×

ඔස්කාර් තරඟ බිමට “ගින්නෙන් උපන් සීතල” සහ “According to Matthew”

ලොව සුපතල ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ඛාණ්ඩය යටතේ තරඟ වදිනු වස් එකී ඛාණ්ඩයට ඇතුළත්වීමට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය සිනමාපට ද්විත්වය ලෙසින් ඉතිහාසයට එක්වීමට අනුරුද්ධ ජයසිංහගේ "ගින්නෙන් උපන් සීතල" සහ චන්ද්‍රන් රත්නම්ගේ "According to Matthew" යන සිනමාපට නොබෝදා සමත්විය.


ඒ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ මූලිකම කොන්දේසිය වන 2018.01.01 සිට 2018.12.31 යන කාල පරාසය තුළ අවම වශයෙන් ලොස් ඇන්ජලීස්හී පිහිටි එක් සිනමා ශාලාවක් තුළ මුදල් ගෙවා නැරඹීමේ පදනම මත, අවම වශයෙන් දිනකට දර්ශන වාර තුනක් (එක් දර්ශන වාරයක් ප.ව 6.00- ප.ව 10.00 අතර අනිවාර්‍ය වේ) සහිතව අඛණ්ඩව දින 07ක් තිරගත වූ සිනමාපටයක් වීම සහිතව සෙසු කෝන්දේසි සපුරාලීමට එකී සිනමාපට සමත්වීම නිසාවෙනි. ඒ අනුව “ගින්නෙන් උපන් සීතල” සිනමාපටය සැප්තැම්බර් මාසයේදීද , “According to Matthew” සිනමාපටය දෙසැම්බර් මාසයේදීද ඇමෙරිකාව තුළ තිරගතවිය.

එළඹෙන 2019 වර්ෂයේදී 91 වෙනි සම්මාන අදියර සමරන ඔස්කාර් සම්මාන උළෙල ඉතිහාසයේ, උළෙලේ ප්‍රධාන තරග කාණ්ඩයට ඇතුළත් වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලද පළමු අවස්ථාව මෙය වුවද, කුමන හෝ තරඟ ඛාණ්ඩයක් ඔස්සේ ඔස්කාර් නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය සිනමාපටයක් සුදුසුකම් ලද පළමු අවස්ථාව සටහන් වන්නේ 2004 වර්ෂයේ පැවති 76 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේදීය. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ හා චන්ද්‍රන් රත්නම් නිෂ්පාදනය කළ “වෑකන්ද වලව්ව” සිනමාපටය “හොඳම විදෙස් භාෂිත සිනමාපටය” (Best Foreign Language Film) නම් වූ තරඟ කාණ්ඩයේ මූලික වටයට ඇතුල් වීමට සුදුසුකම් ලැබීම තුළිනි.

එයට අමතරව චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ “අලිමංකඩ” (The Road from the Elephant Pass) සිනමාපටයද 2010 වර්ෂයේ පැවති 82 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ ” හොඳම විදෙස් භාෂිත සිනමාපටය” ඛාණ්ඩයේ මූලික වටය නියෝජනය කිරීමට සමත්විය. එනමුදු එකී අවස්ථාවන් ද්විත්වයේදීම දෙවන වටයට හෝ අවසන් නිර්දේශිත නාමයන් (Nominations) අතරට එක්වීමට ශ්‍රී ලාංකේය සිනමාපට සමත්නොවීය. එසේවුවද, “According to Matthew” හරහා තෙවෙනි වරටත් , චන්ද්‍රන් රත්නම් නිෂ්පාදනය කළ හෝ අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් ඔස්කාර් මූලික වටයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබ තිබීම කැපී පෙනේ.

ශ්‍රී ලාංකේය සිනමාපට ද්විත්වයත්, ලොව සුපතල වූ “Black Panther”, ” Avengers: Infinity War”, “Jurassic Word: Fallen Kingdom”, “Venom” , “The Nun” වැනි සිනමාපටත් ඇතුලුව සිනමාපට 347 ක් 2019 වර්ෂයේ ඔස්කාර් ප්‍රධාන තරඟ ඛාණ්ඩයට ඇතුලත් වීමට සුදුසුකම් ලැබ තිබීම විශේෂත්වයකි. මෙහිදී එකී සිනමාපට නැරඹීමෙන් අනතුරුව එකී සිනමාපට වෙනුවෙන් සිය ජන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම “Academy of Motion Picture Arts and Sciences” හී ජන්ද බලය හිමි සමාජිකයින් හට 2019.01.07 සිට 01.14 දක්වා වූ කාල පරාසය තුලදී හිමිවේ. එයින් ලැබෙන්නාවු ප්‍රතිඵල අනුව සම්මාන උදෙසා වූ නිර්දේශන් (Oscar Nominations) ප්‍රකාශයට පත්කිරීම ජනවාරි 22 දිනත්, එලෙස ප්‍රකාශයට පත්කරන නිර්දේශන් උදෙසා ඇකඩමි සමාජිකයින්ගේ අවසන් ජන්ද විමසීම 2019.02.12 සිට 02.19 දක්වාවූ කාල පරාසය තුලදීත් සිදුවේ. ඒ අනුව එකී අවසන් ජන්ද විමසිමේදී වැඩිම මනාපයන්ට හිමිකම් කියන පාර්ශවයන් 2019.02.24 දින පැවැත්වෙන 91 වෙනි ඔස්කාර් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍රවේ.

පෙරකී දැවැන්ත නිර්මාණයන් හා තරග වදිමින්, ඇමෙරිකානු ජාතිකයින් අති බහුතරයකින් සැදුම්ලත් ඇකඩමි සාමාජිකයින්ගේ මූලික කැමැත්ත මත ශ්‍රී ලාංකේය සිනමාපට ද්විත්වය හට නිර්දේශ නාමයන් අතරට එක්වීමට අවස්ථාව හිමිවුවද නොවුණද, ශ්‍රී ලාංකේය සිනමාපට වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහ සහ චන්ද්‍රන් රත්නම් මෙලෙසින් විවර කළා වූ දොරටුව ප්‍රශංසාජනකය. එම නිසාවෙන් ඔස්කාර් උළෙල පවතින තාක් එකී උළෙලේ ප්‍රධාන තරඟ ඛාණ්ඩය නියෝජනය කිරීමට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය සිංහල භාෂිත සිනමාපටය ලෙසින් “ගින්නෙන් උපන් සීතල”ත්, පළමු ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි භාෂිත සිනමාපටය ලෙසින් ” According to Matthew” ත් ඉතිහාසයේ සටහන්ව පවතිනු ඇත.

උදිත ලක්මාල් කහඳවආරච්චි | Udithe Lakmal Kahandawaarachchi

පෙර ලිපි-

මැතිව් පීරිස් නඩුව ලෝක සිනමාවට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි