×

බ්‍රිතාන්‍යයේ චීන කොන්සියුලර් කාර්යාලය අසල සිදුවූ පහර දීමට රජයේ ප්‍රතිචාරය

මෙම ප්‍රහාරය කිසිසේත්ම අනුමත කරන්න බැහැ... බ්‍රිතාන්‍ය රජය ප්‍රතිචාර දක්වයි!


ඉකුත් ඉරු (16) දින බ්‍රිතාන්‍යයේ උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර් හි චීන කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිට චීන ජනපති ෂී ජින්පින්ග් ට එරෙහිව පැවති විරෝධතා අතරතුර කොන්සියුලර් කාර්යමණ්ඩල නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට පහර දීම පිළිබඳව බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

එකී විරෝධතා සංවිධානය කර තිබුනේ චීන ජනාධිපතිවරයාට එරෙහිව වන අතර, ඒ ඉකුත් දිනක චීන රජය විසින් හොංකොං රටට අදාළව ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් හඳුන්වා දීම මත ය.

මෙම ප්‍රතිපත්තියට අදාළව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චීන රජයට චෝදනා එල්ල වූ අතර, හොංකොං හි මිලියන තුනක පමණ ජනතාවකට බ්‍රිතාන්‍යයට පැමිණීමට වීසා අයදුම් කිරීමේ අවස්ථාව මින් උදාවිය.

එතැන් පටන් බ්‍රිතාන්‍යය සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතුවූ අතර, චීන ජනපතිවරයාට එරෙහිව මැන්චෙස්ටර් හි චීන කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ සාමකාමී විරෝධතා අතරතුරදී විරෝධතාකරුවකුට පහර දී බිම ඇදගෙන යන අයුරු කැමරා කාචයේ සටහන් වී තිබිණි.

මෙම ප්‍රහාරය සාධාරනීකරණය කරමින් චීන රජය නියෝජනය කරමින් චීන විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබුණේ එම කාර්යාලයේ නිලධාරීන්ට අපහාස සිදුකරන අයුරින් විරෝධතාකරුවන් හැසිරුන බවත්, නීතිවිරෝධී ලෙස හැසිරීමෙන් චීන කොන්සියුලර් කාර්යාලයේ ආරක්ෂාවට තර්ජනයක් සිදුවන අයුරින් හැසිරීම සහ නීතිවිරෝධී ලෙස කොන්සියුලර් පරිශ්‍රයට ඇතුළු වීමට තැත්කිරීම මත පහර දීමක් සිදුවූ බවත් ය.

කෙසේවෙතත්, මීට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම පහර දීම පිළිගත නොහැකි හැසිරීමක් බවත්, මීට අදාළව විමර්ශනයක් දියත් කරන බවත් ය.

ඔවුන් සිටින්නේ බ්‍රිතාන්‍ය දේශසීමාව තුළ බැවින් තම පුරවැසියන්ට මෙසේ පහර දීමට හැකියාවක් නැති බවයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම මෙම විරෝධතාවය නීත්‍යානුකූල බව ද හෙතෙම අවධාරණය කළේය.

හොංකොං බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස්ව චීනයේ පාලනයට නතුවූයේ 1997 වර්ෂයේ වන අතර, එමඟින් හොංකොං හි වඩාත් ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට හැකියාව තිබෙන බවට එවකට චීන සමූහාණ්ඩුව ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, හොංකොං හි ස්වෛරීභාවය අනතුරේ හෙලමින් චීන රජය හොංකොං රටට අදාළව සම්පාදනය කළ ආරක්ෂක ප්‍රතිපත්ති මත, දැනටමත් බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබා ගැනීමට කටයුතු කළ හොංකොං පුරවැසියන් සංඛ්‍යාව රාශියකි.

උක්ත චීන කොන්සියුලර් කාර්යාලය අසළ පැවති විරෝධතාවයට විරෝධතාකරුවන් 40 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර, එය සාමකාමී ව චීන ජනපතිවරයාට එරෙහිව පැවැත්වූවක් බවට වාර්තා වේ.

මෙම විරෝධතාවයට හොංකොං සිට බ්‍රිතාන්‍යයට පැමිණ පුරවැසිභාවය ලබාගත් පුද්ගලයන් ද සහභාගී වී ඇත.

ඉකුත් දින චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් චීන ජනපති ෂි ජින් පින්ග් ප්‍රකාශ කර තිබුණේ තායිවානයේ සාමකාමී එකමුතුවට සහාය ලබා දෙන මුත්, තමා බලය අත් නොහරින බවයි. තව ද චීනයේ මාවෝ සේතුං ගෙන් පසුව සිටින බලවත්ම නායකයා ලෙස ඔහුගේ තනතුර තහවුරු කරමින් ගෙවූ වසර පහට අමතරව තවත් කාලයක් චීනයේ පාලනය තමා යටතේ පවත්වා ගැනීමට ඔහු කටයුතු කරන බව වාර්තා වී තිබිණි.

හොංකොං හි මතුව ඇති තත්ත්වයට අමතරව, චීන ජනපතිවරයා තම බලය තහවුරු කර ගැනීමට දරන උක්ත ප්‍රයද්නයට එරෙහිව ද මෙම විරෝධතා සංවිධානය කර තිබූ බවට සඳහන්.

ඡායාරූප: බීබීසී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි