×

තොටිල්ල හිස්ය.. කටේ කිරි සුවඳ තවමත් වාතලයේ, අවි නොදැරූ ඔවුහු ද ගියෝය මළගම්..

ඔවුනට මතු දිනෙක කියවීමට 'ලස්සන වසිලීස්සාවන්' වෙනුවට රුසියානු මිසයිල පෙළපොත් වල අඩංගු වනු ඇත.


හද කම්පා කරවන දසුනක් රැගත් ඡායාරූප සමූහයක් ඊයේ (18) දින සමාජ මාධ්‍ය වල හුවමාරු වනු දක්නට ලැබිණි.

රුසියානු-යුක්රේන යුධමය තත්ත්වය තුළ යුක්රේනයේ මිය ගිය පුද්ගලයන් සිහිකරන යුක්රේන වැසියන් ල්විව් අගනුවර ළදරුවන් රැගෙන යන හිස් ප්‍රෑම් රථ එක පෙළට තබා ඇති අයුරු මෙම ඡායාරූප වල දිස්විය.

හිස් ප්‍රෑම් රථ 109 ක් මෙසේ නගර මධ්‍යයේ පෙළගස්වා තිබූ අතර, මෙහි අරමුණ වූයේ මෙම යුද්ධයෙන් දිවි අහිමි වූ දරුපැටවුන් සිහි කිරීමයි.

රුසියානු ආක්‍රමණය තුළ මිය ගිය එක් දරුවකුට එක් ප්‍රෑම් රථය බැගින් මෙසේ ප්‍රෑම් රථ 109 ක් පෙළ ගස්වා තිබෙන බවයි යුක්රේන බලධාරීන් ප්‍රකාශ කළේ.

එක් රථයක සෙල්ලම් ටෙඩී බෙයාර් දෙදෙනෙකු තබා ඇති අයුරු දිස්විය. අසළ සිටි කුඩා ගැහැණු දරුවකු කුඩා යුක්රේන ධජයක් ඔසවා ගෙන සිටින අයුරු ද දිස්විය.

කලාපීය දේශපාලනය, බල අරගලය, ප්‍රජාතන්ත්‍රවාදය තබා වැඩිහිටි ලෝකයේ ඇණකොටා ගැනීම් ගැන හයක් හතරක් නොතේරෙන දරු පැටවුන්ට ද මෙම යුද්ධයෙන් වන්දි ගෙවීමට දැන් සිදුව ඇත.

ඒ අතරම, යුක්රේනයේ මතුව ඇති යුධමය වාතාවරණය තුළ ම අලුත ඉපදෙන දරුපැටවුන් ද උපතේ සිට දකින්නේ සුන්දර ලොවක් නොවනු ඇත.

ඔවුන් ද දිවි ගලවා ගැනීමට සමත් වූවහොත් මතු දිනෙක කියවීමට ‘ලස්සන වසිලීස්සාවන්’ වෙනුවට රුසියානු මිසයිල පෙළපොත් වල අඩංගු වනු ඇත.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි