×

මේ හමන්නේ දක්ෂිණාංශයේ ප්‍රීති සුළඟ ද? 

බෝජෝ අපිට, අපි බෝජෝට!


බ්‍රිතාන්‍යයේ එළඹෙන දැසැම්බර් මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හුදෙක් පාලක පක්ෂයක් තෝරා පත්කර ගැනීමේ මැතිවරණයක් නොවනු ඇති බවට තොරතුරු සැල කරමින් අප ඔබ වෙත තොරතුරු ගෙන හැර පෑ වාර අනන්තය. මන්ද එකී මැතිවරණය බ්‍රිතාන්‍යයේ දේශපාලන සන්දර්භයේ දක්ෂිණාංශික වාමාංශික මත ගැටුමේ ද නොමැකෙන සන්දිස්ථානයක් වන නිසාය. 

එළඹෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණය තුළ එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ප්‍රමුඛ පාලක කන්සර්වටිව් පක්ෂය ප්‍රධාන ප්‍රතිවාදී කම්කරු පක්ෂයට එරෙහිව තරඟ වැදීමට නියමිත ය. ඒ අනුව එය රට තුළ තීරණාත්මක මැතිවරණයක් වනු ඇත. බොරිස් ජොන්සන් මහතා ප්‍රමුඛ පාලක කන්සර්වටිව් පක්ෂය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යා යුතු ස්ථාවරයේ සිට කටයුතු කරන අතර, මීට එරෙහි මතධාරී පිරිස සමඟ කම්කරු පක්ෂය පෙළගැසී සිටියි. ආන්දෝලනාත්මක බ්‍රෙක්සිට් ගිවිසුම තුළින් බ්‍රිතාන්‍යය තුළ බෙදීම් රාශියක් හට ගත් අතර, සාම්ප්‍රදායික ගතානුගතික දක්ෂිණාංශික මතධාරීන් හා විප්ලවීය වාමාංශික මතධාරීන් අතර සංග්‍රාමය වාග් මාලාවන් ගෙන් සිට ඇතැම් අවස්ථාවන් හීදී භෞතික ප්‍රචණ්ඩත්වය දක්වා උග්‍ර වූ අවස්ථා පිළිබඳව අප මීට පෙර ඔබට වාර්තා කළෙමු. 

බ්‍රෙක්සිට් තුළ බ්‍රිතාන්‍යය මුහුණ පෑ හැකි ප්‍රභල ගැටළු හමුවේ හඬක් නඟන වාමාංශික මතධාරීන් දක්ෂිණාංශික දෘෂ්ඨිකෝණය අනුව දේශද්‍රෝහීන් ය. කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය මෙන්ම දක්ෂිණාංශික වාමාංශික ගැටුම ඉදිරිපෙළ සන්දර්භයක් වී ඇති ඕනෑම රටක (ශ්‍රී ලංකාව ද පවා) බහුතරයක් ජාතීවාදීන්, ආගම්වාදීන්, වර්ගවාදීන් හා ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන්නන් පෙළ ගැසීම සුලභ වන්නේ දක්ෂිණාංශය තුළ වීමද සුවිශේෂී තත්ත්වයකි.

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයට ප්‍රථම බ්‍රෙක්සිට් යෝජනාව තුළ බොරිස් ජොන්සන් මහතා ක්‍රියා කළ අත්තනෝමතික ආකාරය තුළ ඔහු බොහෝ දෙනෙකුගේ පිළිකුලට ලක් විය. කෙසේ වෙතත්, ධනවාදී සමාජ ආර්ථික පසුබිමක් පවතින බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ගිවිසුමට පෙර යුරෝපා සංගමයෙන් නික්ම යා යුතු දැයි සිදුකළ ජනමත විචාරණයට සහය පළ කර බහුතරයක් බ්‍රිතාන්‍ය ජනයා තුළින් නොකියා කියවෙන්නේ වැසූ දොරවල් පසුපස සිට “අපේ සහය දකුණට!” යන සටන් පාඨය යි. එය මෙවර “අපේ සහය බෝජා්ට!” යන්න දක්වා පරිණාමය වීමට (හෝ පිරිහීමට) නියමිත ය. 

මහ මැතිවරණයට ප්‍රථම පවත්වන ලද විවිධ සමීක්ෂණ වාර්තා බොහොමයක් සැල කර සිටියේ පාලක කන්සර්වටිව් පක්ෂය ජය ලබනා බවයි. එය Independent Communications & Marketing නම් සමීක්ෂණ ජාලය විසින් මෑතකදී නිකුත් කර තිබූ වාර්තාවකට අනුව මනාව තහවුරු වී තිබිණි. මෙම තත්ත්වය තවත් තහවුරු කරමින් අද (13) දින Kantar නම් පර්යේෂණ සමාගම විසින් වාර්තාවක් නිකුත් කර තිබිණි.

Kantar සමීක්ෂණ වාර්තාවට අනුව, පාලක කන්සර්වටිව් පක්ෂය ලකුණු 10 කින් කම්කරු පක්ෂය අභිබවා සිටියි. ඒ අනුව බොරිස් ජොන්සන් ගේ පාලක කන්සර්වටිව් පක්ෂය 37% ක ප්‍රතිශතයක් ද, කම්කරු පක්ෂය 27% ක ප්‍රතිශතයක්ද, යුරෝපා හිතවාදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය 17% ද බ්‍රෙක්සිට් පක්ෂය 9% ද ලබා ගෙන ඇත.

මේ සඳහා Kantar සමාගම නොවැම්බර් 07 – 11 කාලසීමාව තුළ පුද්ගලයන් 1,165 ක නියදියක් යොදා ගෙන ඇත.

බෝජෝ අපිට! අපි බෝජෝට!!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි