×

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 70 ට ඉහළ සියළු දෙනා නිවසේ රැඳී සිටිය යුතුයි!

වියපත් ප්‍රජාවට තම අත්‍යාවශ්‍ය ඖෂධ හා ආහාර පාන ආදිය නිවෙස් වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.


බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 70 ට ඉහළ සෑම පුද්ගලයකුම එළඹෙන සති කිහිපය තුළ තම නිවසේ රැඳී සිටිය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා පැවසීය.

ඒ වත්මන් කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් ආරක්ෂා වීමේ පෙර සූදානම් පිළිවෙතක් ලෙසය.

මෙය නීතියක් ලෙස බල පැවැත්වීමට තවමත් අදහස් නොකරන මුත් එසේ උපදෙස් ලබා දීම යෝග්‍ය බව ඒ මහතා සඳහන් කළේය.

එය නීතියක් ලෙස බල පැවැත්වෙන තත්වයට පත්වූවහොත් “බොහෝ කාලයකට” ක්‍රියාත්මක වනු ඇති බවටත් හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (14) දින තුළ එංගලන්තයේ කොරෝනා ආසාදානය වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මරණයට පත්වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ සමස්ත මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබිණි.

මේ සමඟ බ්‍රිතාන්‍ය මතුවූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වෛරසය පාලනය කිරීමේ හා නිරෝධායනය කිරීමේ ක්‍රියාවලීන් විධමත් කරන ලෙස පුරවැසියන් බ්‍රිතාන්‍ය රජයට බල කරමින් සිටී.

වාර්තා වූ සියළු මරණ අවුරුදු 60 ට ඉහළ වැඩිහිටි පුද්ගලයන් හෝ රෝගාබාධ වලින් පසුවූ පුද්ගලයන් ය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා අවධාරණය කර සිටියේ වයස අවුරුදු 70 ට ඉහළ පුද්ගලයින් හා සෞඛ්‍ය ගැටළු සහිත කුඩා දරුවන් වෛරසය සම්ප්‍රේශණය වීමේ අධි අවදානමකින් පසුවන බැවින් ඉහත උපදෙස් ලබා දීමට කටයුතු කරන බවයි.

මීට අමතරව වියපත් ප්‍රජාවට තම අත්‍යාවශ්‍ය ඖෂධ හා ආහාර පාන ආදිය නිවෙස් වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි