×

Update: බයිඩන් ඉදිරියෙන් – කොංග්‍රසයේ බලයත් ඩිමොක්‍රටික් පක්ෂයට : අවසන් තීරණය සිකුරාදා

2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතින අතර, දැනට පවතින තත්වය අනුව, ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් ජෝ බයිඩන් හට තිබේ.


ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් (මැතිවරණ විද්‍යාලය) හි බහුතර බලය දිනාගැනීමට අවශ්‍ය ආසන 170 අතරින් ජෝ බයිඩන් ආසන 238 ක් දිනා ඇති අතර, ට්‍රම්ප් ආසන 214 ක් දිනා සිටියි.

 

මේ අනුව මේ තියුණු තරගයේ ජය තීරණය වනු ඇත්තේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත ජනපදවලිනි.

ඡන්ද ගණන් කෙරෙමින් පවතින ජනපදවල ට්‍රම්ප්ගේ ජයග්‍රාහී පරතරය සෙමෙන් අඩු වෙයි

දැනට ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ ‘ස්වින්ග් ස්ටේට්ස්‘ යනුවෙන් හඳුන්වන මිචිගන්, ජෝර්ජියා, විස්කොන්සින්, උතුරු කැරොලිනා, නෙවඩා, පෙන්සිල්වේනියා සහ ඇලස්කා යන ජනපදවල ය. මේ අතරින් පෙන්සිල්වේනියා ජනපදයේ ට්‍රම්ප්ගේ වැඩි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 5 ද ඉක්මවා තිබූ අතර, එය මේ වන විට සෙමෙන් අඩු වෙමින් තිබේ. කෙසේ වෙතත් මෙම ජනපද වලින් ට්‍රම්ප් ජනපද 4 කින් ද, බයිඩන් ජනපද 3 කින් ද ඉදිරියෙන් සිටියි.

මේ අනුව මෙම ජනපදවල අවසන් ප්‍රතිඵල, ඇමරිකාවේ මීළඟ ජනපතිවරයා කවුදැයි තීරණය කිරීම සඳහා ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

මිචිගන් ජනපදය

මෙහි ඡන්දය ප්‍රකාශ කිරීම මෙයට පැය 16ක පෙර අවසන් වූ අතර, එහිදී ජෝ බයිඩන් 49.7%ක් ලෙස කුඩා පරතරයකින් ජයගනිමින් සිටියි. මෙ2016 ජනාධිපතිවරණයේදී එය 0.2%ක පරතරයක් ලෙස ජයගෙන තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. පසුගිය ජනාධිපතිවරණ 6 දීම මෙහි බහුතර බලය (2016 දී හැර) දිනාගත්තේ ඩිමොක්‍රටික් පක්ෂයයි. මිචිගන් ජනපදයට ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ආසන 16 ක් හිමි ය.

ජෝර්ජියා ජනපදය

ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ආසන 16 ක් හිමිකරගන්නා ජෝර්ජියා ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් 50.3%ක් ලෙස ද ජෝ බයිඩන් 48.5%ක් ලෙස ද වශයෙන් ට්‍රම්ප් ජය වාර්තා කරමින් සිටියි. ජෝර්ජියාව ඓතිහාසිකවම රිපබ්ලිකන් බල කඳවුරකි. නමුත් කළු ජාතික ජනගහනයක් එහි දකුණු දිග ජීවත් වන අතර, ඔවුන් ක්‍රමයෙන් ඩිමොක්‍රටික අගයන් වෙත නැඹුරු වන ආකාරයක් දක්නට ලැබිණි. 2018 වසරේ පැවති ආණ්ඩුකාර මැතිවරණයේදී ද රිපබ්ලිකන් පක්ෂය ජයගත්තේ 1.4%ක් වැනි සුළු අගයකිනි.

විස්කොන්සින් ජනපදය

ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ආසන 10 ක් සඳහා නියෝජිතයන් පත් කර යවන මෙම ජනපදයේ 0.7%ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ජය ගැනීමට ජෝ බයිඩන් සමත් වෙමින් සිටියි.1988 සිට 2012 වසර දක්වා සෑම මැතිවරණයකදීම මෙහි ජයග්‍රහණය වාර්තා කළේ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ය. මෙවරද එය රැක ගැනීමට ජෝ බයිඩන් සමත් වී සිටියි.

උතුරු කැරොලිනා ජනපදය

ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් සඳහා නියෝජිතයන් 15 දෙනෙකු පත් කර යවන උතුරු කැරොලිනාවේ බහුතර බලය දැනට දිනාගෙන සිටින්නේ  ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඔහු 50.1%ක් ලබාගනිද්දී ජෝ බයිඩන් ලබාගන්නේ 48.7% කි. ඓතිහාසිකවම රිපබ්ලිකන් ජනපදයක් වන උතුරු කැරොලිනාව, ගතවූ වර්ෂවලදී අතිශය තරගකාරී බවක් ඉසිළීය. මෙහිදී නාගරිකවල ඩිමොක්‍රටික් නැඹුරුවක් ද, ග්‍රාමීය වශයෙන් රිපබ්ලිකන් නැඹුරුවක් ද දක්නට ලැබිණි.

සෙනෙට් සභාවේ බලය දැනට සම සම ලෙස

දැනට පැය කිහිපයකට පෙර සෙනෙට් සභාව හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ පැහැදිලි බහුතරයක් ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් අත්පත් කරගෙන තිබුණත්, මේ වන විට එය සම වී තිබේ.

සෙනෙට් සභාවේ බහුතර බලය දිනාගැනීමට නම්, ආසන 51ක් දිනාගත යුතු අතර, මේ වන විට දෙපක්ෂය ආසන 47 බැගින් හිමිකරගෙන සිටියි. කෙසේ නමුත් දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ ඉතා සුළු බහුතරයකින් සෙනෙට් බලය ඩිමොක්‍රටික් පක්ෂය විසින් අත්පත් කරගනු ඇති බවයි.

සෙනෙට් සභාවේ රිපබ්ලිකන් ආසන සංඛ්‍යාවට, ස්වාධීන ආසන 2 ක් ද අයත් වීම විශේෂත්වයකි.

 

කොංග්‍රසයේ බහුතර බලය ඩිමොක්‍රටික් පක්ෂයට

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වීමට පෙර සිටම කොංග්‍රසයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට අත්වීම පිළිබඳ කිසිදු ගැටළුවක් නැතැයි උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් ප්‍රකාශ කර තිබිණි. ඒ බව තහවුරු කරමින් මේ වන විට, දිනාගත යුතු ආසන 218 අතරින් මේ වන විටත් ඩිමොක්‍රටික්වරු ආසන 194 ක් දිනාගෙන සිටිති.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය දැනට කොංග්‍රසයේ ආසන 185 ක් දිනාගෙන සිටියි.

කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය බොහෝ දුරට සිකුරාදා දිනයේ නිකුත් වීමට ඉඩ ඇති බව ද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය – The Guardian

 

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි