×

බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත නොවුනත් සෞඛ්‍යය ක්ෂේත්‍රය ආරක්ෂිතයි, බ්‍රිතාන්‍ය රජයෙන් නිවේදනයක්

එය තවමත් හුදෙක් ගිවිසුම් කෙටුම්පතක් පමණි!


එළඹෙන ඔක්තෝබර් 31 වන දින බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාමට නියමිතය. මෙම සිදුවීම හඳුන්වනු ලබන්නේ බ්‍රිටේයින් එක්සිට් නොහොත් බ්‍රෙක්සිට් (Britain Exit: Brexit) නමිනි. මෙම තීරණය අනුමත වූයේ 2016 වර්ෂයේ ජූනි මස සිදුවූ ජනමත විචාරණයකිනි. එනම් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යා යුතුය යන මතයට එකඟතාව පළකළේ බ්‍රිතාන්‍යයින් විසින්ම ය. බ්‍රිතාන්‍යයේ අදෘශ්‍යමාන දක්ෂිණාංශික වාමාංශික මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එතැන් පටන් හටගත් බොහෝ බෙදීම් හා මතභේද මේ බ්‍රෙක්සිට් වටා ගෙතී පවතී. 

බ්‍රිතාන්‍යයේ නගර හා ගම් අතර, සංවිධාන අතර, මෙන්ම පාර්ලිමේන්තුව තුළ පවා මෙම විචාරණය නිසා බෙදීම් හට ගැණිනි. මේ වන විට ඇමරිකාව ඇතුළු දක්ෂිණාංශික මතධාරී බොහොමයක් රටවල් බ්‍රෙක්සිට් වෙත සහය පළකර තිබේ. එහෙත්, එම තීරණය හමුවේ දාම ප්‍රතික්‍රියාවක් (chain reaction) මෙන් ආර්ථිකය, ස්වෛරීභාවය, වෙළඳපළ ආදී විවිධ පැතිකඩයන්හි කඩාවැටීම පිළිබඳ අනතුරු ඇඟවීමට තවත් පිරිසක් උත්සුක වෙමින් පවතී. යුරෝපා සංගමයම මෙම තීරණය ගැනීමේ ආදීනව පිළිබඳ මේ වන විට බ්‍රිතාන්‍යයට අනතුරු අඟවා තිබේ. ලෝකයේ විවිධ රටවල් බ්‍රිතාන්‍යය සමඟ අනාගත වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට මැලිවන තත්ත්වයක් පවා මේ නිසා උද්ගත වී පවතී. එමඟින් මෙම ගැටළුව බ්‍රිතාන්‍යයට පමණක් සීමා නොවී සමස්ත ලෝක වෙළඳපල දාමයටම බලපානු ඇති බවට අමුතුවෙන් පැවසිය යුතු නැත. බ්‍රිතාන්‍යය ගත් මෙම තීරණය කොතෙක් ස්වාධීනත්වය පිළිබඳ උදම් ඇනුවද අපගේ පුංචි දිවයින ශ්‍රී ලංකාවට ද යම් දිනක බලපානු ඇත. 

වර්තමාන බ්‍රිතාන්‍ය අග්‍රාාමාත්‍ය බොරිස් ජොන්සන් මේ වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම පිළිබඳ ගිවිසුමක් ලබා ගැනීමට වෙර දරමින් පවතී. 

බ්‍රෙක්සිට් ගිවිසුම යනු කුමක්ද?
බ්‍රෙක්සිට් නික්ම යාමේ ගිවිසුම (The draft Agreement on the Withdrawal of the United Kingdom from the European Union), නැතහොත් බ්‍රෙක්සිට් ගිවිසුම, යනු යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය අතර තහවුරු නොකළ (unratified) ගිවිසුමක් වන අතර, ඒ තුළින් බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල් අතර පවතින මුදල්, පුරවැසි අයිතිවාසිකම්, දේශසීමා විධිවිධාන සහ ආරවුල් විසඳීම වැනි කරුණු නියාමනය කිරීම ආවරණය කරයි. මෙකී ගිවිසුම තහවුරු වීම (ratification) හරහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් නික්ම යාම තුළ මෙම කරුණු නියාමනය සඳහා ස්ථිරභාවයක් ලැබෙන අතර, යුරෝපා සංගමයේ සාමාජික රටක් වශයෙන් බ්‍රිතාන්‍යය දැරූ සීමාවන් අහෝසි වේ.‍ එම නික්ම යාම සිදුවීමට නියමිත එළඹෙන ඔක්තෝබර් 31 වෙනි දින දක්වා පවතින සංක්‍රාන්ති කාල පරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර පවතින සබඳතා පිළිබඳ දළ සටහනක් ද මෙම ගිවිසුමෙහි අඩංගු වේ. 

මෙම ගිවිසුම තහවුරු වීමට (ratification) වීමට පාර්ලිමේන්තු බහුතර කැමැත්ත අවශ්‍යය. කෙසේවෙතත්, මේ වන තුරු මෙම ගිවිසුමේ පවතින ආන්දෝලනාත්මක තත්ත්වය මත එකී තහවුරුභාවය සනාථ කර ගැනීමට බ්‍රිතාන්‍යයට හැකිවී නැත. මේ සඳහා බ්‍රිතාන්‍යය ඉදිරිපත් කළ යෝජනා මාලාවද යුරෝපා සංගමය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ එහි ගිවිසුමක් තහවුරු කර ගැනීම සඳහා පදනම් වූ කිසිදු කරුණක් අඩංගු නොමැති බව පවසමිනි.

එබැවින් තවමත් එය හුදෙක් ගිවිසුම් කෙටුම්පතක් පමණි!

බ්‍රිතාන්‍ය රජයේ බැක් අප් ප්ලෑන් එක
එහෙත් පසුගිය අඟහරුවාදා (08) දින බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයක් කරන ලදී. ඒ යම් හෙයිකින් බ්‍රෙක්සිට් ගිවිසුම තහවුරු නොවී බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් නික්ම යාමට සිදුවූවහොත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ඔවුනට පවතින බවයි. 

බ්‍රෙක්සිට් ගිවිසුම ඔක්තෝබර් 31 දිනට පෙර තහවුරු නොවුනහොත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යන විට ඉහත කී මුදල්, පුරවැසි අයිතිවාසිකම්, දේශසීමා විධිවිධාන ආදී බොහෝ කරුණු අවදානමට ලක්වීමේ ඉඩක් පවතී. එහෙයින් දැන් බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙන්නේ යම් හෙයිකින් මෙම ගිවිසුම තහවුරු නොවුනහොත් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වත් “බැක්අප් ප්ලෑන්” එකක් තබා ගැනීමය. 

ඒ අනුව, ඉදිරියේදී එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශය නඟා සිටුවීමට හා සේවාවන් තහවුරු කර සිටීමට රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය භාණ්ඩ සැපයුම්කරුවන් සඳහා ‘ආධාරක ඒකකයක්’ පිහිටුවමින් සිටින බවට බ්‍රිතාන්‍යය නිවේදනය කරන ලදී. 

මෙමඟින් බ්‍රිතාන්‍යයට ඔක්තෝබර් 31 දින වන විට බ්‍රෙක්සිට් ගිවිසුමකින් තොරවම නික්ම යාමට සිදුවූවහොත්, වෛද්‍ය උපකරණ භාණ්ඩ හා බෙහෙත් ප්‍රවාහනය සඳහා දේශසීමා විධිවිධාන තුළ අවශ්‍ය රේගු ලිපි ලේඛන, සමාගම් සහතික ආදිය තහවුරු කරවීමට උපකාරී වනු ඇති බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේවෙතත්, මතකයේ තබා ගත යුතු කරුණ වන්නේ, බ්‍රෙක්සිට් ගිවිසුම තහවුරු නොවීම තුළ බලපාන එකම ක්ෂේත්‍රය සෞඛ්‍ය ක්ෂේත්‍රය නොවන බවයි. ගිවිසුමකින් තොරවම බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් නික්ම යාමට සිදුවුව හොත් ඉදිරියේදී කුමක් සිදුවනු ඇත් දැයි බලා සිටීමට හැර වෙන විකල්පයක් නොමැති බවද සඳහන් කළ යුතුය. බ්‍රිතාන්‍යය මේ වන විට මුහුණ පා ඇත්තේ සර්පයා ඇඳුම අස්සේ දමා ගෙන කෑවෝ යැයි මොර දීම හා සමාන තත්ත්වයකට බවද සිහිපත් කළ යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි