×

තාප්පය ඕනෑමයි! – ට්‍රම්ප් නැවත කියයි.

මෙක්සිකෝවේ ඇමරිකානු දේශසීමාව ස්ථිර ලෙස අවහිර කරමින් තාප්පයක් ඉදිකිරීම සඳහා වන කිසිදු යෝජනාවක් සම්මත නොකරන බව ඇමරිකානු කොංග්‍රසය විසින් මේ වන විට පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. ඇමරිකානු මධ්‍යම රජය ට්‍රම්ප් පාලනය තුළ තුන්වන වතාවටත් අකර්මණ්‍ය වීමට හේතු වුණේ ද ට්‍රම්ප්ගේ මෙම ‘තාප්ප සිහිනය‘ යි.


ඇමරිකානු මධ්‍යම රජය ට්‍රම්ප් පාලනය තුළ තුන්වන වතාවටත් අකර්මණ්‍ය වීමට හේතු වුණේ ද ට්‍රම්ප්ගේ මෙම ‘තාප්ප සිහිනය‘ යි.

ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක් අනුමත කර දෙන ලෙස ට්‍රම්ප් ඉල්ලා සිටියි.

එයට වඩා අඩු මුදලකින් තාප්පය ඉදි කළ නොහැකි බව ද ට්‍රම්ප් එකහෙළා කියයි.

තාප්පය ඉදිනොකළහොත් එය රාජ්‍ය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ද කියයි.

නමුත් කොංග්‍රසය මේ සඳහා වූ යෝජනාව සලකා බලන්නට පවා කැමති නැත. එය ‘අධම තාප්පයක්‘ බව (“immoral”) ඔවුන් පැහැදිලිවම කියා තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරණයට තරග කරන විට බංකොළොත් වූ ව්‍යාපාරිකයෙකු වූ නමුත් ට්‍රම්ප් තවමත් සිතන්නේ තමන් ශූර ව්‍යාපාරිකයෙක් කියා ය. එනිසා ඔහු සුපුරුදු පරිදි කේවල් කරමින් සිටියි.

කොංග්‍රසයට තමන් සමග ‘ඩීල්‘ එකට එන ලෙස කියයි. ‘මේ ෂට් ඩවුන් එක හෙට වුණත් ඉවර කරන්න පුළුවන්. හැම දේම තියෙන්නෙ ඩිමොක්‍රටික් සාමාජිකයො අතේ‘ යැයි කියයි.

ඔහු විසින් ඇති කළ අවුල විසඳිය හැක්කේ කොංග්‍රසයට නිසා, කොංග්‍රසය කළ යුත්තේ ඔහු කියන දෙයට එකඟ වී අවුල විසඳීම බව ට්‍රම්ප් සිතයි.

තමන් ඇති කළ අවුලේ තරම ගැන ට්‍රම්ප්ට හැඟීමක් නැත. නමුත් ජනතාවට ඒ ගැන හොඳ හැඟීමක් තිබේ.

Reuters/Ipsos ජනමත විමසුමට අනුව ඇමරිකානු ජනතාවගෙන් 50%ක් මේ ගැන දොස් කියන්නේ ට්‍රම්ප්ට ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ට්‍රම්ප්ට ඇමරිකාවෙන් බාගයක්ම මේ වන විට බනිති. නැන්සි පෙලොසි ලා මෙයට වගකිව යුතු යැයි සිතන්නේ 32%ක් පමණි. ඒ අනුව ට්‍රම්ප්ට මේ වන විට තමන්ගේ ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වී ඇත.

මේ ගත වන්නේ මේ අකර්මණ්‍ය වීමේ 3 වන සතියයි.

බැරිම තැන රිපබ්ලිකන් බහුතර බලය සහිත සෙනෙට් සභාව, අයවැය ගැන ද්වීපාර්ශවික එකඟතාවයක් ඇතිකරගෙන ට්‍රම්ප් ළඟට ගියේය.

එවිට ට්‍රම්ප් කිව්වේ, තාප්පය ගහන්නට මුදල් දෙන තෙක් එයට අත්සන් නොකරන බව ය.

තාප්පයට මුදල් දීම ද ඇතුළත්ව කොංග්‍රසය තවත් කෙටුම්පතක් සකස් කළ නමුත්, එය සාමාජිකයන් 100 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභාවේ 2/3 ලබාගැනීමට, එනම් ඡන්ද 60 ක් ලබාගැනීමට අසමත් විය.

මේ ආංශික අකර්මණ්‍ය වීම පටන් ගත්තේ දෙසැම්බර් 22 වැනිදා ය. එදා පටන් ඇමරිකාවේ රජයේ ආයතනවලින් 25%ක් වසා දමා තිබේ. ඒ, ආයතන ගෙන යාමට මුදල් නැතිකම නිසා ය.

වසා දමන ලද දෙපාර්තමේන්තු ගණන 9 කි. අභ්‍යන්තර ආරක්ෂාව, අධිකරණ දෙපාර්තමේන්තුව, නිවාස, කෘෂිකර්ම, වාණිජ, අභ්‍යන්තර කටයුතු සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වේ.

ජාතික උයන්, වන උයන්, රක්ෂිත කාර්ය මණ්ඩලය නැති කමින් අපායවල් බවට පත්ව තිබේ.

යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ ස්වයංක්‍රීය උපදෙස් පද්ධති වසා දමා ඇති නිසා, එය නැරඹීමට ගිය තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැසිකිළි පිරිසිදු කිරීම් පවා මේ වන විට පුද්ගලික සමාගම්වලට භාරදීමට සිදුව තිබේ.

ෆෙඩරල් සේවකයන් ලක්ෂ 8කට දෙසැම්බර් මාසයේ වැටුප් ලැබුණේ නැත. ඒ, මෙවැනි තත්වයක් තුළ ඔවුන්ට නිවාඩු යාමට සිදුවන නිසා ය. එසේත් නැතිනම් වැටුප් නැතිව, පසුව ගෙවීමේ පදනම මත වැඩ කරන්නට සිදුව තිබෙන නිසා ය.

නමුත් ට්‍රම්ප්ගේ මුරණ්ඩුකම සහ කොංග්‍රසයේ බල පෙරළිය තුළ ඒ දිනය කවදා ඒදැයි කියන්නට නොහැක.

පාලකයන්ට වැටුප් ගෙවීම් කල්දමන්නට පුළුවන. නමුත් කුසගින්න කල්දමන්නට කිසිවෙකුට බැරි ය.

එනිසා මේ තත්වය දිගටම පැවතුණහොත් තමන්ට වෙනත් රැකියා සොයාගන්නට සිදුවන බව රජයේ සේවකයෝ කියති.

නමුත් ‘‘තාප්පය ඕනෙමයි.. ගාන අඩු නෑ‘‘ යැයි ට්‍රම්ප් තවමත් කියයි.

Henry Payne
Henry Payne


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි