×

සීට් බෙල්ට් නොදැම්මාට අගමැතිට දඩ.. දිනේෂ් ට නෙමෙයි සුනාක් ට!

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. අපෙ කට්ටිය බෙල්ට් දාන්නෙ නෑ.. අපිට හැමදාම ආතල්..


අගමැතිට දඩගහලා අයියෝ… නෑ නෑ.. ඒ උන්දෑට නෙවෙයි.. එංගලන්තේ අගමැතිට දඩ ගහලා!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සෝෂල් මීඩියා ආතල් එකක් ගන්න ගිහින් වැඩ වරද්දගෙන.. තමා ගමන් ගත්තු Lancashire මොටර් රථයේ ඉඳන් සෝෂල් මීඩියාවලට නිකුත් කරන්න වීඩියෝවක් පටිගත කර කර ඉන්න අතරේ ආරක්ෂක පටි පැළඳ නොසිටීම නිසා ඔහුට දඩයක් ගහලා..

ඉතිං සුනාක් මහත්තයා තමන්ගේ අතින් වරදක් වුනු බව පිළිගෙන ඒකට සමාව ඉල්ලුව බවත් නො. 10 කාර්යාලය නිවේදනයකින් කියනවා.

එංගලන්තේ වාහනයක ගමන් කරන කෙනෙක් ආරක්ෂක පටි පළඳලා නැත්තම් දඩය පවුම් 100. තත්ත්වය අධිකරණය දක්වාම යන තරම් බරපතල නම් දඩය පවුම් 500 ක් දක්වා ඉහළ යා හැකියි.

ඒත් ඇයි අයියෝ.. ඇයි දඩ ගහන්නේ? ඇයි අනේ ආතල් එකක් ගන්නකොට දඩ ගහන්නේ? ඊටත් වඩා ඇයි අනේ සමාව ඉල්ලන්නේ?

දැකලා තියනවා ද අපේ උන්දෑලා ආතල් අරගෙන සමාව ඉල්ලනවා? පාර්ලිමේන්තුවේ අමු කණුහරුපෙන් බැනගන්නකොට ඒක ලයිව් දාලා ආතල් එකක් ගන්නවා. සත පහක සේවයක් රටට නොකර බදු මුදල් වලින් යැපෙන අතරේ සෙවන් ස්ටාර්ස් වල ඉඳන් සෙල්ෆි ගහලා ඉන්ස්ටග්‍රෑම් දාලා ආතල් එකක් ගන්නවා.. මහ පාර බදු අරන් වගේ වංගු සීයක් දාලා රෝංග් සයිඩ් කපලා පුළුවන් නම් අපිටත් මැදඟිල්ල දික්කරලා ආතල් එකක් ගන්නවා. අනේ අර පොලිස් අයියලා බලු කුක්කෝ වගේ ඔලුව පාත් කර ගන්නවා.

ඒ ගොල්ලන්ට දඩ ගහන්නේ නෑ නේ. ඇයි එංගලන්තේ දඩ ගහන්නේ? ඒකට හපන් අගමැති ට? ආතල් එකක් ගත්තාම මොකෝ? අගමැති නේ..

ඒ මදිවට මේ සුනාක් මහත්තයාට ආණ්ඩුවේ ඉඳිද්දී එහෙම දඩයක් වැදුනු දෙවෙනි වතාව ලු. ඇයි කලිං වතාවේ බොරිස් ජොන්සන් එක්ක කොවිඩ් කාලේ ආතල් එකක් අරන් තව දඩයක් වැදුනා නෙව.

ඒකට කොවඩ් කාලෙ මෙහෙ ගත්තු ආතල්.. මුට්ටි ගඟේ ගියා.. කාලි අම්මා ආවා.. ඉතිහාසයේ පළමු වතාවට කාලි අරූඪයෙන් කොවිඩ් සුවකරන්න රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුනා..

එතනිනුත් එහාට කඩා වැටෙන ආර්ථිකයයි දේශපාලන අස්ථාවරභාවයයි එක්ක වෙනසක් ඉල්ලලා පාරට බැහැපු කොල්ලෝ කෙල්ලන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඇතුවම ඔලු පලලා කකුල් කඩලාත් ආතල් එකක් ගත්තා නෙව..

ඉතිං මාර්ග නීතියක් උල්ලංඝනය කරලා පොඩි ආතල් එකක් ගත්තු එකට එංගලන්තේ ඔච්චර සීරියස් වෙන්නේ ඇයි අනේ?

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. අපෙ කට්ටිය බෙල්ට් දාන්නෙ නෑ.. අපිට හැමදාම ආතල්..

පින්කෙත හෙල ලක් දෙරණේ එහෙම වෙන්නේ නෑ.. නෑ! නෑ!! නෑ!!!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි