×

බ්‍රෙක්සිට් ගනුදෙනු මෙම සතිය තුළ අවසන් කිරීමට බ්‍රිතාන්‍යය සැරසෙයි!

ගිවිසුම මේ සතිය තුළම අනුමත කර ගැනීම බ්‍රිතාන්‍යයේ වෑයමයි.


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජය මෙම සතිය තුළ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය නික්ම යාම නොහොත් බ්‍රෙක්සිට් ගනුදෙනු කටයුතු අවසන් කිරීමට සූදානම් බවට ස්පෙක්ටේටර් සඟරාව වාර්තා කරයි.

කෙසේවෙතත් අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරද්කාර් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට සූදානම් නොමැති බවක් පෙන්වන ලද බවද එම සඟරාව වාර්තා කරයි. එමෙන්ම අයර්ලන්තය බ්‍රෙක්සිට් සාකච්ඡා සඳහා සූදානම් වන තුරු බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයට ඉදිරිපත් කළ යෝජනා මාලාව සාකච්ඡා කිරීම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හා ජර්මානු චාන්සල්වරයා වන ඇන්ජෙලා මර්කෙල් යන මහත්ම මහත්මීන් ද ප්‍රතික්ෂේප කර ඇති බවට එම සඟරාව වැඩිදුරටත් වාර්තා කර සිටියි.

එම සඟරාව තවදුරටත් පෙන්වා දෙන්නේ දැනටමත් පැරිසියේ හා බර්ලින් හි සුළු පිරිසක් මෙම ගිවිසුමට සහය පළ කිරීමට සූදානම්ව සිටින මුත් අයර්ලන්තය තම එකඟතාව පළකරන තුරු යුරෝපා සංගමයේ බ්‍රෙක්සිට් කටයුතු පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු මයිකල් බර්නාර්ඩ් බානියර් මහතා මේ පිළිබඳ උනන්දු කිරීමට මර්කෙල් හෝ මැක්‍රෝන් සූදානම් නොමැති බවය.

කෙසේවෙතත් බ්‍රෙක්සිට් ගිවිසුම හරහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යෑම තුළින් එරටට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳව යුරෝපා සංගමය විසින්ම මේ වන විට අනතුරු අඟවා තිබේ.

බ්‍රිතාන්‍යය එළඹෙන ඔක්තෝබර් 31 වන දින යුරෝපා සංගමයෙන් නික්ම යාමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි