×

ට්‍රම්ප් කියුබාවට ආර්ථික බෝම්බයක් හෙලයි! අධ්‍යාපනික හා සංස්කෘතික සංචාර තහනම්!!

ගියොත් කියුබාවට බලාගෙනයි! ට්‍රම්ප් පරිපාලනයෙන් අලුත්ම නීතියක්!!


කියුබාව වැට්ටවීමට ඇමරිකා එක්සත් ජනපදය වෙරදැරුවේ අද ඊයක පටන් නොවේ. සමාජවාදී ස්වාධීන රාජ්‍යයක් වන කියුබාව වෙත මෙවර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලන ඒකකය විසින් ආර්ථික ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, ඇමරිකන් පුරවැසියන් හට අධ්‍යාපනික හා සංස්කෘතික හේතූන් මට කියුබාවේ සංචාරය කිරීම තහනම් කොට තිබේ.

ඇමරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අඟහරුවාදා දින (04) නිවේදනය කළ පරිදි, කියුබාවට සංචාරය කිරීමට ඇමරිකානුවන් බහුලව භාවිතා කළ  ‘මිනිසුන්-වෙත-මිනිසුන්’ වැඩසටහන ඇමරිකානු රජය විසින් අවසන් කරන බවත්, එමඟින් සංවිධානාත්මක කණ්ඩායම් ලෙස කියුබාවට සංචාරය කිරීම මින් මතුවට තහනම් ‍වන බවත් සඳහන් වේ.   

මීට අමතරව, කියුබාවට සිදුකරන තනි පුද්ගල සංචාර ද තහනම් කෙරේ. බදාදා (05) දින “කාර්නිවල් කෝපරේෂන්”, “රෝයල් කැරිබියන්” හා “නෝර්වේජියන්” නම් සංචාරක ආයතන සියළු කියුබානු සංචාර අවලංගු කරන බව නිවේදනය කළ අතර, මෙමඟින් වෙන්කරන ලද සංචාර 800,000 ක් අවලංගු විණි.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ස්ටීවන් නූචින් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වූයේ, “මෙය කියුබාව තුළ කොමියුනිස්ට්වාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත්, වෙනිසියුලාව, නිකරාගුවා වැනි රාජ්‍යයන් වල ඇමරිකානු විරෝධීන් ස්ථාපනය කිරීමත් ආදී කරුණු සලකා බලා එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයක්” බවය.  

ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ග්වායිදියෝ හට වෙනිසියුලානු රජය පෙරලීමට සහය පළ කරන විට, වෙනිසියුලානු ජනාධිපති නිකොලෙයි මදුරෝගේ රජයට කියුබාව සහයෝගය පළ කළේය. කියුබානු විප්ලවයේදී අල්ලා ගන්නා ලද පෞද්ගලික දේපල සම්බන්ධව කියුබාව සමඟ ගණුදෙනු කරන ඕනෑම ඇමරිකානු ජාතිකයකු හට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ට්‍රම්ප් පරිපාලනය පසුගිය අප්‍රේල් මසදී නියෝගයක් නිකුත් කළේය. පෙනී යන අන්දමට, කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් වන කියුබාව දිරවා ගැනීමට නොහැකි ඇමරිකානු පරිපාලනය එය වැට්ටවීමට තම නෛතික රාමුව තුළ හැකි ඕනෑම දෙයක් කරන බව මින් පසක් වෙයි.


කියුබානු ජනාධිපති මිගෙල් දියස්-කානෙල්

ඇමරිකානු රජය නියෝග කළ කියුබානු සංචාර තහනම පිළිබඳ අදහස් දක්වමින් කියුබානු ජනාධිපති මිගෙල් දියස්-කානෙල් ප්‍රකාශ කර සිටියේ, මෙවන් පුහු තර්ජන වලට තම රාජ්‍යය බිය නොවන බවත්, කාර්‍යභාරය ඉටුකිරීම, නිර්මාණශීලීත්වය හා ප්‍රතිඵල තම ප්‍රතිචාරය බවත්, තම රාජ්‍යයේ ගෙල සිරකිරීමට ගත් සියළු උත්සාහ ව්‍යර්ත වූ බවත්, එය කිසිදු දිනක සිදු නොවන බවත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි