×

චීනය හොඳයි, ඇමරිකාව හොඳා…යි, ඒත් චීනයේ බලපෑම් ගොඩා…යි! : බූවල්ලන්ගේ හටනකට මැදිවූ ලෝකය

සමීක්ෂණයට සහභාගී වූ සියල්ල වයස 18 ට වැඩි පුද්ගලයන් ය.


එක්සත් ජනපදය සහ චීනය ගෝලීය ප්‍රවණතාවයන් කෙරේ එල්ලකරන බලපෑම සම්බන්ධයෙන් ඇමරිකානු ස්වාධීන පර්යේෂණ සමාගමක් වන Pew Research Center විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙලිවී තිබෙන්නේ වැඩි ප්‍රතිශතයක් චීනයට වඩා එක්සත් ජනපදයට පක්ෂපාතී බවයි.

මෙම සමීක්ෂණය සඳහා ලෝකයේ රටවල් 19 කින් වැඩිහිටි පුද්ගලයන් 24,000 කට අධික පිරිසක් සහභාගී කරවා ගෙන ඇති අතර, ඉන් ඉහළ ප්‍රතිශතයක් චීනයට වඩා එක්සත් ජනපදය ට කැමැත්ත ප්‍රකාශ කරන අතරම පෙන්වා දෙන්නේ, එසේ වූව ද චීනය ඇමරිකාවට සාපේක්ෂව ලෝකයට සිදුකරන බලපෑම ඉහළ බවයි.

මෙම සමීක්ෂණය සිදුකර තිබෙන්නේ 2022 වසරේ පෙබරවාරි 14 වන දින සිට ජූනි 03 වන දින දක්වා ය.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් කෙරේ ඇති ප්‍රියතාවය චීන ජනපති ශි ජින්පිංග් ට වඩා ඉහළ මුත්, චීන සමූහාණ්ඩුව ලෝකයට එල්ල කරන බලපෑම ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඇති බව සමීක්ෂණයට සහභාගී වූ අයගේ ප්‍රතිචාර වලින් පෙනී යයි.

සමස්ත ප්‍රතිචාර දැක්වූවන් ගෙන් සියයට 66 ක මධ්‍ය අගයක් චීනයේ ජාත්‍යන්තර බලපෑම වර්ධනය වී ඇති බව ප්‍රකාශ කරන අතර, සියයට 32 ක් පවසන්නේ ඇමරිකාවේ බලපෑම වර්ධනය වී ඇති බවයි. මෙය වඩාත් පැහැදිලි වන්නේ ඕස්ට්‍රේලියාවේ වන අතර, එය සියයට 73 සහ සියයට 19 ක අනුපාතයක් ලෙස පෙන්වා දෙයි.

ඊශ්‍රායලයෙන් මෙම සමීක්ෂණයට සම්බන්ධ වූවන් ගෙන් සියයට 74 ක් ම පවසන්නේ එක්සත් ජනපදයට සාපේක්ෂව චීනය ලෝකයට වැඩි බලපෑමක් එල්ල කරන බවයි. එක්සත් ජනපදයේ බලපෑම වැඩි බව පිළිගන්නේ සියයට 26 ක් පමණි. එමෙන්ම, ප්‍රියතාවය අනුව, ඊශ්‍රායලයේ සියයට 60ක් ජෝ බයිඩන් ප්‍රමුඛ එක්සත් ජනපදයට කැමැත්ත ප්‍රකාශ කරන අතර, සියයට 20 ක් ශි ජින්පිංග් ට කැමැත්ත ප්‍රකාශ කර සිටියි.

පෝලන්තයේ ඇමරිකානු ජනපති ජෝ බයිඩන් හට ඇති ප්‍රියතාවය සියයට 82 ක් වෙද්දී චීන ජනපති ශි ජින්පිං ට ඇති ප්‍රියතාවය සියයට 11 බව සඳහන්.

කෙසේවෙතත්, ආසියා පැසිෆික් කලාපය තුළ මෙම ප්‍රතිචාර වල විවිධත්වයක් දක්නට තිබේ. උදාහරණයක් වශයෙන්, දකුණු කොරියාවෙන් මෙම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 89 ක් එක්සත් ජනපදයට කැමැත්ත පළකරන අතර, සියයට 19ක් චීනයට කැමැත්ත පළකර සිටියි. නමුත්, සිංගප්පූරුවේ සියයට 51 ක් එක්සත් ජනපදයට කැමැත්ත පළකර සිටින අතර, සියයට 60ක් චීනයට කැමැත්ත පළකර සිටියි.

එමෙන්ම, ජෝ බයිඩන් ජනපතිවරයා සම්බන්ධයෙන් ඇති සුබවාදී අදහස් ඉකුත් වසර තුළ සෑම රටකම පාහේ පහත යාමක් දක්නට ඇති බව ද මෙම සමීක්ෂණය පෙන්වා දෙයි.

මේ අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් චීනය දරන ප්‍රතිපත්තිවලට අදාළව මෙම සමීක්ෂණයට සහභාගී වූ බොහෝ දෙනෙකුට විවේචන පවතී.

සමීක්ෂණයට සහභාගී වූ සියල්ල වයස 18 ට වැඩි පුද්ගලයන් ය.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි