×

ට්‍රම්ප් කොරෝනා මර්දනය පසෙක තබා සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් මර්දනය අරඹයි!

ඒ අනුව ට්‍රම්ප් මහතා ට මේ මොහොතේ සිදුව ඇති විශාලතම අගතිය වන්නේ රාජ්‍ය නායකයකු වශයෙන් කොරෝනා වසංගතය පාලනය කිරීමට අසමත් වූ රාජ්‍ය නායකයකු වීම නොව මැතිවරණ වංචනික ක්‍රියා පිලිබඳ තමා කළ ප්‍රකාශ සාවද්‍ය යයි ට්විටර් සමගම නාමකරණය කර තිබීමය.


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (28) දින සිය විධායක බලය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ජාල “දැඩි ලෙස නියාමනය” කිරීමට / “වසා දැමීමට” නියෝගයක් නිකුත් කිරීමට සුදානම් වන බව වාර්තා වේ.

මීට හේතුව වී තිබෙන්නේ සිය සුපුරුදු අවාලාද නැගීමට යොදා ගන්නා ට්විටර් සමාජ මාධ්‍ය ජාල තුළ නිකුත් කළ පණිවුඩ කිහිපයක් සාවද්‍ය බවට තොරතුරු නිවරද්‍යතව පිරික්සන පිරිස් හෙවත් ෆැක්ට්-චෙක් කරුවන් විසින් නම්කොට තිබීමයි.

සත්‍ය අසත්‍යතාව කෙබඳු වූවද, තම සිතට නැගෙන ඕනෑම බේගලයක්, අවලාදයක් ඇද බෑමට ට්‍රම්ප් මහතා යොදා ගන්නා සමාජ මාධ්‍ය ජාලය වනුයේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලයයි.

සිය මුරණ්ඩු ට්විටර් පණිවුඩ කුඩා දරුවකුගේ කලහකාරී ප්‍රකාශ වල ස්වභාවයක් ගන්නේ මිස, වැදගත් රාජ්‍ය නායකයකුගේ ප්‍රකාශවල මුහුණුවරක් නොගන්නා බව ඔහුගේ නිල ට්විටර් ගිණුම නෙත ගැටෙන ඕනෑම පුද්ගලයකුට පෙනේ.

සමාජ මාධ්‍ය ජාල වලට එදිරි ඉහත තීන්දුව ගැනීමට ට්‍රම්ප් මහතා සුදානම් වන්නේ එක්සත් ජනපදයේ සිදුවන මැතිවරණ වංචනික කටයුතු පිලිබඳ සාවද්‍ය තොරතුරු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයට පත් කිරීමත් සමග එම ප්‍රකාශ සාවද්‍ය යැයි ට්විටර් සමගම විසින් නාමකරණය කිරීමත් සමඟ යි.

ඔහුගේ ප්‍රකාශ සාවද්‍ය බවට නම් කිරීමට ට්විටර් සමගම කටයුතු කිරීමත් සමග වියරු වැටී ඇති ට්‍රම්ප් මහතා ඊයේ (27) දින [ට්විටර් පණිවුඩයක් ම යොදා ගනිමින්] ප්‍රකාශයක් නිකුත් කරමින් චෝදනා කර තිබෙන්නේ ට්විටර් සමගම “භාෂණයේ නිදහස” මැඩපැවැත්වීමට කටයුතු කරනා බවයි.

එහෙත් ට්විටර් සමගම මෙසේ ට්‍රම්ප් මහතා ගේ ප්‍රකාශ සාවද්‍ය බවට හුදෙක් හිතළුවක් මත නාමකරණය කර නොමැති අතර, එම නාමකරණය තුළින් ඔහුගේ ප්‍රකාශ සාවද්‍ය වන්නේ මන්ද යන්න තහවුරු කිරීමට ට්විටර් පාඨකයන් වෙත තොරතුරු ද ඉදිරිපත් කොට තිබේ.

මන්ද, සාමාන්‍ය ට්විටර් ගිණුම් හිමියකු මෙන් නොව රාජ්‍ය නායකයකු මෙසේ සාවද්‍ය තොරතුරු ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම රාජ්‍යයක් වශයෙන් ප්‍රතිරූපයට ඉතාම අහිතකර බැවිනි.

එසේ සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කර තිබියදී පවා ට්‍රම්ප් මෙසේ වියරු වැටෙමින් “භාෂණයේ නිදහසක්” උදෘත කරමින් ප්‍රකාශ නිකුත් කිරීමෙන් පෙනී යන්නේ ඔහුගේ මුරණ්ඩුකම හා ඔහු අතින් වරදක් සිදුවී ඇති බව වක්‍රාකාරව පිළිගැනීමක් නොවේද?

මෙම සිදුවීම් දාමය හට ගන්නේ එක්සත් ජනපදය තුළ වත්මන් කොරෝනා වසංගතය හමුවේ සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙන හා ඒ පිලිබඳ රටේ නායකයා වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර තිබෙන වාතාවරණයක් තුළ වීමද සුවිශේෂී වේ.

පසුගිය දින එක්සත් ජනපදය කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබීම බොහෝ පාර්ශවයන්ගේ ශෝකයට හා කතාබහට තුඩුදුන් කතිකාවක් වන අතර ඒ පිලිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කර නොමැත.

ඒ අනුව ට්‍රම්ප් මහතා ට මේ මොහොතේ සිදුව ඇති විශාලතම අගතිය වන්නේ රාජ්‍ය නායකයකු වශයෙන් කොරෝනා වසංගතය පාලනය කිරීමට අසමත් වූ රාජ්‍ය නායකයකු වීම නොව මැතිවරණ වංචනික ක්‍රියා පිලිබඳ තමා කළ ප්‍රකාශ සාවද්‍ය යයි ට්විටර් සමගම නාමකරණය කර තිබීමය.

වෙනකක් තබා කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීම තුල ජනපති අපේක්ෂක ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බිඩෙන් මහතා ද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ ජාතිය ඔබ සමග මෙම ශෝකජනක මොහොත ගත කරනා බවයි.

මීට ඉහත, කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ බව නිවේදනය වූ දිනයේදීම ට්‍රම්ප් මහතා ගේ පුත් එරික් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ කොටස් වෙළඳපොළෙහි ප්‍රගතියක් ඇතිවූ බවට සිදු කළ නිවේදනයකට ප්‍රතිචාර දක්වමින් ඩෝ සඳහා ශ්‍රේෂ්ඨ දිනයක් (GREAT DAY for the DOW) යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා රටක් කඳුළු සලන මොහොතක එම දිනය ශ්‍රේෂ්ඨ දිනයක් යැයි ප්‍රකාශ කර තිබීම බොහෝ දෙනාගේ විවේචනයට තුඩු දී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි