×

ට්‍රම්ප් ඇමරිකාවම සොහොනට දක්කයිද?

දෛනිකව ආසාදිතයින් දහස් ගණනින් හමු වීම තවදුරටත් අවසන් වී නොමැති පසුබිමක ජනධිපතිවරයාගේ කතාව කොරෝනාවෙන් අතිශය පීඩාවකට පත්ව සිටින ඇමරිකානුවන් තවදුරටත් අධෛර්යමත් කිරීමකි.


කොවිඩ් 19 පරීක්ෂණ අඩුකරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සෞඛ්‍ය අංශවලට උපදෙස් දී තිබේ.

පරීක්ෂණ වැඩිකරන විට ආසාදිතයින් වැඩි වැඩියෙන් හමුවන හෙයින් පරීක්ෂණ අඩුකරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

ජනාධිපති ට්‍රම්ප් මේ බව සඳහන් කළේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නතර කර තිබූ ජනධිපතිවරණ ප්‍රචාරක රැළි මාලාව ඔක්ලහෝමා හි ටල්සා නගරයේ පැවති රැළියක් අමතමිනි.

පරීක්ෂණ දෙබිඩි කඩුවක් වන හෙයින් තවදුරටත් පරීක්ෂණ කිරීමෙන් තව තවත් රෝගීන් හමුවන අතර මේ වන විටත් මිලියන 25ක් පමණ ජනතාව පරික්ෂාවට ලක්කර ඇති බවත් මේ ජනාධිපතිවරයා පවසා තිබේ.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට විරෝධය පළකරමින් ඩිමොක්‍රටික් සාමාජිකයන් පවසා තිබුණේ ඔහුගේ රැළියේ තිබූ නින්දිතම කොටස මෙම පරීක්ෂණ අඩු කිරීමට සෞඛ්‍ය අංශවලට උපදෙස් දුන් බවට කළ ප්‍රකාශයයි.

මේ අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමරිකානුවන් ප්‍රකශ කර ඇත්තේ ට්‍රම්ප් නැවත වරක් විහිළු සපයමින් සිටින බවයි.

රැළියට සහභාගී වී සිටි ට්‍රම්ප් අනුගාමිකයන්ද ඔහු යන මගම යමින් කිසිදු ආරක්ෂක විධික්‍රමයක් භාවිතා කර නොතිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සැලකිය යුතු පිරිසක් එම රැළියට සහභාගී නොවුණත් සහභාගී වූවන් මුව ආවරණ පැළඳීම හෝ දුරස්ථභාවය තබා ගැනීම හෝ සිදුකර නොතිබුණි.

ජනාධිපති ට්‍රම්ප් සිය අසමත්කම පසෙක තිබියදී සුපුරුදු පරිදි චීනයට වාග් ප්‍රහාරය එල්ල කිරීමට ද රැළියේදී අමතක කර තිබුණේ නැත.

මෙවර ඔහු චීනයට සිය විරෝධය මුදා හැරියේ චීනයේ ක්‍රීඩාවක් වන “කුංග් ෆූ”, “කුන්ග් ෆ්ලූ” ලෙස දක්වමිනි.

මෙම රැළියේ ස්වභාවය පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකාවේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මේගන් රෙනී පවසා තිබුණේ එම රැළියද තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීමට හේතුවක් විය හැකි බවයි.

මේ වන විට ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 2.3 ඉක්මවා තිබෙන අතර මරණ 122,000 අභිබවා යමින් තිබෙන බවයි.

දෛනිකව ආසාදිතයින් දහස් ගණනින් හමු වීම තවදුරටත් අවසන් වී නොමැති පසුබිමක ජනධිපතිවරයාගේ කතාව කොරෝනාවෙන් අතිශය පීඩාවකට පත්ව සිටින ඇමරිකානුවන් තවදුරටත් අධෛර්යමත් කිරීමකි.

ASK – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි