×

‘‘අවශ්‍ය දේ කරන්න!‘‘ – ට්‍රම්ප් අවසානයේ බල සංක්‍රාන්තියට එකඟ වෙයි

ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ බල සංක්‍රාන්තියට කිසිසේත්ම උදව් නොකරන සහ, ඔහුගේ ජයග්‍රහණය පවා පිළිනොගන්නා ස්ථාවරයක සිටි ට්‍රම්ප් අවසානයේ පරාජය පිළිගනිමින් තිබේ.


ඊයේ දිනයේ ඔහු විධිමත් ලෙස බල සංක්‍රාන්තියට අවස්ථාව ලබාදිය යුතු බව පිළිගනිමින් පවසා තිබෙන්නේ ‘‘අවශ්‍ය දේ කරන්න‘‘- “do what needs to be done”යනුවෙනි.

ධවල මන්දිරයේ පරිපාලන සේවය (GSA) පැවසුවේ එම ප්‍රකාශය ‘‘බයිඩන් ජයග්‍රාහකයා බව පිළිගැනීමක් ලෙස පෙනෙන බව‘ යි.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ආසන්නතම හේතුව බවට පත් ව තිබෙන්නේ මිචිගන් ජනපදයෙන්ද ජෝ බයිඩන් ජයගෙන ඇති බව නිල වශයෙන් පිළිගැනීමයි. වැඩි ඡන්ද 800,000 කින් බයිඩන් ඉදිරියට පැමිණ ඇති අතර එය ට්‍රම්ප් කිසිසේත්ම අපේක්ෂා කළ දෙයක් නොවේ.

GSA විසින් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට අනුව කටයුතු කිරීම තුළ බයිඩන් හට ඉහළ පෙළේ ආරක්ෂක සමාලෝචනවලට නිල වශයෙන් ප්‍රවේශය හිමි වෙයි. එය අතිශය වැදගත් කාරණයක් වන්නේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙය තීරණාත්මක වන හෙයිනි.

තවද බයිඩන්ගේ සංක්‍රාන්තිය වෙනුවෙන් සකස් කර තිබූ වෙබ් අඩවිය ද ඇමරිකානු ආණ්ඩුවේ ඩොමේන් නාමය යටතට ගෙන තිබේ. එය ද නිල පිළිගැනීමක් ලබාදීමකි. ඒ අනුව අද දිනයේ බයිඩන් විසින් සිය කැබිනට් මණ්ඩලයේ ඉහළ තනතුරුවලට නම් කරන සියලු දෙනා ප්‍රකාශයට පත් කරනු ඇත.

ට්‍රම්ප්ගේ මෙම තීරණය බයිඩන්ගේ කණ්ඩායම විසින් සාදරයෙන් පිළිගත්තේය.

මෙයට පෙර ප්‍රබල රිපබ්ලිකන් පාක්ෂිකයන් කිහිප දෙනෙකු විසින්ම ට්‍රම්ප් විසින් මේ බල සංක්‍රාන්තියට උදව් කිරීම නොපිළිගැනීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබිණි. ටෙනසීස් ජනපදයේ සෙනෙට් සභික ලැමාර් ඇලෙක්සැන්ඩර් පවසා තිබුණේ ‘‘ට්‍රම්ප් ජනපති තමන්ට පෙර රට ගැන සිතිය යුතු බව‘ යි.

මේ අතර තමන් ‘බිස්නස් ටයිකූන්‘ කෙනෙකු සහ ව්‍යාපාරික ප්‍රජාව අතර ජනප්‍රසාදය දිනාගත් කෙනෙකු ලෙස හඳුන්වා දෙන ට්‍රම්ප්ට, ව්‍යාපාරික ප්‍රජාවෙන් ද මේ මුරණ්ඩු හැසිරීමට විරුද්ධව පීඩනය එල්ල වී තිබේ. 160 දෙනෙකුට අධික ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රබලයන් කණ්ඩායමක් විසින් ට්‍රම්ප්ට විවෘත ලිපියක් ලියා ඉල්ලා තිබෙන්නේ ‘‘බයිඩන්ව වහාම තේරී පත් වන්නට නියමිත ජනපති වශයෙන් පිළිගන්නා ලෙස‘‘ ය.

‘‘පැමිණෙන පරිපාලනය විසින් දැනගත යුතු අගනා තොරතුරු සහ සම්පත් ඔවුන්ට නොදීම මගින් ඇමරිකාවේ ජනතාවගේ මහජන සෞඛ්‍යය සහ රාජ්‍ය ආරක්ෂාව උවදුරේ දමනවා..‘‘ යැයි ඔවුන් එයින් පවසා තිබිණි.

මේ අනුව මුළු මහත් ඇමරිකාවම, බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගන්නා ලෙසට බල කරමින් සිටින වාතාවරණයක් තුළ සිය ධුරයේ අවසාන සති කිහිපය, ගොල්ෆ් සෙල්ලම් කිරීමෙන් ඔබ්බට ගොස් වගකීම් සහගත ලෙස නිමා කරන්නට ට්‍රම්ප් අවසානයේ තීරණය කර ඇති සෙයකි.

පෙර ලිපිය

  ‘‘බුද්ධි අංශ සමාලෝචන බයිඩන් හට ලැබිය යුතුයි‘‘ – රිපබ්ලිකන් සෙනෙට් සභිකයන්ගේ සහයෝගය බයිඩන් වෙතට

‘‘බුද්ධි අංශ සමාලෝචන බයිඩන් හට ලැබිය යුතුයි‘‘ – රිපබ්ලිකන් සෙනෙට් සභිකයන්ගේ සහයෝගය බයිඩන් වෙතට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි