×

උතුරු කොරියාව පොරොන්දු කඩ කරන්නේ දැයි ට්‍රම්ප් සැකයෙන්!

බොහෝ උපකල්පන වලට අනුව එය න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් නම්, දේශගුණික විපර්යාසයන් ට අමතරව මිහිතලය උණුසුම් වීමට තවත් හේතු රාශියක් ඉදිරියේදී මතු වනු ඇත.


උතුරු කොරියාව හා එක්සත් ජනපදය අතර පැවති න්‍යෂ්ටිකකරණය වැළැක්වීම පිළිබඳ සාකච්ඡා අසාර්ථක වූයේ මීට මාස ගණනකට පෙරය.

ඉන් අනතුරුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නව උපායමාර්ගික විසඳුමක් ලෙස න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් පිළිබඳ කළ ප්‍රකාශයක් මාධ්‍ය පුරා ප්‍රචාරය වන්නට විය.

මෙම පුවත ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත් විය.

එයට සමගාමීව බොහෝ රාජ්‍ය අනතුරු අඟවා තිබුණේ උතුරු කොරියාවේ ආතතිකාරී තත්ත්වයන් උත්සන්නව පවතින බවත්, නොබෝ දිනකින්ම න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමට ඉඩ පවතින බවත් ය.

මේ පිළිබඳ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ න්‍යෂ්ටිකකරණය වැළැක්වීමට අදාල ගිවිසුමක් අත්සන් කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරුවේදී  කටයුතු කළ බවයි.

කිම් ජොන් උන් වචන දෙකේ චරිතයක් නොවන බවත්, තම පොරොන්දු ආරක්ෂා කරනු ඇති බවත් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, ට්‍රම්ප්  මේ පිළිබඳ සිය මතය නැවතත් ප්‍රකාශ කර තිබේ.

ඔහුට අනුව කිම් ජොන් උන් න්‍යෂ්ටිකකරණය වැළැක්වීම පිළිබඳ ලබා දී ඇති පොරොන්දු කඩ කරනු ඇත්දැයි තමා සැක කරන බවට ප්‍රකාශ කොට තිබේ.

ෆ්ලොරිඩා සිට නැවත වොෂිංටන් බලා පියාසර කළ ට්‍රම්ප් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මේ බව ප්‍රකාශ කොට තිබේ.

ඒ, පසුගිය ඉරිදා (05) දින ය.

ඉදිරියේදී කුමක් වෙයිද?

මීට ඉහත දී ප්යොංයැං වොෂිංටනයට අනතුරු ඇඟවීමක් කොට තිබිණි.

ඒ තම න්‍යෂ්ටික අවි ගබඩාව පිළිබඳ සාකච්ඡා වලදී නව සහන යෝජනා ඉදිරිපත් කිරීමට වසර අවසානය දක්වා කාලය ඇමරිකාවට ලබා දෙන බව පවසමිනි.

එහිදී ප්යොංයැං වොෂිංටනයට “නත්තල් තෑග්ගක්” ලබා දීමට සූදානම් බවට හාස්‍යයෙන් ඉදිරිපත් කර තිබිණි.

හාස්‍යය කෙසේවෙතත් එම ප්‍රකාශයේ බරපතලකම බොහෝ අවස්ථාවන් වල කතාවට බඳුන් වී තිබිණි.

ඇමරිකාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් මාක් මිලී මීට ඉහත දී මේ පිළිබඳ පවසා තිබුණේ මෙවන් අදහසකි.

අනතුරු ඇඟවීමට අදාලව ප්‍රතිචාර දැක්වීමට ඇමරිකාව ප්‍රමාණවත් මට්ටමක ඉන්නවා. එක්සත් ජනපදය ආරක්ෂා කර ගැනීමට මිලිටරි බලය ප්‍රමාණවත්.

කිම් ජොන් උන් පවසන නව වසරේ ක්‍රියාත්මක වීමට නියමිත “උපායමාර්ගික විසඳුම” කුමක්ද යන්න තවමත් පැහැදිලි විග්‍රහයක් නොමැත.

එහෙත් බොහෝ උපකල්පන වලට අනුව එය න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් නම්,

දේශගුණික විපර්යාසයන් ට අමතරව මිහිතලය උණුසුම් වීමට තවත් හේතු රාශියක් ඉදිරියේදී මතු වනු ඇත.

පෘථිවි වැසියන්ට යැදීමට දෙවියන් ද මදි වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි