×

ට්‍රම්ප්ගේ දෝෂාභියෝග විභාගය 4 වැනි දිනයටත් !

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන සෙනෙට් නඩු විභාගය සිව්වැනි දිනයටත් ළඟා වී ඇත.


සිව්වැනි දිනය පුරාම සෙනෙට් සභිකයන් ඔහුගෙන් නොකඩවා ප්‍රශ්න කළ අතර, ට්‍රම්ප්ගේ නීතීඥයන් දිගින් දිගටම උත්සාහ කළේ ‘භාෂණයේ නිදහස‘ යටතේ ට්‍රම්ප් කී දෑ සාධාරණීකරණය කරන්නට ය.

තවද ඔහුගේ නීතීඥයෝ 1969 වසරේ ‘බ්‍රැන්ඩන්බර්ග් නඩු විභාගය‘ උපුටා දැක්වීමට ද උත්සුක වූහ. එම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් වන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන මිනිසුන් ‘සුවිශේෂී වචන‘ මගින් එම ප්‍රචණ්ඩත්වය විදහා දැක්විය යුතු බව ය. නමුත් පැරණි නඩු තීන්දුවක් වන මෙය මගින්, වත්මන් තත්වය නිරූපණය නොවන බව ප්‍රතිපක්ෂයේ තර්කය විය.

සාක්ෂි වෙනස් කරන බවත්, සාක්ෂි මෙහෙයවීම පක්ෂග්‍රාහී ලෙස සිදුකරන බවටත් ට්‍රම්ප්ගේ නීතීඥවරුන්ගෙන් තවත් චෝදනාවක් එල්ල වේ.

කෙසේ නමුත් මෙම විරෝධතාවලට විශාල ප්‍රතිරෝධයක් එල්ල වූ අතර, සෙනෙට් සභික වොරන් වැනි අය පෙන්වා දුන්නේ විත්තියේ කරුණු දැක්වීම අතිශය දුර්වල බවයි.

මෙම විභාගයේදී ඇමරිකානු කොංග්‍රස් බිල්ඩිම හෙවත් කැපිටල් හිල් වෙත 2021 ජනවාරි 6 වැනිදා ප්‍රහාරකයන් කඩා වැදුණු ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ප්‍රදර්ශනය කෙරිණි. එය චිත්තවේගී අවස්ථාවක් ද විය.

මෙය ඔහු ලක් වන දෙවැනි දෝෂාභියෝගය වේ. ට්‍රම්ප් පළමුවරට 2020 වසරේදී දෝෂාභියෝගයට ලක් කළ නමුත් එය සාර්ථක වූයේ නැත.

මේ වන විට සෙනෙට් සභිකයන් විසින් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න ඇසීම අවසන් කර ඇති අතර, විශ්වාස කෙරෙන්නේ ඉක්මනින්ම මෙම විභාගයේ ප්‍රතිඵලය හෝ තීන්දුව ලබාදීමට හැකි වනු ඇති බවයි.

විත්තිය වෙනුවෙන් පැය 16 ක කාලයක් ලබාදී තිබියදීත් ට්‍රම්ප්ගේ නීතීඥයන් එය පැය 4 ක කාලයකින් අවසන් කිරීම, බොහෝ දෙනෙකු විස්තර කරන්නේ, ‘‘ඔවුන්ට කියන්න දෙයක් නෑ..‘‘ යනුවෙනි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි