×

බරපතල දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයින් 22 කට බ්‍රිතාන්‍ය රජයෙන් සම්බාධක!

බ්‍රිතාන්‍යය තුළ බරපතල දූෂණ චෝදනා එල්ල වූ විදෙස් ජාතිකයින් විසි දෙදෙනෙකුට සම්බාධක පැනවීමට එරට රජය තීරණය කර තිබේ.


මෙම පුද්ගලයන් රුසියාව, දකුණු අප්‍රිකාව සහ වෙනත් රාජ්‍ය 4ක් නියෝජනය කරන්නන් ය.

මෙසේ සම්බාධක පැනවීම සිදුකර තිබෙන්නේ එරට දූෂණ අක්‍රමිකතා මැඬලීමේ නව වැඩපිළිවෙලක (Global Anti-Corruption Sanctions Regime) එක් පියවරක් වශයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පුද්ගලයින් අතර, රුසියාවේ ප්‍රධාන බදු වංචාවකට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙකු, දකුණු අප්‍රිකාවේ දූෂණ වලට සම්බන්ධ සහෝදරවරුන් තිදෙනෙකු, සහ අල් කාඩිනල් යන නාමයෙන් ප්‍රසිද්ධ සුඩාන ජාතික ව්‍යාපාරිකයකු වෙති.

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ඩොමිනික් රාබ් මහතා අවධාරණය කළේ ලොව කුමන කොනක සිටියද එක්සත් රාජධානියේ කීර්තියට හානි පමුණුවන අන්දමේ දූෂණ අක්‍රමිකතා දක්වන පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව දූෂිත මුදල් භාවිතා කිරීමට එක්සත් රාජධානිය යොදාගන්නා ඕනෑම පුද්ගලයකුට එරෙහිව මෙම සම්බාධක පැනවෙනු ඇති.

රුසියානු ජාතික නීතීඥවරයකු වන සර්ගෙයි මැග්නිට්ස්කි ඉහත රුසියාව සම්බන්ධ වූ ප්‍රධාන බදු වංචාවකට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනා හෙළිදරව් කර ගැනීමට බ්‍රිතාන්‍ය රජයට සහාය වූවෙකි.

මැග්නිට්ස්කි ලබා දුන් සේවාව තුළ ඔහු 2008 වර්ෂයේ රුසියාවේදී අත්අඩංගුවට පත්වන්නේ බදු වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වල නියැලෙමින් සිටි අතරවාරයේ යි.

2009 වර්ෂයේදී මැග්නිට්ස්කි මහතා ජීවිතයෙන් සමුගන්නේ අවාසනාවන්ත ලෙස සිරකුටිය තුළදී මයි. එමෙන්ම ඒ මහතා වධහිංසනයට ලක්ව ඇති බවද පසු කලක මානව හිමිකම් කොමිසමක් මඟින් අනාවරණය කරගෙන තිබිණි.

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් රාබ් මහතා අවධාරණය කරනු ලැබුවේ මැග්නිට්ස්කි මහතා ලබා දුන් සේවාව තුළ ගෝලීය දූෂණ විරෝධී සම්බාධක රෙජිමය (Global Anti-Corruption Sanctions Regime) පිහිටුවීමට ද ඔහු ආදර්ශයක් වූ චරිතයක් බවයි.

මැග්නිට්ස්කි ගේ දූෂණයට එරෙහි උදාරතර මෙහෙය කිසිදිනක අමතක නොවනු ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

බ්‍රිතාන්‍ය රජය විසින් දූෂණයට එරෙහිව ආරම්භ කළ මෙම ගෝලීය දූෂණ විරෝධී සම්බාධක රෙජිමය නම් වැඩපිළිවෙල එක්සත් ජනපදය ඇතුළු වෙනත් රාජ්‍යයන්ගේ ද පැසසුමට ලක්ව තිබේ.

Dominic Raab Photo: Sky News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි