මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට ගැනීමත් සමඟ සිනාලෝවා ප්‍රාන්තයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සිනාලෝවා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ලබන සතියේ උතුරු ඇමරිකානු නායක සමුළුවක් සඳහා මෙක්සිකෝවට පැමිණීමට නියමිත වන හෙයින් ෆෙඩරල් සන්නද්ධ හමුදා බ්‍රහස්පතින්දා අලුයම සිට Culiacán හි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙස ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට පත් වූ බව මෙක්සිකෝහි ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ.
මොහු විසින් රසායනාගාර එකොළහක් පමණ අධීක්‍ෂණය කරමින් මසකට මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,300- 2,200 (3000-5000lb) නිපදවන බව පොලීසිය විසින් වාර්තා කර තිබේ.
මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් 2019 දී ද ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ආධාරකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයේ තර්ජනය වළක්වා ගැනීම සඳහා නැවත ඔහුව නිදහස් කර තිබේ.
ගුස්මාන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “එල් චාපෝ” ගේ පුත්‍රයෙකු වන අතර වසර ගණනාවක් තිස්සේ පෙලීසිය විසින් සොයමින් සිටි අපරාධකරුවෙකි. එල් චාපෝ මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු එක්සත් ජනපදයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටීයි. ගුස්මාන් අත්තඩංගුවට පත්වීමත් සමඟ කෝපයට පත් කල්ලි සාමාජිකයන් මාර්ග බාධක දමා, වාහනවලට ගිනි තබමින්, ප්‍රාදේශීය ගුවන් තොටුපළක මගී ගුවන් යානයක් ගුවන්ගත වීමට සූදානම් වෙමින් සිටියදී වෙඩි තබා තිබේ. මේ හේතුවෙන් සිනාලෝවා ගුවන් තොටුපල ගුවන් වාර සියයකට වඩා අවලංගු කර ඇත.
සශිකලා මධුෂාණී_