×

රුසියාවට එක්සත් ජාතීන්ගෙන් සැර ප්‍රතිචාරයක්!

නැගෙනහිර යුක්රේනයට අයත් කලාප හතරක් රුසියාවට අයත් කලාප බවට පුටින් කළ නිවේදනය පිළි නොගන්නා බවට එක්සත් ජාතීන්ගෙන් සැර ප්‍රතිචාරයක්..


වර්තමානයේ මතුව ඇති රුසියානු – යුක්රේන යුධ තත්ත්වය මත රුසියාව විසින් යුක්රේනයේ කලාප 04ක් රුසියාවට අයත් කලාප ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළව එක්සත් ජාතීන් විසින් ඉතා තදබල ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රුසියාව විසින් දියත් කර ඇති මෙම යුධ ක්‍රියාන්විතයට විරෝධය පළකරන යෝජනාවක් එක්සත් ජාතීන් විසින් සම්මතකර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී රුසියාව විසින් මෙකී යුක්රේන කලාප අත්පත් කරගැනීමට තැත්කිරීමට විරෝධය පළ කරමින් සාමාජික රාජ්‍ය 143 ක් තම ඡන්දය පළකර තිබේ.

මෙහිදී චීනය සහ ඉන්දියාව ඇතුළු සාමාජික රාජ්‍ය 35 ක් සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත. එමෙන්ම, රුසියාව, බෙලරුසය, උතුරු කොරියාව, සිරියාව සහ නිකරාගුවාව ඡන්දය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම යෝජනාවේ විශේෂත්වය වන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ඊට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනා අතුරින් වැඩිම සාමාජිකයන් පිරිසක් තම ඡන්දය පළකළ එක්සත් ජාතීන්ගේ යෝජනාව මෙය වීමයි.

රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්දය ප්‍රකාශ වීම | ඡායාරූපය: EPA

ඉකුත් සතියේදී රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් විසින් යුක්රේනයේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති ලුහාන්ස්ක්, ඩොනෙට්ස්ක්, සැපොරිසියා සහ ඛර්සන් යන කලාප රුසියාවට අයත් කලාප බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

එකී තීන්දුවට විරුද්ධවයි මෙම එක්සත් ජාතීන්ගේ යෝජනාව මහා මණ්ඩල සැසිවාරයේදී සම්මත වී තිබෙන්නේ.

එක්සත් ජාතීන්ගේ මෙම යෝජනාව හරහා පුටින් ජනපතිවරයාගේ නිල ප්‍රකාශය පිළි නොගන්නා බවත්, එය වහා අහෝසිකරන ලෙසත් බල කර තිබේ. එමෙන්ම, යුක්රේන අර්බුදයට අදාළව සන්නද්ධ අරගලයක් වෙනුවට සාකච්ඡා ඔස්සේ විසඳුමක් ලබා ගැනීමට ඇති හැකියාවට තම උපරිම සහාය ලබා දෙන බව ද එම යෝජනාව ප්‍රකාශ කරයි.

ඡායාරූප: අන්තර්ජාලය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි