×

සමූහ දූෂණයට ලක්කර පුළුස්සා දැමූ තවත් ඉන්දියානු තරුණියක් මරුට

ඉන්දියාව සමූහ ස්ත්‍රී දූෂකයන් සිව් දෙනෙකු වෙඩි තබා මරා දැමීමේ සිදුවීමෙන් ඇළලී තිබියදී, ඊයේ දිනයේ සමූහ දූෂණයට ලක් කළ තමන්ගේ නඩුව ඇසීමට යමින් සිටියදී වධ දී පුළුස්සා දැමූ තවත් ඉන්දියානු තරුණියක් මිය ගියාය.


මෙම 23 හැවිරිදි තරුණිය ඊයේ දිල්ලි රෝහලේදී මිය ගියේ 90%ක පිළිස්සුම් තුවාළ සහිතව සිටියදී හෘදයාබාධයකට ගොදුරු වීමෙනි.

බ්‍රහස්පතින්දා දිනයේ ඇය උත්තර ප්‍රදේශ් හි උන්නාවෝ හි පිරිමින් දෙදෙනෙකුට එරෙහිව ගොනු කරතිබූ සිය ස්ත්‍රී දූෂණ නඩුවට මුහුණ දීම සඳහා අධිකරණය වෙත යමින් සිටියාය.

ඇගේ දූෂකයන් පස් දෙනොගෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණේ දෙදෙනෙකු පමණි.

ඔවුන් දෙදෙනා එදින අධිකරණය වෙත ගෙන ඒමට නියමිත ව තිබිණි.

මිය ගිය තරුණියගේ සොයුරිය බීබීසී පුවත් සේවය අමතා ප්‍රකාශ කළේ අත්අඩංගුවේ පසුවන දෙදෙනාට මරණය හිමිවනු දැකීම තමන්ගේ ප්‍රාර්ථනය බවයි.

Getty Images

Getty Images

තවද ඇය මිය යාමට පෙර, ඊයේ දිනයේ පශුවෛද්‍යවරියගේ ස්ත්‍රී දූෂක සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් මරණයට පත් වීම පිළිබඳ පුවතට ඇහුම්කන් දුන් බවත්, ඇය මිය යන්නට ඇත්තේ ඒ සතුටින් යුතුව බවත් ඇගේ සොයුරිය පවසා තිබේ.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 වසරේදී ඉන්දියානු පොලිසිය විසින් ස්ත්‍රී දූෂණ සිදුවීම් 33658 ක් ලියාපදිංචි කර තිබේ.

එය, දළ වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ සිදුවීම් 92 කි.

ඉන්දීය පශු වෛද්‍යවරියගේ ඝාතනයෙන් කම්පනයට පත්ව සිටි ඉන්දියාව, මේ වන විට නැවත වරක් ස්ත්‍රී දූෂණ ගැටළුව නිසා උණුසුම් වී ඇති අතර, මෙම 23 හැවිරිදි තරුණිය උත්තර ප්‍රදේශ්හි උන්නාවෝ හි පදිංචි ව සිටි අයෙකු නිසා මේ සිදුවීම දැන් හැඳින්වෙන්නේ ‘උන්නාවෝ ස්ත්‍රී දූෂණය‘ (Unnao rape case) යනුවෙනි.

Cover Photo: Representative image : Hindustan Times

පෙර ලිපිය –

ඉන්දීය වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සැක කරුවන් සිවු දෙනාම වෙඩි තබා ඝාතනය කෙරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි