×

ඇමරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 03 ඉක්මවද්දී ට්‍රම්ප් ගොල්ෆ් ගසයි!

සමස්ත අරමුදල ඩොලර් ට්‍රිලියන 1.4 වන අතර, ට්‍රම්ප් එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කළහොත් එය එක්සත් ජනපද රජය කඩා වැටීමක් සේ සැලකිය හැකි බවට පැවසේ.


මේ වන විට එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 19 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්වූ ඇමරිකානු වැසියන් හට බයිඩන් පාර්ශවය මඟින් ඉදිරිපත් වූ යෝජිත සහන අරමුදල් ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මිලියන සංඛ්‍යාත ඇමරිකානු වැසියන් පීඩා විඳින විට ට්‍රම්ප් ට ඒ පිළිබඳ තවමත් තැකීමක් ඇති බවක් නම් පෙනෙන්නට නොතිබේ.

ඒ පසුගිය ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් හමුවේ පරාජයට පත්වූ ට්‍රම්ප් නත්තල් සමයේ ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන බවට පුවත් වාර්තා වීමත් සමඟ ය.

ට්‍රම්ප් පරිපාලනය විසින් වාර්තාකරුවන්ට පවසා තිබෙන්නේ නිවාඩු සමය තුළ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ට්‍රම්ප් මහතා විසින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බවයි.

කෙසේවෙතත්, CNN පුවත් සේවය වාර්තා කරන අන්දමට, ට්‍රම්ප් නත්තල් නිවාඩු සමයේ පාල්ම් බීච්හි සිය ගොල්ෆ් සමාජය වෙත යන අයුරු කැමරා කාචයේ සටහන් වී තිබේ.

මෙම දිනයන් ට අදාළ ව ට්‍රම්ප්ට කිසිදු පොදු රැස්වීමක් හෝ කැඳවීමක් නොමැති වීම ද විශේෂත්වය කි. එසේ නම් මේ ගමන් කරන්නේ පෞද්ගලික ගමනක් බවට වඩාත් පසක් වේ.

කොන්ග්‍රසය පුරාවට විවාදයේ යෙදුණු කොවිඩ් සහනය ට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලික්වරුන්ගේ විරෝධය එල්ල වී තිබිණි.

එම සහනයෙන් සෑම ඇමරිකානු පුරවැසියකුට ම ඩොලර් දෙදහසක් ලබා දීමට යෝජනා වූ අතර, එය රිපබ්ලිකන් පාර්ශවය විසින් එකඟ වූ ඩොලර් 600 ට වඩා අතිවිශාල අගයක් වීම මීට හේතුවයි.

කෙසේවෙතත්, මෙම සහනය ලබාදීමට සෙනට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර අනුමැතිය හිමිවූ බවට ධවල මන්දිරයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.

එයට ට්‍රම්ප් සහාය ලබා දෙන්නේ ද යන්න තවමත් අවිනිශ්චිත තත්ත්වයේ පසුවේ.

සමස්ත අරමුදල ඩොලර් ට්‍රිලියන 1.4 වන අතර, ට්‍රම්ප් එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කළහොත් එය එක්සත් ජනපද රජය කඩා වැටීමක් සේ සැලකිය හැකි බවට පැවසේ.

එහි අවසාන ඵලය පීඩාවට පත් ඇමරිකානුවන්ගේ බත්පතට හෙනහුරා පාත්වීමක් වැනිය.

කොවිඩ් වසංගතය හමුවේ ලක්ෂ සංඛ්‍යාත ජනයා රැකියා වියුක්තියෙන් පෙළෙන අතර, ඔවුනට ලැබීමට තිබූ සහන ද මින් අහිමි වනු ඇත.

ඇමරිකාවේ කොවිඩ් අරමුදල පිළිබඳ කතිකාව හිනිපෙත්තට නැඟ ඇති මේ මොහොතේ ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කිරීමට සිය නිකේතනයට පිවිසීම විසිළු සහගත වන්නේ මෙබැවිනි.

මේ වන විට ඩොලර් දෙදහසේ යෝජනාවට ඡන්දය පළ කිරීම සඳහා ඩිමොක්‍රටික් පාර්ශවය විසින් නීති සම්පාදකයින් කැඳවීමට කටයුතු කරමින් පවතී.

එමඟින් අවම වශයෙන් 2021 වසරේ දී ජෝ බයිඩන් මහතා නව ජනපති ලෙස ධුරයේ දිව්රුම් දෙන තුරු හෝ රජය කඩා වැටීම වළක්වා ගත හැකි වනු ඇති බවට ඩිමොක්‍රටික් පාර්ශවයේ මතයයි.

ඡායාරූපය:  ට්‍රම්ප් රැගත් වාහන ෆ්ලොරිඩා හි පාල්ම් බීච් හි ඔහුගේ ගොල්ෆ් නිකේතනය වෙත ගමන කරන අන්දම කැමරා කාචයේ සටහන් වෙයි. Patrick Semansky/AP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි