තා විය. මධ්‍යම රජයෙන් වැටුප් ලබන සේවකයන් හට වැටුප් රහිතව සේවය කිරීමට සිදුව තිබෙන්නේ අනාගතයේ මතුයම් දිනෙක හිඟ වැටුප් ලැබීමේ පොරොන්දුව මත ය. මේ පිළිබඳ ලිපි ගණනාවක් අප විසින් පළ කර තිබේ. මේ වන විට මෙම බිඳ වැටීම සිදුවී දින 35 ක් ගත වී ඇත.

කියවන්න: ඇමරිකාවේ නිලධාරීන්ටත් වැටුප් නැහැ. ට්‍රම්ප්ගෙන් ඉතිහාසගත වාර්තාවක්

‘බයිබායි කියමින් ට්‍රම්ප් සාකච්ඡා මේසයෙන් නැගිට යයි

තාප්පය ඕනෑමයි – ට්‍රම්ප් නැවත කියයි.

ට්‍රම්ප් අතිශය බියවිය යුතු – ඇමරිකාවේ බලවත්ම ගැහැණිය නැන්සි පොලොසි

මේ අතර, අද දින පැවැත්වූ කතාවේදී ට්‍රම්ප් විසින් සුපුරුදු පරිදි තාප්පය ඉදිකිරීම සම්බන්ධයෙන් පුරාජේරු කතා කිහිපයක්ම පැවසුවේය.

එයින් එකක් වන්නේ තමන්ට තාප්පය ඉදිකිරීම සඳහා උවමනා තරම් මුදල් ඇති බවයි. නමුත් සැබවින්ම මධ්‍යම රජයේ ආංශික අඩපණ වීම දක්වා දික් ගැස්සී තිබෙන්නේ, අන්තර්වාර මැතිවරණයේ ප්‍රතිඵල හේතුවෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රසයේ බල ග්‍රහණය අහිමි වීමයි. මේ වනවිට ඇමරිකානු කොංග්‍රසයේ බහුතර බලය ඩිමොක්‍රටික් පක්ෂය අත පවතින අතර, සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන් පක්ෂය අත රැඳී තිබේ. ඩිමොක්‍රටික් කථානායිකාව නැන්සි පෙලොසි සිය සමීපතමයන් සමග කිහිප වාරයක් මෙම ආංශික අඩපණ වීම අවසන් කිරීම සඳහා ට්‍රම්ප් සමග සමථයකට එළඹීමට අදහස් කළ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ට්‍රම්ප් දැරූ මතය වූයේ තමන් කෙසේ හෝ තාප්පය ඉදිකරන බව ය. එය ඉදිකිරීම සඳහා අයවැයෙන් මුදල් සම්මත කර නොදෙන්නේ නම්, අයවැය සඳහා අත්සන් නොකරන බව ය. මේ අනුව අද දිනයේ ඇමරිකානු දේශපාලනය තවත් තීරණාත්මක මොහොතක් කරා එළඹෙන්නේ බරපතළ අවිනිශ්චිතතාවයක් ද සමග ය.

CNN පුවත් සේවය සිය විශ්ලේෂණයේ දක්වන පරිදි ‘‘මම තාප්පයෙන් ගොඩක් කොටසක් හැදුවා“ (“built a lot of wall,”) යනුවෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශය වැරදි සහගත ය. එසේම නොමග යවනසුලු ය.

ඊයේ දින වන විට ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ තාප්පයෙන් එක් සැතපුමක් හෝ අලුතෙන් සාදා නැත. ට්‍රම්ප් සිය ධුර කාලය ඇතුළත මේ දක්වා සිදුකර තිබෙන්නේ, දේශසීමා තාප්පයේ ඒ වන විටත් පැවති කොටස් අලුත්වැඩියා කිරීම පමණි. එහිදී ඇ.ඩො. මිලියන 300 කට ආසන්න මුදලක් යොදවා ස්ථාන ගණනාවක, සැතපුම් 40ක් පමණ දුරට තාප්පය අලුත්වැඩියා කර ඇත. දෙසැම්බර් 5 වැනිදා වන විට එම සැතපුම් 40 න් 35 ක් සම්පූර්ණ කර තිබිණි. ඉතිරිය, ඉන්පසු මේ දක්වා කාලය තුළ සිදුකළ වැඩකටයුතුවලට අයත් ය. ඒ බව සනාථ කරන්නේ රේගු සහ දේශසීමා ආරක්ෂණ අධිකාරියයි.

නමුත් මේ කාලය තුළ අලුතෙන් සිදුවූ වෙනස වූයේ තාප්පය අලුතෙන් ඉදිකිරීම සඳහා කටයුතු සූදානම් කර ගැනීමයි. ඒ අනුව සැතපුම් 14 ක් දුරට තාප්පය අලුතෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ටෙක්සාසයේ රියෝ ග්‍රාන්දේ ප්‍රදේශයෙන් පෙබරවාරි මාසයේදී නව ඉදිකිරීම් ආරම්භ වනු ඇත.

ට්‍රම්ප් මෙම තාප්පයේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5.7ක් ඉල්ලා සිටියි.

නමුත් පැහැදිලිවම ට්‍රම්ප්ගේ ධුරකාලය තුළ මේ දක්වා තාප්පයේ එක් සැතපුමක්වත් ඉදිකර නැත. ඔහු ඒ සඳහා සිහින දැකීම වෙනම කතාවකි. අයවැයට සිය විධායක අත්සන යෙදීම ප්‍රතික්ෂේප කරමින්, අත්තනෝමතික ලෙස ‘තාප්ප සිහිනයේ‘ම ගැලී සිටිමින් ඇමරිකානු රාජ්‍යය අස්ථාවර කිරීම එයටම ඈඳුණු තවත් කතාවකි.

මේ අතර ඩිමොක්‍රටික් පක්ෂය පවසන්නේ රට තුළ හදිසි නීතියක් ප්‍රකාශයට පත් කිරීමට ට්‍රම්ප්ට තිබෙන සෑම ඉඩකඩක්ම ඇහිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

නවතම පුවත් බලාපොරොත්තු වන්න…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි