×

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් යුක්රේනය බලා…

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් එළඹෙන බ්‍රහස්පතින්දා දින යුක්රේනය බලා පිටත් වීමට නියමිත බව වාර්තා වේ.


මෙම සංචාරය තුළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනපති තයිප් අර්දොගන් හමුවීමට සහ යුක්රේනයේ ධාන්‍ය අපනයනය සඳහා සූදානම් කළ ඔඩිසා වරාය නැරඹීමට නියමිත බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆනි දුජාරික් පවසන අන්දමට, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යුක්රේනයේ සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ ක්‍රියාකාරීත්වය සහ රුසියාව සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් එරට ජනපති සෙලෙන්ස්කි හමුවීමට නියමිත ය.

ඉකුත් පෙබරවාරි 24 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ, යුක්රේනයේ නැගෙනහිර කලාපයේ පිහිටා ඇති සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා තැත්කළ අතර, න්‍යෂ්ඨික බලය සතු මෙම අධි අවදානම් කලාපය තුළ බෝම්බ පුපුරුවා හැරීම සම්බන්ධයෙන් එකිනෙකාට දෝශාරෝපණය කර ගැනීමට ද දෙරට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත්, තවමත් එම න්‍යෂ්ඨික බලාගාරය ක්‍රියාත්මක වන්නේ යුක්රේන තාක්ෂණ නිලධාරීන් අතිනි.

මීට අදාළව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (International Atomic Energy Agency: IAEA) සමඟ හමුවක් ලබා ගැනීමේ අරමුණින් යුක්රේන අගනුවර වන කිව් සිට සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය වෙත එම ඒජන්සියේ නියෝජිතයන් පිරිසක් එවීමට හැකි බව එක්සත් ජාතීන් පවසා තිබිණි. එහෙත් රුසියාව අවධාරණය කරන්නේ, යුක්රේන අගනුවර හරහා කිසිඳු මෙහෙයුමකට දූත පිරිසක් එවීම භයානක විය හැකි බවයි.

මේ අතර, එළඹෙන සෙනසුරාදා දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ගුටරේස් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම මත යුක්රේනය, තුර්කිය සහ රුසියාව ගිවිස ගත් ධාන්‍ය හා පොහොර අපනයන ක්‍රියා පටිපාටිය අනුව තුර්කියේ ඉස්තාන්බුල් හි ස්ථාපිත කළ ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නැරඹීමට ද නියමිත ය. මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේ කළු මුහුද හරහා යුක්රේන අපනයන ගමන් කිරීම අධීක්ෂණය කිරීම සඳහා වන අතර, ඒ සඳහා උක්ත ගිවිසුමේ සෑම පාර්ශවයක්ම නියෝජනය වන අන්දමින් නිලධාරීන් පත්කොට ඇත.

රුසියානු ආක්‍රමණය සමඟ යුක්රේන ධාන්‍ය ඇතුළු අපනයන ඇණ හිටීම ගෝලීය වශයෙන් ආහාර අර්බුදයක් ඇතිකිරීමට මුලපිරූ බව බටහිර රටවල් චෝදනා කර තිබිණි. කෙසේ වෙතත්, උක්ත ගිවිසුමට ප්‍රකාරව මේ වන විට යුක්රේන ධාන්‍ය හා පොහොර අපනයනය සඳහා රුසියාව සිය එකඟතාව පළකර ඇති අතර, දැනටමත් යුක්රේන නැව් 6ක් ධාන්‍ය අපනයනය සඳහා පිටත් කර අවසන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි